පුරාවිද්‍යා ගොඩනැඟිල්ලක් කඩා වරාය පිවිසුම් මාර්ගයක් සෑදීමේ තැතට විරෝධය

229
default

වරාය අධිකාරියට අයත් කොටුව චෛත්‍ය පාරේ පිහිටි වසර 350 ක් 400 ක් පැරණි පුරාවිද්‍යාත්මක ගොඩනැඟිල්ලක් කඩා වරායට පිවිසුම් මාර්ගයක් සම්බන්ධ කිරීමට දරන උත්සාහය නතර කරන ලෙස වරාය පොදු සේවක සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මෙම ගොඩනැඟිල්ලේ බිත්තියක් අඩි හතහමාරක පමණ පළලකින් යුක්ත වන බවත් එය පෞරාණික ගොඩනැඟිල්ලක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර තිබියදී මෙය කඩා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම සංගමයේ සභාපති නිරෝෂන් ගොරකානගේ මහතා පවසයි.

ගොඩනැඟිල්ලට හානියක් නොවන ලෙස මෙම පිවිසුම් මාර්ගය සකස් කළ හැකි බවට පෙන්වාදී තිබියදී පුරාවිද්‍යා දෙපාර්තමේනතුවට බලපෑම් කරමින් එහි අනුමැතිය ලබාගෙන ගොඩනැඟිල්ල ඉවත්කිරීමට උත්සාහ දරන බවට වාර්තාවී ඇතැයිද ඒ මහතා කීය.

මෙම ගොඩනැඟිල්ල ලේකම් කාර්යාල පරිශ්‍රයේ ඇති අතර වරාය අධිකාරියේ ආයතන අංශ කිහිපයක පිරිස් සේවය කරමින් සිටින බවත් ගොරකානගේ මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment