පුතා සිය මවගේ ගෙල මිරිකා මරලා

820

“39 න් උඹ මැරෙනවා” යැයි පුතුට කී මවට කොහුවල වුඩ්ලන්ඩ් මාවතේ නිවසක් තුළදී අමානුෂික ලෙස පහර දී ගෙල මිරිකා ඝාතනය කළ 39 හැවිරිදි එකම පුතු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඒ. ආර්. චන්ද්‍රවතී නමැති 78 හැවිරිදි එක්දරු මවකි.

ඝාතනයට ලක්වූ මව පුතු සහ ලේලිය මෙන්ම එම යුවළට දාව සිටින 6 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනා සමඟ දෙමහල් නිවසේ ඉහළ මහලේ පදිංචිව සිටින අතර පහත මහල කුලී පදනම මත ලබාදීම සඳහා වසා තබා ඇතැයි පොලිසිය කියයි.

පියගැටපෙළින් වැටුණු බව පවසා, ඉකුත් 4 වැනිදා ඝාතනයට ලක්වූ කාන්තාව, කළුබෝවිල ශික්ෂණ රෝහලට ලේලිය වන පොලිස් කොස්තාපල්වරිය සහ සැකකරු විසින් ඇතුළත් කරනවිටත් මියගොස් තිබූ බව පොලිසිය කියයි.

හදිසි මරණ පරීක්ෂකවරයාගේ නියෝග මත පැවැති පශ්චාත් මූලික පරීක්ෂණයේදී ගෙල ප්‍රදේශයේ ඇඟිලි සලකුණු දක්නට ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා පොලිසියට නියෝග කර තිබිණි.

ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් දහනායක මහතාගේ නියෝග මත කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ජනිත දයානන්ද මහතා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී මියගිය කාන්තාවගේ පපුවේ ඉළ ඇට 17 ක් කැඩීයෑමක් හා ගෙල සිරකර හුස්ම හිර කිරීමේදී ගෙල කැඩී ඇති බවත් වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කළ බව පොලිසිය කියයි.

ඊට අමතරව ශරීරය පුරා සුව වූ තුවාල කැළැල් 52 ක් තිබෙන බවට වැඩිදුරටත් වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය කර තිබූ බව පොලිසිය කියයි. ඒ අනුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තමන් මව පඩිපෙළ අසල වැටුණ අවස්ථාවේදී නිවසේ නොසිටි බව ප්‍රකාශ කර තිබිණි. තමන් කොහුවල නගරයට ගොස් නිවසට පැමිණි අවස්ථාවේදී බිරිඳ විසින් මව පියගැටපෙළ අසල වැටුණු බව පැවසූ බව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

සැකකරු පොලිසිය නොමඟ යැවීම සඳහා දැඩි උත්සාහයක් ගත්ත ද සීසීටීවී දර්ශන සහ විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන සිදුකළ දීර්ඝ විමර්ශනයේදී සැකකරු එදින රාත්‍රී 7.15 ට මවට නිවසේ උඩු මහලේ කාමරයකදී සුපුරුදු ලෙස අමානුෂික අයුරින් පහර දී නිවසින් පිටවී කොහුවල නගරයේ සුපිරි වෙළෙඳ සලකට රාත්‍රී 7.50 ට පමණ ගොස් මත්පැන් බෝතලයක් සහ කොත්තු රොටියක් මිලදීගෙන නිවස කරා පැමිණ තිබූ බවට සීසීටීවී දර්ශන අනුව අනාවරණය කරගැනීමට සමත් විය.

එම අවස්ථාවේදී කොස්තාපල් බිරිඳ විසින් සිය මව මියගොස් ඇති බවට දැනුම් දීමෙන් අනතුරුව දෙදෙනාම එක්ව ඇය පියගැටපෙළක් අසල වැටුණු බව පවසා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබූ බව පොලිසිය කියයි.
කැස්බෑව බිමල් ජයසිංහ,මහරගම එස්. ඩී. අබේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment