පාස්කු ප්‍රහාරය ගැන යළි පූර්ණ විමර්ශනයක් කර චූදිතයන්ට දඬුවම් දෙන්න!

293

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී කාදිනල්තුමෝ කියති

වින්දිතයන්ට යුක්තිය ඉටුවුණේ නෑ
හිටපු නීතිපති චූදිත තත්ත්වයට පත්කර සැබෑ චූදිතයෝ වසං කරලා
7 වැනි බෝම්බකරු අත්අඩංගුවට ගත්තා නම් සියලු දේ හෙළිවෙනවා
පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් තිබුණාද යන්න හොයන්න අවශ්‍යයි
ඉන්දියාව කළ දැනුම්දීම් හතරක්ම බුද්ධි ප්‍රධානියා නොසලකා හැරලා

පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු සාක්‍ෂි නැවත සළකා පූර්ණ විමර්ශනයක් සිදුකර මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට වගකිවයුතු අයට දඬුවම් ලබාදිය යුතු බව කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (21 වැනිදා) පැවසූහ.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා 2021 මැයි 01 වැනි දින කළ ප්‍රකාශයක් අනුව ඒ මහතා දැන් සාක්‍ෂිකරුවකුට වඩා චූදිතයකුගේ තත්ත්වයකට ඇද දමා ඒ මහතා අපහසුතාවට පත්කර සැබෑ චූදිතයන් සොයා ගන්නට තමන්ට නොහැකි වීම වසා ගනිමින් පොලිසිය හා ආරක්ෂක අංශ කටයුතු කරන බව පැහැදිලි යැයිද කාදිනල්තුමෝ කීහ.

දැන් කළ යුතුව ඇත්තේ පොලිස්පතිවරයාට ලබාදී තිබෙන පිටු 189 වාර්තාව කියවා එහි කරුණු විමර්ශනය කළ යුතු බවද කාදිනල්තුමෝ කීහ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් වගකිව යුත්තන්ට ජනාධිපති කොමිසන් සභා වාර්තාව කර තිබෙන නිර්දේශ අනුවවත් ක්‍රියා කරන්නට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලිසියත් ප්‍රසිද්ධියේ කිඹුල් කඳුළු හෙළමින් සිටින බවද කීහ.

2019 අප්‍රියෙල් 21 දින සිදු වූ මලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සිව් වසරක් පිරුණු ඊයේ (21) උදේ කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති විශේෂ දේව මෙහෙය අමතමින් මැල්කම් රංජිත් කාදිනල්තුමෝ මේ බව ප්‍රකාශ කළහ.

පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය යදිමින් දේව මෙහෙයක් ප්‍රහාරයට ලක්වූ කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දෙව්මැඳුර මඩකලපුව සියොන් දෙව් මැඳුරේදී ද දේව මෙහෙයන් ජනතාව එක්ව අත්වැල් බැඳ ගනිමින් යුක්තිය ඉල්ලා විරෝධතාවන්ද දැක්වූහ.

ඊයේ (21) පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මිය ගිය සියලු දෙනා සිහි කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවක්ද පැවැත්විණි.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ දී විශේෂ ප්‍රකාශය කරමින් මැල්කම් රංජිත් කාදිනල්තුමෝ මෙසේද සඳහන් කළහ.

පාස්කු ප්‍රහාරය එල්ල වුණේ 2019 අප්‍රේල් 21 වැනිදායි. අද මේ රැස්ව සිටින්නේ ඒ ප්‍රහාරය එල්ල වී වසර හතරක් පිරෙන දවසෙයි. ස්ථාන හතකට එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් මියගිය දෙසීය හැත්තෑ දෙදෙනෙක් සිහිකර ඒ වගේම ඉන් තුවාල ලැබූ පන්සියයක් පමණ දෙනෙකු සිහිකරමින් මේ අවාසනාවන්ත සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබුවන් නිසා ඔවුන්ගේ ඥාතීන් වේදනා විඳිනවා. ඔවුන්ගේ නිමක් නොවන දුක කඳුළ දකිනවා. මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ විජිත් මලල්ගොඩ විමර්ශන කොමිටිය පාර්ලිමේන්තු කාරක සභාව හා ජනාධිපති කොමිසන් සභාව යන ඒවායේ විමර්ශන වාර්තා මේ වනවිට අසම්පූර්ණ අයුරින් හෝ ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. නමුත් ඒවායේ ඇතුළත් කර තිබෙන ඇතැම් යෝජනා හා නිර්දේශ පිළිබඳව ජනතාව හරිහැටි දැනුම්වත් කිරීමටවත් පැවැති හා පවතින රජයන් මේ වනතුරු පියවර ගෙන නෑ.

ඊට හේතුව මේ සිද්ධිය පිළිබඳ ඒ අයට කිසිදු උනන්දුවක් හෝ උවමනාවක් නොමැති නිසා හෝ එළිදරව් වන දේවල් ඔවුන්ට ප්‍රශ්නයක් විය හැකි බැවින් විය හැකි බව පැහැදිලියි. ඔවුන්ගේ එකම චේතනාව වී ඇත්තේ සත්‍ය හා අයුක්තිය පිළිබඳ මතකය සඳහටම වළලා දමන්නයි. මේ ප්‍රහාරය මතුපිටින් පෙනෙන අයුරින් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් වුවත් එය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා වේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මෙම කාරක සභා වාර්තාවේ විධායක සාරාංශය මේ සිද්ධිය පිළිබඳව සඳහන් කර ඇත්තේ මෙසේය.

කිහිපදෙනෙක් පමණක් දන්නා බුද්ධි තොරතුරු අදාළ පාර්ශ්වයන් සමග හුවමාරු කර නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශවල තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බරපතලළ කරුණු සොයා ගැනීම් සිදු කර තිබේ. යම්කිසි වෙනත් අරමුණු තිබුණු පුද්ගලයින් විසින් වසර අගභාගයේදී පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රට තුළ බියක් හා අවිනිශ්චිතභාවයක් සහ කැළඹිලි ඇති කිරීමේ අරමුණින් ලැබුණු බුද්ධි තොරතුරුවලට අනුව කටයුතු නොකළේද යන්න වැඩිදුර පරීක්‍ෂණ සිදු කළ යුතු යැයි කාරක සභාව නිරීක්‍ෂණය කරයි යනුවෙනි.

ඒ කියන්නේ මේ ප්‍රහාරය පිටුපස්සේ දේශපාලන හස්තයක් තිබුණා ද කියන එක හොයන්නට අවශ්‍යයි කියලා මේ අය කියනවා. ඔවුන්ට ඒ බව දැනුණාය කියලා ඒ අය සඳහන් කරලා තියෙනවා. එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්ත්වයකට මග පාදනු ඇත. සහ සිද්ධිමය වශයෙන් හෝ එසේ නොවී ආරක්‍ෂක තත්ත්වය සහ බිය මුදාහැරීම ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර සිදුවී ඇත. හමුදා හා හමුදා බුද්ධි අංශයේ නායකත්වය 2019 දී වෙනස්වීම සහ සන්දර්භය තුළ සිදුවී ඇති බවට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට ලක්කර තිබේ.

මේවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය මැතිවරණ ක්‍රියාවලිය සහ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඉතාමත් බරපතළ ලෙස නිරීක්‍ෂණය වන බැවින් ඒ කෙරෙහි ඉක්මන් අවධානය යොමුවිය යුතු බවට පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා. විධායක සාරංශයෙන් පිටු අංක තුන සහ හතරෙහි සඳහන් වන වදන් ඒකෙන් පැහැදිලිව පෙන්නුම් කරන්නේ මේ ප්‍රහාරය පිටුපස දේශපාලන අරමුණක් කාගේ හරි තිබුණා. එය ක්‍රියාත්මක කරන්නටයි මේ ක්‍රියාව ඒ විදිහට කළේ කියලා.

ඉහත සඳහන් කළ කාරණාවලට අනුව අප සිත තුළ විවිධ ප්‍රශ්නාර්ථ මතුවෙනවා. හමුදා බුද්ධි අංශ සහ සහරාන් හෂීම්ගේ ත්‍රස්ත කණ්ඩායම් අතර කලක සිට පැවැති ගනුදෙනු මොනවාදැයි සොයා බැලීමට කිසිවෙක් කටයුතු කළේ දැයි අපි ප්‍රශ්න කර සිටිනවා. මේ පිළිබඳව එදා ඒ බුද්ධි අංශයේ නිලධාරීන් හත්වන බෝම්බකරු එනම් ටාජ් සමුද්‍ර හෝටලය තුළ බෝම්බය පුපුරවා

ගැනීමට පැමිණ යම් කිසි හේතුවක් මත එය සිදු නොකර ඉන් පිටතට විත් පසුව දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය තුළ බෝම්බය පුපුරවා ගත් ජමීල් පිළිබඳව බෝම්බය පුපුරවා ගන්නා තුරු දැනසිටි වගක් ඔහුගේ යාම් ඊම් ගැන සොයා බැලූ බවත් ඔහුගේ නිවසට ගොස් ඔහුගේ භාර්යාව වූ ඔමාර් කනා සමග කතා බහ කළ බවත් ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

ඒ කියන්නේ බුද්ධි අංශ මේ මනුස්සයා ගැන හොඳට ම දැනගෙන හිටියා. හමුදා බුද්ධි අංශ මේ තැනැත්තාගේ සැක සහිත හැසිරීම් පිළිබඳව දැන දැනත් ඉක්මනින්ම ඔහු වැනි ත්‍රස්ත කණ්ඩායමක් පිළිබඳ දන්නා සාක්‍ෂිකරුවෙකු අත් අඩංගුවට නොගෙන හත්වන බෝම්බය පුපුරවා සියදිවි හානිකර ගන්නට ඉඩ දුන්නේ ඇයි? මේ මනුස්සයා ගැන දැනගෙන ඇයි ඒ මනුෂ්‍යයා අත්අඩංගුවට නොගත්තෙ. පැය ගණන් මේ මනුස්සයා දෙහිවල ඇවිද ඇවිද ඉඳලා තියෙනවා කියලා හෙළිවෙලා තියෙනවා. මොහු බෝම්බය පුපුරවා ගත්තාද නැතිනම් යමෙකු දුරස්ථ පාලකයකින් එය පුපුරවා හැරියාද? මේ තැනැත්තා සියදිවි හානිකර ගැනීම තුළ බුද්ධි අංශ තමා හා ජමිල්ගේ හා ඒ කණ්ඩායම අතර තිබූ තොරතුරු සඳහට ම මකා දැමීමට ඉඩ දුන්නා නොවේදෝ කියා අපට සැකයක් තිබෙනවා. මේ මනුස්සයා අත්අඩංගුවට ගත්ත නම් ප්‍රශ්න කිරීමේදී මේ සියලු දේවල් දැනගන්නට තිබුණා. ඇයි එහෙම නොකළේ ඇයි ඔහු පිළිබඳ දැන දැනත් බෝම්බය පුපුරවාගෙන මැරෙනකම් හිටියේ. ඊට ඔවුන් පිළිතුරු දිය යුතුයි.

බරපතළ ලෙස සිය වගකීම් පැහැර හැරි එකල බුද්ධි අංශ ප්‍රධානියාව සිටි නිලන්ත ජයවර්ධන කටයුතු කර ඇතැයි කොමිෂන් සභා වාර්තාවේ පැහැදිලි කර තිබෙනවා. පිටු 317, පිටු 320 ඒ බව සඳහන් කර තිබෙනවා.

මේ බුද්ධි ප්‍රධානියා ඉන්දියානු රහස් ඔත්තු සේවා ලබාදුන් පෙර දැනුම්දීම් හතරක්ම තුට්ටුවකට ගණන් අරන් නෑ, ජනාධිපති කොමිසම මොහු පිළිබඳ සඳහන් කරන්නේ මෙම අනතුරු ඇගවීම හුදෙක්ම තොරතුරක්ම පමණක් බව අවධාරණය කර සිටියේය යන වදනයි. මේ නිලධාරියා පිළිබඳව ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත්තේ ඔහුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධි විධාන යටතේ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවයි. පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ 2019 අප්‍රේල් 09 වැනිදා පැවැති බුද්ධි

රැස්වීමේ බුද්ධි තොරතුරු හුවමාරු කර නොගැනීම දර්ශකයකි. මෙම බුද්ධි වාර්තා මවිතය ද පළකර තිබෙනවා. එය ඉතා බරපතළ වරදක් බවක් සඳහන්. මේ නිලධාරියා පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජනවාරි මස 12 වැනිදා දුන් තීන්දුව වූයේ ඔහු මෙම පාස්කු ප්‍රහාරයේ විනාශයට වගකිවයුතු අයකු බවයි. මේ නිලධාරියාට ඒ දඬුවම දෙන්න නියම කළේ රජය නොවෙයි ආරක්‍ෂක අංශ නෙවෙයි ස්වාධීන කණ්ඩායම් උසාවියට යෑම තුළයි. එනිසා මෙය රජයෙන් ඉෂ්ට වූ යුක්තියක් නෙවෙයි. නීතිපති හා එම දෙපාර්තමේන්තුව කිසිදු පියවරක් ගත්තෙ නෑ. මේ චූදිතයා ආරක්‍ෂා කිරීමට රජය කටයුතු කළා. අඩුම තරමින් විනය පරීක්‍ෂණයක් වත් කළේ නෑ. හමුදා බුද්ධි අංශ මෙහෙය වූ අයද වගකීම් පැහැර හැර තිබෙනවා. සහරාන් සමග තිබූ ගනුදෙනු පිළිබඳව සොයා බැලිය යුතුයි. මේ දක්වා රජය කිසිදු උත්සාහයක් නොගැනීම කනගාටුදායකයි. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තා කියන්නේ මෙන්න මේ වදන්.

නැඟෙනහිර පළාතේ වර්ධනය වෙමින් පවතින අන්තවාදය පිළිබඳව යුද්ධ හමුදා බුද්ධි පූර්ව තොරතුරු තිබී ඇත. ආමි මොහිදින්, රිල්වාන්, සහරාන් තවත් අයගේ නම් තිබුණත් අත්අඩංගුවට ගෙන නෑ, ජාතික ආරක්‍ෂක කවුන්සිලයේදී මේ පිළිබඳ හෙළි කළ යුතු බවද එහි සඳහන්.

අප රජයෙන් හා නීතිපතිගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපති කොමිසම් වාර්තාව පමණක් නොව නිර්දේශ 2019 නොවැම්බර් වන තෙක් වඩාත් පරිපූර්ණ පරීක්‍ෂණයක් අවශ්‍ය බවයි. 2019 තේරී පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් මාරු කර යවන ලද මෙම විමර්ශනය භාරව සිටි සීඅයිඩීයේ නිලධාරීන් සොයාගත් කරුණු ද මෙම නව විමර්ශනයට ඇතුළත් කළ යුතු යැයි අපි සිතමු. එහිදී හමුදා බුද්ධි අංශ හා සහරාන් කල්ලිය අතර තිබූ සම්බන්ධය ද සැලකිල්ලට ගත යුතුයි. සහරාන්ගේ කණ්ඩායම හමුදාවෙන් වේතනය ගත් බවද අපට දැනගන්නට ලැබිලා තියෙනවා. හිටපු ජනාධිපති සිරිසේන මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ද, ආරක්‍ෂක නිලධාරීන් සහරාන් කණ්ඩායම සැලසුම් කර ඇති ප්‍රහාරය දැන සිටි බව අපට ගැඟෙනවා යැයි ද කීහ.

මෙහිදී කතා කළ ඕමල්පෙ සෝභිත හිමියෝ මෙසේ කීහ.

බෞද්ධ රටක් වන ශ්‍රී ලංකාව තුළ යුක්තිය සාධාරණය ඉටුනොවන්නේ නම් අපි ජාත්‍යන්තරයට හෝ ගොස් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අයට දඬුවම් ලබාදීමට පියවර ගන්නවා.

ආගමික ත්‍රස්තවාදය හා ආගමික අන්තවාදය නමැති වාහනය ආත්මාර්ථකාමී බළකාමී දේශපාලනඥයන් විසින් පැදවූ බව එම වාහනයෙන් සිදුවූ අනතුරුවලට වගකියන්නට කෙනෙක් නැති තත්ත්වයකට රට පත්කර ඇති බව කී කාදිනල්තුමන් රටක ආරක්‍ෂාව සැලසීම පාලකයා සතු වගකීම වුවත් එය ඉටුනොවන තැන මේ ඛේදවාචකය නිර්මාණය වූ බවද කීහ. මෙම අවස්ථාවට භික්‍ෂූන්වහන්සේ ඇතුළු ආගමික නායකයන්, තානාපති නිලධාරීන් ඇතුළු විශේෂ ආරාධිතයන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක් විය.

ශිරාන් රණසිංහ – නෝමන් පලිහවඩන, ජූඩ් ඩෙන්සිල් පතිරාජ හා නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment