පුතාට මෙහෙම වුණේ ඇයි- මව

136

මරණය ගැන සැකයි – පියා
දොඹගොඩ යුද හමුදා කඳවුරේ පොකුණක යුද හමුදා සෙබළාගේ අභිරහස් මරණය: විවෘත තීන්දුවක්

හොරණ, දොඹගොඩ යුද හමුදා කඳවුරේ පොකුණක අභිරහස් ලෙස මිය ගිය සෙබළාගේ මරණ පරීක්ෂණය හොරණ දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතා විසින් සිදුකරන ලදි. ඉදිරිපත් වූ සාක්ෂි අනුව මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදුන් අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යවන ලදි.

එහිදී මිය ගිය සෙබළාගේ මව වන ලක්ෂමී (50) මහත්මිය හඬාවැටෙමින් පැවසුවේ පුතාට මෙහෙම වුණේ ඇයි යනුවෙනි. මට හැමදාම දවසට හතර පාරක්වත් කතා කරනවා. පුතා පොඩි කාලේ මහණ වෙලා හිටියේ. ඊට පස්සේ උපැවිදි වෙලා ගෙදර ඇවිත් ඉස්කෝලෙ ගියා. අවුරුදු 18 සම්පූර්ණ වෙනකොටම එයාට ආසාව තිබුණා හමුදාවට බැඳෙන්න. එහෙම තමයි පුතා හමුදාවට බැඳුණේ. පුතා කෑම්ප් එකෙත් බුදුන් වඳින්න මල් කඩලා ඒ කටයුතු කරන්නේ පුතා කියලා අපිට කියලා තියෙනවා. ඒ දේවල් කරේ පුදුම ආසාවකින්. පුතාට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. පුතා දැනට අවුරුද්දකට පෙර විවාහ වුණා.

තවම දරුවන් නෑ යයි හඬා වැටෙමින් පැවසීය. එදින රාත්‍රියේ යුද හමුදා කඳවුරේ මිය ගිය සෙබළාගේ මිත්‍රයකු නිවාඩු ගොස් පැමිණ නිවසින් රැගෙන විත් තිබූ කෑම පාර්සලයක් සෙබළු සිව් දෙනකු සමග ආහාරයට ගෙන රාත්‍රී 9.30 පමණ නිදා ගැනීම සඳහා ඔහුගේ කාමරය වෙත ගොස් ඇතැයි සෙබළු සිව් දෙනා සාක්ෂි දෙමින් පවසා ඇත. පසුදින ශාරීරික අභ්‍යාස පෙළපාලියට පෙනී නොසිටි බැවින් නිලධාරීන් ඔහු පිළිබඳ සොයාබලා ඇති අතර ඔහුව හමුවී නොමැත. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ තීන්දුව දීමෙන් පසුව යුද හමුදා පොලිසිය මඟින් පියාගෙන් මරණ පරීක්ෂණය පිළිබඳ ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින අතරතුර තවමත් මරණය පිළිබඳ සැකයක් ඇත්දැයි ඇසූ විට පියා විසින් ප්‍රකාශ කර සිටියේ මරණය පිළිබඳ තවමත් සැක පවතින බවයි. අඟුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment