පාවෙන්නත් කලින් බේරේ ගිලෙන ‘ෆ්ලෝටින්ග් මාකට්’

321

විදේශීය සංචාරකයො “වොෂ් රූම්” අහනව. දෙන්න උත්තරයක් නෑ
රෑට ගණිකාවෝ, මංකොල්ලකාරයො පිරිල
80% ක් කඩ වැහිල ඉවරයි
යූ.ඩී. එකෙන් එන්නෙ සල්ලි ගන්න විතරයි

රුපියල් මිලියන 312 ක පමණ මුදලක් වැයකර ඉදිකරන ලද පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (floating market) යනු මේ වන විට ජනතාවගෙන් හුදකලාව පවතින තවත් එක් ව්‍යාපෘතියක් බවට පත්වෙමින් ඇත. වෙළඳ කුටි 103කින් සමන්විත එහි වෙළෙඳ කුටි බොහෝමයක් අද වන විට වසා දමා අවසන්ය. අතරින් පතර විවෘතව පවතින වෙළඳ කුටි කිහිපයක් දැකගත හැකි වෙතත් යම් යම් දේ මිලදී ගැනීම පිණිස පරිභෝගික ජනතාව එහි යන බවක් දකින්නට නැත. රටට අලුත් සංකල්පයක් හඳුන්වා දෙමින් එවකට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ඉදිකරන ලද මෙම වාණිජ මධ්‍යස්ථානය ඉදිකිරීම තුළ අපේක්ෂිත අරමුණු මේ වන විට සැබෑවක් බවට පත්ව ඇත්ද? එසේ නොවේ නම් මේ වන විට එහි සැබෑ තත්ත්වය කුමක්ද? මේ පිළිබඳව සොයා බැලීම පිණිස ඉකුත් දිනක අප එහි සංචාරය කළ අතර මෙම ලිපිය සැකසෙන්නේ එම කරුණු පදනම් කර ගනිමින්ය.

2014 අගෝස්තු මස 25 වන දින ජනතා අයිතියට පත්වන පාවෙන වෙළඳ සංකීරණය ඉදිකරනු ලබන්නේ කාරණා කිහිපයක් මුල් කර ගනිමින්ය. මෙරට ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගරය නව ලොවට ගැලපෙන ආකාරයෙන් සංවර්ධනය කිරීම එහි මූලික අරමුණක් විය. ඒ අනුව කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම හේතුවෙන් ව්‍යාපාරික අවස්ථාවන් මගහැරුණු වෙළෙඳ ප්‍රජාව වෙත නව ව්‍යාපාරික ස්ථාන ලබා දීම, නව ව්‍යාපාරික අවස්ථාවන් ඇති කිරීම, සංචාරක ආකර්ෂණය දිනා ගැනීම ඇතුළු තවත් කාරණා කීපයක් මුල් කරගනිමින් පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිවන අතර ඒ සඳහා වැය කරන ලද මුදල රුපියල් මිලියන 312ක්ය. එම ඉදිකිරීම තුළ අපේක්ෂිත තවත් අරමුණක් නම් ඉදිකිරීම සඳහා වැයවූ මුදලින් 50% ක් වසර 05 ක් තුළ උපයා ගැනීමය. එම අරමුණු සහ ගණන් ඉලක්කම් මෙි වන විට බේරේ වැවේ ගිලී ගොස් අවසන්ය. දැනට ඉදිකිරීමක් ලෙස පවතින පාවෙන වෙළෙඳසැල් කීපයද නුදුරු දිනක වැව් දියට බිලි වීමට නියමිතව ඇතත් ඒ පිළිබඳව සොයා බැලීමට හෝ නිසි විසඳුම් ලබාදීමට කිසිවෙකුත් නැත. ඒ පිළිබඳව සොයා බැලීම අපගේ සංචාරයේ මූලික අරමුණ විය.

● වත්මන් තත්ත්වය

වෙළෙඳ සංකීර්ණය වෙත ප්‍රවේශ වීම ද තරමක් අවදානම් සහගතය. වැව් දිය තරණයකොට එගොඩ බලා ගමන් කිරීම පිණිස නිමවා ඇති ලෑලි පාලම දිරාපත් වෙමින් ඇත. එකිනෙකට යා කරන ලද දැව කඳන් සමූහයකින් සමන්විත ප්‍රවේශ මාර්ගය කලකින් නඩත්තු කොට නැත. වෙළඳ සංකීර්ණය වෙත ළඟා වීම පිණිස දිරාපත් පාලම තරණය කළ යුතුය. එබැවින් ගමන තරමක් අසීරුය. එහි යම් අවදානම් සහගත බවක් ද ඇත. අප වෙළඳ සංකීර්ණය වෙත ළඟා වූවේ එම අවදානම් සහගත ගමනින් අනතුරුවය. පාවෙන වෙළෙඳ සංකීර්ණය වෙත ළඟා වීමෙන් පසු ආපසු හැරී බැලීමේදී බේරේ වැවත් පිටකොටුව බැස්ටියන් මාවතත් මනාව දර්ශනය වේ. පාවෙන වෙළෙඳ සංකීර්ණය ආරම්භයේදී බේරේ වැවේ දකින්නට ලැබුණු දර්ශනීය හංස බෝට්ටු සංචාර කිසිවක් මේ වන විට දකින්නට නොලැබෙන අතර ඒ වෙනුවට දකින්නට ඇත්තේ අබලන් බෝට්ටු කිහිපයක් උකු දුඹුරු බොර වතුරේ හුදකලාව පවතින ආකාරයක්ය. එකල දකින්නට ලැබුණු පාවෙන අවන්හල් පාළුවට ගොස් ඇත. වෙළඳ කුටි 103 කින් සමන්විත වෙළඳ සංකීර්ණයේ බොහෝමයක් වෙළෙඳ කුටි වසා දමා අවසන්ය. තවත් වෙළෙඳ කුටි ගණනාවක් කොළඹ මහ නගර සභාව විසින් මුද්‍රා තබා ඇති ආකාරයක් දැකගත හැක. ඒ පිළිබඳව අප කළ විමසීමකදී එක් පුද්ගලයෙක් සඳහන් කර සිටියේ නියමිත මාසික කුලිය ගෙවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙළඳ සල් ගණනාවක්ම එලෙස මුද්‍රා තබා ඇති බවක්ය. පාවෙන වෙළඳ සංකීර්ණය තුළ දකින්නට ලැබෙන “හිස් බව” පිළිබඳව ඔහුගෙන් වැඩිදුරටත් විමසීමේ දී හේ සඳහන් කර සිටියේ තමන් වෙළඳ සහායකයකු පමණක් බැවින් වැඩිදුරටත් යමක් ප්‍රකාශ කිරීමට කැමැත්තක් නොදක්වන බවය.

පාවෙන්නත් කලින් බේරේ ගිලෙන ‘ෆ්ලෝටින්ග් මාකට්’

ඉන් අනතුරුව එම ස්ථානයෙන් ඉවත් වූ අප තවදුරටත් පාවෙන වෙළෙඳ සංකීර්ණය තුළ ඔබ මොබ ගමන් කිරීමට වීමු. එහිදී දකින්නට ලැබුණේ සමස්ත වෙළෙඳ කුටි ප්‍රමාණයෙන් 80% පමණ මේ වන විට වසා දමා ඇති ආකාරයක්ය. වෙළඳ සංකීර්ණය වෙත පැමිණෙන්නන්ට විවේකී සුවයෙන් කල්ගත කිරීමට ඉදිකොට තිබූ දැවමය අසුන් බොහොමයක් දකින්නට නොමැත. කිසියම් පිරිසක් විසින් එම බංකු පුටු වෙනත් වෙනත් ස්ථානවලට රැගෙන ගොස් ඇති ආකාරයක් දැකගත හැක. රාත්‍රිය උදාවීමත් සමග ගණිකාවන්ගේ තිප්පොළක් බවට පත්වන ස්ථානයට ආරක්ෂාව සැපයීම පිණිස ප්‍රමාණවත් ආරක්ෂක නිලධාරීන් පිරිසක් එහි නැත. සංකීර්ණ භූමියේ ආරක්ෂාව පිණිස පුද්ගලික ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනකුගේ සේවය යොදවාගෙන ඇතත් වෙළඳ සල් හිමියන් සඳහන් කර සිටින්නේ එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවය. එබැවින් එම ස්ථානය මේ වන විට හොරුන්, කොල්ලකරුවන්ගේ තිප්පොලක් බවට පත්වීමේ අවදානමක්ද උද්ගතව ඇත.

මෙම තත්ත්වය කෙසේද යත් පාවෙන වෙළෙඳ සංකීර්ණය වෙත පැමිණෙන පාරිභෝගික ජනතාවගේ මුදල් පසුම්බි, ජංගම දුරකථන ආදිය කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගිය අවස්ථා කිහිපයක්ද වාර්තාවී ඇත. පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමිය අයත්ව ඇත්තේ මරදාන පොලිස් බල ප්‍රදේශයටය. එබැවින් එහි සිදුවන අනීතික ක්‍රියාවන් පිළිබඳ පොලිස් පැමිණිලි සිදු කිරීමට මරදාන පොලිස් ස්ථානය වෙත ගමන් කළ යුතුය. එබැවින් බොහෝදෙනකු තමන්ට සිදුවූ පාඩුව විඳදරා ගන්නවා මිස එම අලාභය පිළිබඳ පොලිස් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා යොමුවන්නේ නැත. එම තත්ත්වය දිගින් දිගටම සිදුනොවීමට නම් පාවෙන වෙළෙඳ සංකීර්ණයේ ආරක්ෂාව පිණිස සහ එහි පැමිණෙන පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව පිණිස පොලිස් මුරපොළක් ඒ ආශ්‍රිතව පවත්වාගෙන යා යුතු බව එහි වෙළෙඳාම් කටයුතු සිදුකරන ව්‍යාපාරිකයන්ගේ මතය බවට පත්ව ඇත.

පාවෙන වෙළෙඳ සංකීර්ණය ආරම්භ කළ අවදියේ ඒ ආශ්‍රිතව ‘කොළඹ ගෙදර’ නමින් කාමර පහසුකම් සහිත නවාතැන්පොළක් ඉදිව පැවතුන බවත්, එය මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපළක් බවට පාවෙන වෙළෙඳ සංකීර්ණයට තහනම් කලාපයක් ලෙස පත්කර ඇති බවත් අප හා පවසා සිටියේ පාවෙන වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව ජංගම පළතුරු වෙළෙඳාමේ නිරත තරුණයකු විසින්ය.

● ව්‍යාපාරිකයන්ගේ මතය

පාවෙන වෙළෙඳ සංකීර්ණ භූමියේ පවතින අඩුපාඩු පිළිබඳවත් එය නිවැරදි කර ගන්නා ආකාරය පිළිබඳවත් අප කළ විමසීමකදී ඊට පිළිතුරු දුන් කේ. එම්. ලාල් මහතා සඳහන් කර සිටියේ පාරිභෝගිකයන් නොපැමිණීම හේතුවෙන් මුළුමනින්ම වෙළඳ කටයුතු අඩාලව ඇති බවත් තමන් ඇතුළු තවත් කීප දෙනෙකු විසින් ව්‍යාපාරික කටයුතු තවදුරටත් පවත්වාගෙන ගියද තවදුරටත් ව්‍යාපාර පවත්වාගෙන යෑම පිණිස ලැබෙන ආදායම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කේ.එම්. ලාල් මහතා.

පාවෙන්නත් කලින් බේරේ ගිලෙන ‘ෆ්ලෝටින්ග් මාකට්’

‘2014 අවුරුද්දේ මේක ආරම්භ කරපු දා ඉඳලා මේ වෙන තෙක් මම ව්‍යාපාර කටයුතු කරගෙන යනව. නමුත් මේකෙන් උපයන ආදායමෙන් පමණක් ජීවත් වෙන්න බලාගෙන කඩ සාප්පු විවෘත කළ බොහෝ දෙනෙක් දැනටමත් මහ පාරට වැටිලා ඉවරයි. සමහර මුදලාලිල තමන්ගෙ කඩ වහල දාලා ගිහින් හෝටල්වල රොටි ගහනව. තව පිරිසක් මාස කුලිය ගෙවා ගන්න බැරුව තම තමන්ගෙ කඩසාප්පු වහල දැම්ම. කාට බඩු විකුණන්න ද. මිනිස්සු එන්නෑ. මේක ආරම්භ කරපු අලුත අපි හැමෝටම හොඳ බිස්නස් එකක් තිබුණා. විදේශීය සංචාරකයෝ ආවා. ඒ වගේම දේශීය වශයෙනුත් විශාල පිරිසක් යන්න එන්න ගත්තා. එදා හොඳ ආරක්ෂාවක් වගේම පහසුකම් ආදියත් තිබුණා. එහෙම මාස හය හතක් ගත වෙද්දි තමයි යහපාලන රජය බලයට පත් වුණේ. එදා ඉඳල හැම දෙයක්ම කණපිට හැරුණා. ආරක්ෂාව නැති කළා, නඩත්තු කටයුතු කිසිවක් සිද්ධ වුණේ නෑ. කාලයක් යද්දි පාවෙන වෙළඳ සංකීර්ණය කියන එක හොරුන්ගේ මංකොල්ලකාරයන්ගෙ ඒ වගේම ගණිකාවන්ගේ තිප්පොළක් බවට පත්වුණා. අද ගෑනු ළමයෙකුට තනියෙන් මෙතනට එන්න බෑ. අම්මෙකූට තාත්තෙකුට තමන්ගේ දරුවන් අරන් මේ ස්ථානයට එන්න පුළුවන්කමක් නෑ. ඒ හින්දා මිනිස්සු මෙතනින් ඈත් වෙන්න ගත්තා. අද වෙද්දි වැසිකිළි කැසිකිළි පහසුකම් නෑ විදේශීය සංචාරකයෝ ඇවිල්ලා වොෂ්රූම් කෝ කියල ඇහුවම දෙන්න උත්තරයක් නෑ. එහෙම තැනක මිනිස්සු ගැවසෙන්නේ නෑ.. ඒකයි අපේ බිස්නස් නැති වුණෙ. මෙි අඩුපාඩු ටික හදලා දෙන්න කියල නගර සභාවෙන් කොච්චර ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ… ඒ අය මාසෙ කුලී මුදල් එකතු කරන එක විතරයි හරියට කරන්නේ. ආදායමක් නැතිව කොහොමද කුලිය ගෙවන්නේ. කෝටි ගාණක් වියදම් කරලා මේක පටන් ගත්තට වැඩක් නෑ. මේකට අලුත් මුහුණුවරක් දෙනකම් වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉන්න ටික දෙනා කරන්නේ උදේට ඇවිත් කඩ ඇරල ඔහේ බලාගෙන ඉන්න එක විතරයි. කොටින්ම කියනව නම් අපි ඉන්නෙ දන්න තැනක අතරමං වෙලා..”

අර්.පී.ඩී. ජයන්ති මිය – මාසයක් දෙකක් කුලී මුදල් ගෙවන්න බැරි වුණොත් ඹගෘග එකෙන් ඇවිත් කඩේ සීල් කළ යනව. මේ මිනිස්සුන්ට තියන අඩුපාඩු මොනවාද ඒවට විසඳුම් මොනවද කියල සොයා බලන්නවත් ඒ අයට උවමනාවක් නෑ. කාන්තාවන් විදිහට අපි මේ ස්ථානයේ බිස්නස් පටන් ගත්තත් අද අපිට යන්න වැසිකිළියක් වත් මේ ස්ථානයේ නෑ. මුළු වෙළෙඳ සංකීර්ණයට ම තියෙන්නේ එක වැසිකිළියයි. ඒකත් හැමදාම වගේ උතුරනව. නැත්නම් වතුර නෑ. හදිසියකට වැසිකිළියට යන්න වුණොත් පාලමෙන් එගොඩට යන්න ඕන. බඩුවක් මුට්ටුවක් ගන්න එන කෙනෙකුට වුණත් වාහනයක් පාක් කරන්න තැනක් නෑ. අපිට කියල වෙන් කරපු වාහන පාක් එකේ තමයි අර ප්‍රයිවට් බස් ගහලා තියෙන්නේ. හදිසියකට බඩුවක් මුට්ටුවක් ගෙන්න ගන්න රුපියල් දෙතුන් සීයක් අමතර ගෙවන්න ඕන. අපි හැමදාම ඉල්ලන දෙයක් තමයි හැමෝටම සාධාරණයක් වෙන්න වෙළඳ සංකීර්ණයේ හරි මැදයි බැස්ටියන් මාවතයි යා කරලා පාලමක් හදල දෙන්න කියන එක. ඒක අද වෙනතුරු සිද්ධ වෙලා නෑ. එහෙම කරොත් මිනිස්සු එනව. මේ ස්ථානයේ දියුණුවක් දකින්නවත් ඒ අඩුපාඩු ටිකවත් සකස් කරලා දෙන්න ඕන. එහෙම නැත්නම් මේ ඉන්න ටික දෙනාටත් වෙන්නේ කඩ ටික වහල දාන්න තමයි… බැංකුවක් ආරම්භ කරනව කියල ආරංචියක් ආවා. ඒ ආරංචියත් එක්ක අපි විශ්වාස කළා තරමක් හෝ හොඳ කල දවසක් මේ ස්ථානයට උදාවෙයි කියලා. ඒ සඳහා කඩ කාමර කීපයකුත් වෙන් කරලා බැංකුවේ නම පවා සඳහන් වන ආකාරයෙන් ඒ කඩ කාමර කීපය සකස් කළා. නමුත් තවමත් ඒක නමට පමණයි. විවෘත කළ බැංකුවක් නෑ. මේව හොයල බලන්න කෙනෙක් නෑ. ඒ හින්දා මෙතන බිස්නස් කරන ව්‍යාපාරිකයන් වශයෙන් අපි ඉල්ලන්නෙ මේවට විසඳුම් දෙන්න කියලයි. දුර ඉඳලා බලනකොට පේන ලස්සන මෙතන නෑ. ඒ හින්දා මෙතැන මිනිස්සුන්ට යන්න එන්න පුළුවන් තැනක් බවට පත්කරලා දෙන්න.”

තවත් කීප දෙනෙක් අප හා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ කොළඹ නගරය තුළ පිහිටි සුවිශේෂී ඉදිකිරීමක් වන පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීමට නම් වහ වහා සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු කීපයක් පවතින බවත් ඒ අතරින්, ස්ථානීය නඩත්තු කටයුතු ආදිය පිණිස ප්‍රමුඛතාවය දිය යුතු බවත්ය. තවත් පිරිසක් වැඩිදුරටත් සඳහන් කර සිටියේ බැංකු කටයුතු පහසුව පිණිස ඒ.ටී.එම්. යන්තු කීපයක් සවි කිරීම තුළ එම ස්ථානය පිණිස ඇති ආකර්ෂණය ඉහළ නංවා ගත හැකි බවය. රට සතුව පවතින විශාල දේපොලක් මෙන්ම ආර්ථික මර්මස්ථානයක්ද වන පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයට කුඩම්මාගේ සැලකිලි හිමිවීම හේතුවෙන් මේ වන විට ද විශාල පිරිසකට ආදායම් අහිමි වී යෑමේ අවදානමක් මතු වී ඇති බැවින් මේ පිළිබඳව වහා වහා වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතු බවත් පෙන්වා දුන් එම පරිශ්‍රයේ දී මුණගැසුණු බොහෝ දෙනෙක් සඳහන් කර සිටියේ දේශපාලන කඹ ඇදීම් හේතුවෙන් මෙවැනි තවත් ව්‍යාපෘතීන් රැසක් කොළඹ නගරය තුළ ‘ගල්’ වෙමින් පවතින බවත් එහිම දිගුවක් ලෙස පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණයට මෙවැනි ඉරණමක් අත්ව ඇති බවත් ය. අප කළ සොයා බැලීමේදී ද වඩාත් හොඳින් තහවුරු වූ කරුණු බවට පත්වුණේ අදාළ බලධාරීන්ගේ නිසි අවධානයට ලක් නොවීම හේතුවෙන් රට සතු වටිනා දේපලක් නිකරුණේ නාස්ති වෙමින් පවතින බවත් ඒ පිළිබඳව රට කරවන ඇත්තන් තුළ අබමල් රේණුවක තරම් අවබෝධයක් නොමැති බවත්ය.

රුවන් ජයවර්ධන
ඡායාරූප:- කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment