පොළොන්නරුව දුම්රිය මාර්ගයේ යකඩ ඇණ ගැලවූ තවත් දෙදෙනෙක් කොටුවෙති – වටිනාකම ලක්ෂයකට වැඩිලු

79

හිඟු‍රක්ගොඩ පොළොන්නරුව දුම්රිය මාර්ගයේ රේල් පීලි සවි කිරීමට යොදා තිබූ යකඩ තැටි හා ඇණ නැතිවීම පිළිබඳ සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදැයි හිඟු‍රක්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරිතලේ ජනපදය පදිංචි 25 හා 33 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි. සැකකරුවන් සමග යකඩ ඇණ 36 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් 10දා රාත්‍රී පොළොන්නරුව හිඟු‍රක්ගොඩ දුම්රිය මාර්ගයේ කිලෝමීටර් දෙකක පමණ දුර ප්‍රමාණයේ තිබූ යකඩ ඇණ එකසිය පහක් සහ යකඩ පතුරු දහතුනක් කිසිවකු විසින් සොරකම් කර තිබුණි.

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ විමර්ශනය අංශය හා එක්ව කටයුතු කිරීමේදී සොරකම් කරන ලද යකඩ මිලදී ගත් බවට සැකපිට මෙයට පෙර පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර පෙරේදා වන විට තවත් දෙදෙනකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

ලද තොරතුරු මත ඇණ ගැලවූ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හිඟු‍රක්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් දෙදෙනා ඊයේ අධිකරණ ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.

සොරා ගන්නා ලද යකඩ යන හා යකඩ පතුරු තොගයේ වටිනාකම රුපියල් 103000 පමණ වන බව පොලිසිය පවසයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම මත හිඟු‍රක්ගොඩ වැඩබලන සහකාර පොලිස් අධිකාරී ප්‍රගති ලක්මිණ අබේසිංහ මහතාගේ මෙහෙයුම මත හිඟු‍රක්ගොඩ වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විමලදාස මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් බණ්ඩාර උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයසිංහ ලාල් පෙරේරා සැරයන්වරුන් වන ප්‍රියන්ත ගයාශාන් යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මින්නේරිය සුසිල් කරුණාතිලක

advertistmentadvertistment
advertistmentadvertistment