පාර්ලිමේන්තුව – මහ බැංකුව හැන්ද අතේ තියාගෙන තමන්ට බෙදාගැනීම සදාචාරාත්මක නෑ

98

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා
පුරවැසියා හා පාලකයා අතර සම්මුතිය අභියෝගයට ලක්වෙලා
ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)
මගේ ප්‍රකාශයක් දඩමීමා කරගෙන දේශපාලන වාසි ගන්න උත්සාහ කරනවා
ඇමැති හරින් ප්‍රනාන්දු

ආණ්ඩුවට එරෙහි මාතෘකා නැති විපක්ෂය දැන් ජනාධිපතිවරණය පවත්වන්නේ නැතැයි කතා පතුරවනවා. ජනතාව කොන්ද පණ ඇති, ජාත්‍යන්තර සහයෝගිතාව ඇති, ප්‍රතිඵල පෙන්වපු නායකයා ඉදිරි ජනාධිපතිවරණයේදී පත් කිරීම විශ්වාස යැයි වරාය හා නාවුක හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පාර්ලිමේන්තුවේදී ඊයේ (21 දා) පැවසීය.

වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ (21 දා) පෙරවරු 9.30ට රැස්විණි. ප්‍රථමයෙන් නිවේදන, වාර්තා ආදිය පිළිගැන්වීමෙන් පසුව දිනට නියමිතවූ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක 2371/11 සහ අංක 2371/16 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල සඳහන් නියමයන් දෙකක් විවාද කිරීමෙන් තොරව අනුමත කර ගැනීම ද අනතුරුව අධිකරණ සංවිධාන පනත යටතේ අංක 2238/34, 2303/23 සහ 2362/67 දරන ගැසට් පත්‍රවල සඳහන් නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කෙරිණි. ඉන්පසු රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව විපක්ෂය ගෙනෙන යෝජනාව අනුව සභාව කල්තැබීමේ විවාදය ආරම්භ කෙරිණි.

විවාදය ආරම්භ කරමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේකර මහතා (සජබ)-

මේ යෝජනාව සුළුවෙන් සලකන්න එපා කියලා මා රජයෙන් ඉල්ලනවා. මෙය අති මානුෂීය යෝජනාවක් අපේ රටේ ජනතාව අද පත් වෙලා තිබෙන තත්ත්වය

ගැන හෘද සාක්ෂියට එකඟව, බුද්ධියෙන් යුතුව කතා කරයි කියලා මා හිතනවා. රටක ජනතාව තමන්ගේ අනාගතය රටක නායකයකුට හෝ දේශපාලන කණ්ඩායමකට බාර කරන්නේ රට හොඳ තත්ත්වයකට ගෙන එයි කියලා. නමුත් විශාල උන්මාදයකින් යුතුව ජනතාව රට භාර දුන්නු ඝෝඨාභය රාජපක්ෂ ඇතුලු ඒ ආණ්ඩුව ගත්තේ ජනතාවට ගෝචර නොවූ තීන්දුයි. ඒ නිසා අරගලයක් ඇවිත් ඝෝඨාභයට යන්න වුණා. ඒ නිසා ඔහුට භාගයයි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට භාලයයි ලෙස මේ පාලන කාලය ක්‍රියාත්මක වෙන්නේ. ඝෝඨාභටගේ කාලයේ කොවිඩ් ආ නිසා ආර්ථිකය අයහපත් වුණා කියලයි සමහරු කිව්වේ. නමුත් බැලුවොත් ඇත්තටම සීනි බදු වංචාව, පොල්තේල – සුදුලූනු වංචාව, පොහොර වංචාව ආදී වංචා රැසක් සිදුවුණා. ඉන්පසුව ආපු ආර්ථික අර්බුදය හමුවේ තමයි හිටපු ජනාධිපතිට යන්න වුනේ. ඊට පස්සේ රනිල් විතක්‍රමසිංහ ආවා කියලා ලොකු වෙනසක් වුනේ නෑ. සිදුවුනේ ඒ වාහනේම ඩ්‍රයිවර් වෙනස් වූ එක විතරයි. ඉස්සරහ කැබිනට් එකේ හිටපු අය පිටිපස්සට

ගියා. පිටිපස්සේ හිටපු කට්ටියක් කැබිනට් එකට ආවා. ඒ ආපු අය කලේ අලුතින් බදාම ගාලා හුණු පිරියම් කරපු එකයි. රනිල් වික්‍රමසිංහ කියන බාස්ට අර ගෝඨාභය කඩාවට්ටපු ආර්ථිකය ගොඩ දාන්න පුළුවන් වුණාද කියලා අපි අහනවා. ඒ වෙනුවට බදු ගැහුවා. විදුලිය, ඉන්ධන මිල ඉහළ දැම්මා. ඒ නිසා බොහෝ භාණ්ඩවල මිල ඉහළ ගියා. සියයට තුන්සීයකින් භාණ්ඩ හා සේවා මිල ඉහළ ගියා. 20ට කාපු බිත්තරය රුපියල් 60ට ගියා. උද්ධමනය සීග්‍ර ලෙස ඉහළ ගියා. පවුල් ඒකකයකට ජීවත් වෙන්න මාසයකට අවශ්‍ය මුදල ඉහළ ගියා. අද පෞද්ගලික අංශයේ ව්‍යාපාර දෙලක්ෂ හැටතුන්දාහක් වැහිලා. ජනතාවට කන්න නෑ. ජනතාව පව් නේද කියලා මා අහනවා. මේක තර්ක ඉදිරිපත් කරලා දිනන්න පුළුවන් මාතෘකාවක් නොවෙයි. එහෙනම් රනිල් වික්‍රමසිංහ සාර්ථකයි කියලා කියන්න පුළුවන්ද? අහිසංක දරුවන්ට කන්න නැති වෙන කොට දරුවන්ගේ පෝෂණය දුර්වල වන විට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව නිහඬයි.

හොරා කාපු අයගෙන් අය කර ගන්නේ නැතුව රටේ අහිංසකයන්ගෙන් ඇරියස් කවර් කරන්න එපා කියලා මම රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවට කියනවා. ඒත් විශේෂ උත්සව රට සවාරි නියමෙට කරනවා. අද ජනතාවට බඩ ගින්න වෙනුවෙන් කෑ ගහන එකා, බෙහෙත් ඉල්ලන එකා ත්‍රස්තවාදියෙක් කරලා තිබෙනවා මේ ආණ්ඩුව.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර (සජබ)

ශ්‍රී ලංකාව කෘෂිකර්ම අපනයන කරුවෙක් කරනවා කියලා ජනාධිපති එදා කිව්වා. ආණ්ඩුව සමහර තීරණ ගනිද්දී අවශ්‍යතාව අවසන් වෙලා. විශාල අස්වැන්නක් ඉදිරියේදී ලැබෙනවා කියලා නොවැම්බර් මාසයේ මම කිව්වා. නියම කාලයට පොහොර ටිකවත් දීගන්න බැරිවුණා. ජනාධිපතිගේ කාලය වේගයෙන් නිමාවෙමින් පවතිනවා. ඔහු තමන්ට හිමි කාලය සඳහා සැලසුම් සකස් කළ යුතුයි. 2048 ට සැලසුම් වැඩක් නෑ. අපිට සිහින ඉදිරිපත් කරනවා.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය

විපක්ෂයක අරමුණ බලය ලබාගැනීමයි. මේ අර්බුදය වෙලාවේ රටේ බලය භාරගන්න බන්දේසියක තියලා ආරාධනා කළා. ඔවුන් භාරගත්තේ නෑ. ඒ මැද්දෙ තමයි එක නායකයෙක් බලය අරගෙන මේ රට කරගෙන යන්නේ.

මේ රටේ බදු ගෙවිය හැකි අයගෙන් බදු අයකර ගැනීම අපේ අරමුණයි. සෘජු බදු සියයට 40 ක් කිරීම අපේ අරමුණයි. වක්‍ර බදු අඩු කළ යුතුයි.

ප්‍රශ්න විසඳමින් සිටින අතරතුර රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් දුන්නා. කාටවත් ඇඟිල්ල දිගුකරමින් නොසිට සැබෑ පිළිතුරු සෙවීමට අපි ක්‍රියාකරනවා.

සහනාධාර වලට බිලියන 65 යි කලින් වෙන් කළේ. දැන් රුපියල් බිලියන 200 කට වඩා වෙන් කරනවා.

ක්ෂුද්‍ර මූල්‍ය පනතක් ගෙනැල්ලා තියෙනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන අසරණ වූ අයට පිළිතුරක් දෙන්න පියවර ගන්නවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ රට අද වැටී ඇති තත්ත්වයට පත් කළේ මේ ආණ්ඩුවයි. අන්ත දූෂිත ඇමැති වෙනුවෙන් අත ඉස්සුවේ කවුද? මේ ආණ්ඩුවයි.

වරාය හා නාවික ඇමැති නිමල් සිරිපාලද සිල්වා

මහ බැංකුව, හැන්ද තියෙන අය විසින්ම තමන්ට බෙදාගැනීමට ගත් ක්‍රියාමාර්ග වැරදියි. රටේ මූල්‍ය පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට. ආයතනයක් ස්වාධීනයි කියලා රටේ සල්ලි ඒ ආයතනවලට හිමිවන්නේ නෑ. ඒවා හිමි රටේ ජනතාවටයි. අපි තමයි ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරනවා කියලා මේ ආයතන ස්වාධීන කරන්නේ. ඒ ස්වාධීන ආයතන බවට පත්කළේ ඒ අයගේ ක්‍රියාකාරීත්වය හා ගන්නා තීන්දු මිසක් මූල්‍ය පාලනය නොවෙයි. මූල්‍ය පාලනය පිළිබඳ මහ බැංකුව වගකිව යුතුයි. එසේ වගකියන්නේ නැත්නම් නීති රීති ගෙනල්ලා හරි මේ කාරණය නිවැරැදි කළ යුතුමයි.

හැම අමාත්‍යාංශයකම පියන්ලා ඉන්නවා. මහ බැංකුවේ පියන්ලා විශේෂ කාර්යයක් කරනවාද නෑනේ. ඔවුනුත් එකම සුදුසුකමට පත්වීම් ලබන්නේ. රට අමාරු තත්ත්වයක ඉඳලා රජයේ සේවකයන්ට රුපියල් 10,000 ක් දීලා මේ අය විතරක් වෙනම බෙදාගැනීම සදාචාරාත්මකව වැරදියි.

අපි නියම වෙලාවට ජනාධිපතිවරණය තියනවා. ඒකට මුහුණ දීල ජයග්‍රහණය කරන්න කියලා මම විපක්‍ෂයට අභියෝග කරනවා. ජනතාව ඒ තරම් මෝඩ නෑ. රට බේරාගත්ත, මන්ත්‍රීවරුන්ගේ ජීවිත බේරාගත්ත රටේ සුදුසු නායකයා හැර වෙන නායකයෙකුට ඉඩක් නෑ. ජනතාව සැදී පැහැදී ඉන්නවා තීන්දු නිසි වෙලාවට ගන්න.

පත් කළ මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය (ජාජබ)

ආර්ථික අර්බුදය තුළ ඇති දේශපාලන අර්බුදය හරියට තේරුම් ගත්තේ නැත්නම් නැවත නැවත මේ රටේ වැරදි සිදුවෙන එක වළක්වන්න බෑ.

රටේ තියෙන නීතියේ සම්මුතිය රටේ යහපැවැත්මට විශාල ලෙස බලපානවා. අද ඒ සමාජ සම්මුතියත් අභියෝගයට ලක්වෙලා. පුරවැසියා හා පාලකයා අතර තියෙන ලොකුම සම්මුතිය තමයි අභියෝගයට ලක්වෙලා තියෙන්නේ. ඒ සම්මුතිය වෙනස්වීම රටේ හොඳ පැත්තට හැරවිය යුතුයි.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව එදා තරුණයන් දහස් ගණනක් ජීවිත පූජා කළා. අද වෙනස් වෙලා. අපි කැමැතියි ඒ වෙනස්වීමට. ප්‍රශ්න ගැන කතා කරද්දී ජවිපෙ විසඳුම් සමග කතා කරන්න. ජනාධිපතිවරුන්ගේ නිල නිවාස ඉවත්කරලා ප්‍රශ්න විසඳන්න පුළුවන්ද?

රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ

සුරංගනා කතාවලින් කාන්තාවන් රවට්වන්න එපා. ජනාධිපතිතුමා කාන්තාව බලගැන්වීමට විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

කාන්තාව කෙරෙහි ඇති භක්තිය කෙලෙසුන තැන ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි ස්වයං රැකියාවන්ට ලක්ෂ ගණනින් ජනතාව යොමු කරනවා. අපේ රජය කාන්තාවන්ට සලකන තාක් මම ජනපති සමග ඉන්නවා. එහෙම නොවන විට මම දේශපාලනය කිරීම ගැන සිතා බලනවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සරත් වීරසේකර

අපේ රට යම් ස්ථාවර මට්ටමකට පැමිණ තියෙනවා. උද්ඝෝෂණ පාලනය කිරීමට ජනපතිට හැකිවුණා. නීති විරොධීව පැවැති උද්ඝෝෂණ පාලනය කිරීමේ වගකීම හිටපු ජනාධිපති ගෝඨාභය පැහැර හැරියා. කැලෑ නීතිය රජකරවීමට කිසිසේත් ඉඩදිය යුතු නැහැ.

රට ක්‍රමානුකූලව ඉන්දියානුකරණය වනවා නම් අපි ඒකට විරුද්ධයි. ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය ලංකාව වෙනවා නම් අපි ඒකටත් විරුද්ධයි. ඉන්දියාව දුෂ්කර අවස්ථාවලදී පිහිටවීම ගැන ස්තූති කළ යුතුයි. නමුත් රටට ඇතුල්වන හා පිටවන දොරටුවල පාලනය ඉන්දියානු සමාගම්වලට දීම පිළිගන්න බැහැ. අපේ රටේ ස්වාධීනත්වයට බලපානවා. එට්කා ගිවිසුම අත්සන් කරනවා නම් අපි ඊට විරුද්ධයි. ගිවිසුම් 11 ක් ජනතා විරෝධය නිසා වැළකුණා. මිලියන 44 ක් ඉන්දියාවේ රැකියා නැතිව ඉන්නවා. වෛද්‍යවරු ලක්ෂ 2 කට රැකියා නැහැ. ගිවිසුම නිසා ඔවුන්ට ලංකාවට එන්න පහසු වෙනවා.

ක්‍රීඩා හා සංචාරක ඇමැති හරින් ප්‍රනාන්දු

මගේ ප්‍රකාශයක් ගැන විශාල ආන්දෝලනයක් හදනවා. ඉන්දියාවෙන් වැඩිම සංචාරකයන් පිරිසක් එන වෙලාවක මගේ ප්‍රකාශයක් දඩමීමා කරගෙන දේශපාලන වාසියක් ගන්න විපක්ෂයේ ඉන්න අයෙක් උත්සාහ දරනවා. එය පහත් ක්‍රියාවක්.

පාර්ලිමේන්තුව අද (22දා) පෙරවරු 9.30 ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment