පුංචි තිරයේ කලංගේ පළමු පෙම්වතිය මමයි – දේවිකා මිහිරාණි

1787

පළමු ජනප්‍රියම ටෙලි නළුවා ගැන පළමු ජනප්‍රියම ටෙලි නිළියගේ මතකාවර්ජනය

අමරසිරි කලංසූරිය නම් ප්‍රතිභාසම්පන්න රංග පෞරුෂය තම දිවිසැරිය නිමාවට පත් කොට ඇත. මෙරට ප්‍රථම ටෙලි නාට්‍යය නළුවා ලෙස ඔහු අභිෂේක ගන්වනු ලබන්නේ ටෙලි නාට්‍ය වංශ කතාවේ ප්‍රථම ටෙලි නාට්‍යය වූ ‘දිමුතු මුතු. හි ප්‍රධාන නළුවා ලෙස ඔහු විසින් දක්වන ලද විශිෂ්ට රංගන වින්‍යාසය හේතුවෙන්ය. පහත පෙළ ගැසෙන්නේ එහි ප්‍රධාන නිළිය ලෙසත් මෙරට පළමු ටෙලි නාට්‍ය නිළිය ලෙසත් විශිෂ්ටත්වයට පත් දේවිකා මිහිරාණි විසින් අමරසිරි කලංසූරිය නම් සුවිසෙස් රංගධරයා පිළිබඳ කරන ලද මතකාවර්ජනයක්ය.

● සිංහල ටෙලි නාට්‍ය වංශ කතාවේ ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ලෙස අභිෂේක ලද අමරසිරි කලංසූරිය අද ජීවතුන් අතර නැහැ. මෙරට ප්‍රථම ටෙලි නාට්‍යය නිළිය වීමේ වරම් හිමිකර ගත් ඔබට ‘කලංගේ වියෝව දැනෙන්නේ කොහොමද?

මෙරට චිත්‍රපට ක්ෂේත්‍රය වගේම ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයටත් පුරවාලිය නොහැකි අඩුවක් ඉතිරි කරමින් තමයි අමරසිරි කලංසූරිය කියන අති දක්ෂ රංගනවේදියා අපෙන් සමුගත්තේ. ඇත්තටම ඔහුට තිබුණා තමන්ටම අනන්‍ය වූ රංගන වින්‍යාසයක්. උස මහත ශරීරයක් නොතිබුණු පුංචි මිනිසකු ඇතුලේ ඒ වගේ රංගන පෞරුෂයක් ඊට පෙර මම දැකලා තිබුණෙ නෑ. එම නිසා ඒ පැත්තෙන් ඔහු සුවිශේෂී වෙනව. ඒවගේම කා අතරත් හොඳ හිත දිනා ගත් හරිම සුන්දර සරල ජීවිතයක් ගතකළ සහෘදයෙක් ලෙසත් ඔහුව හඳුන්වන්න පුළුවන්. එවැනි යහපත් මිනිසුන් විරල සමාජයක කලං අයියාගේ වියෝව අප කා තුළත් දැඩි කනගාටුවක් ඇති කළ සිදුවීමක් බවට පත්වෙනවා.

පුංචි තිරයේ කලංගේ පළමු පෙම්වතිය මමයි - දේවිකා මිහිරාණි

● ලංකාවේ ප්‍රථම සිංහල ටෙලි නාට්‍යය ලෙස ‘දිමුතු මුතු’ ඉතිහාසයට එකතු වී අවසන්. ඔබ දෙපළ එහි ප්‍රධාන නළුවා සහ නිළිය බවට පත්වෙනවා. ඒ අතීතය නැවත ආවර්ජනය කරනවා නම්…

ලංකාවේ ප්‍රථම සිංහල ටෙලි නාට්‍යයේ ප්‍රධාන නළුවා බවට අමරසිරි කලංසූරිය පත්වෙද්දි එහි ප්‍රධාන නිළිය වීමේ වරම මා විසින් හිමිකර ගත්තා. දිමුතු මුතු ටෙලි නාට්‍යයේ කලං අයියගේ පෙම්වතිය විදියට තමයි මම රංගනයේ යෙදෙන්නේ. ඒ වෙද්දිත් ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයි. නමුත් දර්ශන තලයේදීවත් ඉන් පරිබාහිරවත් ඔහු ඉතාමත් යහපත් ගතිගුණ සහිත මහත්මයෙකු ලෙස තමයි නිතරම කටයුතු කළේ. ඒ වගේම තමයි කණ්ඩායමක් විදිහට අපි වැඩ කරද්දි ලොකු සහයෝගයක් මගපෙන්වීමක් ලබා දුන්නා.

● දිමුතු මුතු රූගත කිරීම් සිදුකරන අතරතුර සිදු වූ අමතක නොවන සිදුවීම් පිළිබඳ යමක් සඳහන් කරන්න පුළුවන්ද?

ඔව්… දවසක් කලං අයිය දර්ශන තලයට එන්න තරමක් ප්‍රමාද වුණා. දැන් වගේ නෙවෙයි ඒ කාලේ ටෙලි නාට්‍ය කණ්ඩායමේ සියලු දෙනා යම් රූපගත කිරීමක් තියෙනව නම් ඒ දර්ශන තලයට යනවා. එදා මොකක් හරි හේතුවක් හින්දා එයා තරමක් ප්‍රමාද වෙනවා. දිමුතුමුතු අධ්‍යක්ෂණය කළේ ඩී. බී නිහාල්සිංහ මහත්තයා. කලං අයියා තරමක් ප්‍රමාද වෙලා දර්ශන තලයට එනවා දැක්ක නිහාල්සිංහ සර් විහිළුවට වගේ කිව්වා “අයිෂෙ… මොකද කරන්නේ ඉක්මනට එනවා…” කියලා. ඒ පාර කලං අයියා “හා… එනව සර්…” කියල එතන තිබුණු ගඩොල් කැටයක් අරගත්තා. දැන් ගඩොල් කැටයක් අරන් සර්ට ගහන්න වගේ හිනා වෙවී සර්ගෙ පස්සෙන් එලවන්න ගත්තා. එතකොට නිහාල්සිංහ සර් මොකද කළේ එයත් දුවන්න ගත්තා. කලං කියන්නේ අන්න ඒ වගේ විහිළුවෙන් තහළුවෙන් ඕනම දෙයක් බේරගන්න පුළුවන් කෙනෙක්. එයා ඉන්න තැන හරි විනෝදයි. දඟකාරකම්වලින් නම් අඩුවක් තිබුණේ නෑ.

පුංචි තිරයේ කලංගේ පළමු පෙම්වතිය මමයි - දේවිකා මිහිරාණි

● දර්ශන තලයෙන් පිටත සාමාන්‍ය ජීවිතයේදී ඔහු මොන වගේ පුද්ගලයෙක්ද?

හරිම සරල ගති ගුණ තිබුණු ඒ වගේම අර මම කලිනුත් සඳහන් කළ දඟකාර ගති පැවතුම් සහිත චරිතයක්. ඒ දඟකාර බව එයාගේ මුළු ජීවිතේම තිබුණා. මට මතකයි ඒ දවස්වලත් ෂූටිං නැතිවෙලාවට එක්කෝ අපේ කාගේ හරි බෑග් එකක් අදිනවා. එහෙම නැත්නම් එක බෑග් එකක තියෙන දෙයක් තවත් බෑග් එකට දාලා ඊට පස්සේ වෙන්නේ මොකක්ද කියලා හොරෙන් බලන් ඉන්නවා. කාවහරි අවුස්සගන්න එක තමයි එයාගේ විනෝදාංශය. ඒ වගේ තමයි කොණ්ඩෙවත් හරියට පීරන්නෙ නෑ. එයාට තිබුණෙ අවුල් කොණ්ඩයක්. ඒක තමයි එයාගේ ස්ටයිල් එක. කලං අයියා වගේම එයාගේ කොණ්ඩයත් දඟකාරයි. ඒ කාලේ එක විනාඩියක්වත් එක තැන ඉන්න බෑ. දඟලන්නමයි හිත. ඒ කොහොම උනත් ඒ කාලෙ හිටිය ජ්‍යෙෂ්ඨයන්ට ලොකු ගෞරවයක් සහ ආදරයක් දැක්වූ කෙනෙක් ලෙසත් කලං අයියව හඳුන්වන්න පුළුවන්.

● ඔහුගේ රංගන හැකියාව පිළිබඳව ඔබේ තක්සේරුව මොනවගේද?

ඔහුටම අනන්‍ය වූ රංගන හැකියාවක් සහිත කෙනෙක්. ඒ අනන්‍යතාවය ඔහු විසින් චිත්‍රපටයට” ටෙලිනාට්‍යයට ඒ ආකාරයෙන්ම රැගෙන ආවා. හරිම ඉක්මනින් ඕනෑම චරිතයකට ආවේශ වෙන්න පුළුවන් සහජ හැකියාවක් ඔහු සතුව පැවතුණා. ඒවගේම තමයි සියුම් හැඟීම් නිරූපණය කරද්දී ඔහු අති දක්ෂ නළුවෙක්. ඔහු දිහා එක වරක් බැලූ පමණින් ඒ බවක් අවබෝධ කරගන්න බෑ. නමුත් දර්ශන තලය තුළ ඔහු සැබෑම දක්ෂයෙක්. කිසිවෙකුට ඔහුව අනුකරණය කරන්න පුළුවන් වුණේ නෑ. කලං අයියා කියන්නේ උස මහත දේහ ලක්ෂණවලින් සමන්විත පුද්ගලයෙක් නොවෙයි. නමුත් ඒ පුංචි මිනිසා ඇතුලේ මහා දැවැන්ත රංගන පෞරුෂයක් තිබුණා. ඒ හින්ද ලංකාවට අමරසිරි කලංසූරිය කියල හිටියේ එක්කෙනයි. ඔහුගේ අභාවයත් එක්ක ඒ අඩුව අපේ චිත්‍රපටය” ටෙලිනාට්‍ය කලාව තුළ හැමදාමත් පවතීවි.

පුංචි තිරයේ කලංගේ පළමු පෙම්වතිය මමයි - දේවිකා මිහිරාණි

● දිමුතු මුතු ටෙලි නාට්‍ය හරහා ඔබ දෙපළ සම්මානයට පාත්‍ර වුණා නේද?

ඔව්… ලංකාවේ මුල්ම ටෙලි සම්මාන උළෙලේ ඔහු ජනප්‍රියම නළුවා බවට පත් වෙද්දී මම ජනප්‍රියම සහ දක්ෂතම නිළිය බවට පත්වෙනවා. ලංකාවේ ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා විදිහට එතනදි තමයි ඔහු විරුදාවලිය ලබන්නේ. ඒ විතරක් නෙවෙයි ඒ කාලේ රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතර ඔහු වීරයෙක් බවටත් පත් වෙනවා. ඒ කාලේ තමයි රට ඇතුළේ ටෙලි නාට්‍යය උන්මාදයක් වගේ දෙයක් ඇති වෙන්නේ. ඒ හින්දා අමරසිරි කලංසූරිය කියන්නේ අපේ ටෙලි නාට්‍ය වංශකතාවේ සුවිශේෂී රංග පෞරුෂයක්.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment