මගේ ප්‍රථම පත්‍ර කලා ගුරුවරයා

253

අප පාසල් යන අවධියේ මහාචාර්ය සුනිල් ආරියරත්න රචිත නන්දා මාලිනිය ගැයූ විවාදාත්මක ගීතාවලිය ලාංකික සමාජය තුළ ගිගුම් දෙමින් පැවතිණ. එකල සමාජය වෙත දෑස් විවර කරමින් සිටි යෞවනයාගේ චින්තන ලෝකය ද ජීවන දර්ශනය ද උඩු යටිකුරු කළ ඒ විප්ලවීය ගී අතරින් සහෝදර ප්‍රේමය පිළිබඳ ලියැවුණු මෙබඳු ගීයක් ද නිතර ඇසෙමින් තිබිණ.

අයියණ්ඩියෙ පොඩිදා සිට අපි දෙන්නා
එක වහලක් යට වැලිකෙළිමින් උන්නා
එක කුස උන් සුවඳින් සෙනෙහස පිරුණා
කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුණා

ඉමහත් සමාජ සංවාදයකට තුඩුදුන් සුනිල් -නන්දා ගීතාවලිය පිළිබඳ නිතර කතා බහ කරමින් කාලය ගත කිරීම එකල අපගේ ප්‍රමුඛ රසවින්දන කාර්යයක් විය. එබඳු එක් දිනයක හොරණ ප්‍රදේශයේ ජීවත්වන මගේ ගුරුවරයෙකු වන සුනිල් ගුණවර්ධන කිවිඳුන් පූර්වෝක්ත ගීතය පිළිබඳ මෙසේ කීවේ ය.

“ඔය සින්දුව ලියලා තියෙන්නේ සුනිල්ගේ අයියා ගැනනෙ. එයාගෙ නම තිලකරත්න කුරුවිටබණ්ඩාර. ලේක්හවුස් එකේ වැඩ කරන්නෙ. එයා තමයි සුනිල්ව ඔය තත්ත්වෙට ගෙනාවේ.” මීට වසර තිහකට පමණ පෙර පාසල් වියේදී තිලකරත්න කුරුවිටබණ්ඩාර නමැති පුවත්පත් කලාවේදියා පිළිබඳ මා දැනගත්තේ එපරිද්දෙනි. පූර්වෝක්ත ගීතයේ සඳහන් වූ පරිද්දෙන් ආරියරත්න – තිලකරත්න යන සොහොයුරන් අතර ඇති සහෝදර බැඳීම සුළුපටු එකක් නොවන බැව් මට වැටහුණේ මහාචාර්යවරයා හැමවිට ම තමන්ගේ සාහිත්‍ය ගුරුවරයා වශයෙන් සිය වැඩිමහලු සහෝදරයා හඳුන්වා දෙන බැවිනි. වසර තිහකට පෙර පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් මම හොරණ තක්ෂිලාවේ පාසල් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීමට සුනිල් ආරියරත්නයන් සොයාගෙන ගිය අවස්ථාවේදී ඔහු සිය සහෝදරයා ගැන පැවසූ අදහස් මට අද මෙන් මතක ය. එය තවදුරටත් සංවර්ධනය කරමින් සමන් අතාවුදහෙට්ටි සමඟ කළ ‘සුනිල මගක කඳු පල්ලම්’ නමැති යූටියුබ් සංවාදයේදී ඔහු අදහස් දක්වා තිබුණේ මෙපරිද්දෙනි.

“මගේ ජීවිතයේ මට වැඩියෙන්ම බලපෑම් කළ පුද්ගලයා තමයි අපේ පවුලේ වැඩිමලා වූ තිලක් අයියා. පාසලේදී මම විවිධ ගුරුවරුන්ගෙන් සාහිත්‍ය ඉගෙන ගත්තත් මගේ නියම සාහිත්‍ය ගුරුවරයා වශයෙන් සැලකිය හැක්කේ වැඩිමහල් සහෝදරයා වූ ඔහුයි. මගේ නිර්මාණශීලිත්වය දැල්වීමටත් ශාස්ත්‍රීය කටයුතු සඳහාත් මග පෙන්වූ තැනැත්තා ඔහුයි. පාසල් කාලේ නාට්‍ය බලන්න ගියේ ඔහුයි මායි. චිත්‍රපට බලන්න ගියේ ඔහුයි මායි. ඒ වගේම අප දෙදෙනාම එකිනෙකාට සමාන්තරව නිවසේ පුද්ගලික පුස්තකාල දෙකක් ගොඩනගා ගත්තා. ඔහු විශ්වවිද්‍යාලෙ යන්න උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔහුට අවශ්‍ය වුණේ පත්තරකාරයෙක් වෙන්න. මම සාහිත්‍ය කලා කටයුතුවලට පෙළඹුණේ මගේ මේ සහෝදරයාගේ බලපෑම නිසයි.”

පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් ජාතික පුවත්පත්වලට ලිපි ලියමින් පාසල් පුවත්පතට කලාකරුවන් සමඟ සම්මුඛ සාකච්ජා පවත්වමින් සිටි මම එකල මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හමුවීමට නිතර යමින් එමින් සිටියෙමි. ඔහුගේ විරෝධාකල්ප ගී අන්තර්ගත කරමින් තුටුඬුරු නමින් කෘතියක් පළ කිරීමට සැලසුම් කරමින් සිටි අතර මම ඒ සඳහා ‘හේමන්තයේදී, පවන, සංඛපද්ම’ ආදි කැසට්පටවල ගීත සියල්ල ඒකරාශි කර පිටපත් කර දුන්නෙමි. පුවත්පත්වලට ලිපි ලියමින් සිටි මේ පාසල් ශිෂ්‍යයා ගැන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් සිය සහෝදරයාට පවසා තිබුණේ මේ අතර ය. එකල ඔහු ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතේ කර්තෘ ධුරය දරා සරසවිය පුවත්පතට මාරු කරනු ලැබ තිබිණ.

“ලේක්හවුස් එකට ගිහින් තිලක් අයියා හම්බ වෙන්න. මම ඔයා ගැන කියලා තියෙන්නේ.” මහාචාර්ය සුනිල් ආරියරත්නයෝ දිනක් මට කීහ. පුවත්පත්වලට ලිපි ලිවීමේ ඉමහත් ආශාවකින් පෙළෙමින් සිටි මම ලේක්හවුස් ආයතනයට ගොස් සරසවිය ප්‍රධාන කර්තෘ තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් මුණ ගැසුණෙමි. එතෙක් මා ලියා තිබූ ලිපි ගැන විමසා බැලූ හෙතෙම සරසවිය පුවත්පතට ප්‍රවීණ නාට්‍යවේදියෙකු වූ ආර්. ආර්. සමරකෝන්ගේ ‘එක කුසේ උපන් එවුන්’ නවකතාව පිළිබඳව සම්මුඛ සාකච්ඡාවක් කරගෙන එන්නැයි මට කීවේ ය. එතැන් සිට තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ගේ උපදෙස් ලබමින් කලාකරුවන් ගණනාවක් සමග සම්මුඛ සාකච්ඡා කිරීමට මට අවස්ථාව උදාවිය. එදා සිට මගේ ප්‍රථම පත්‍ර කලා ගුරුවරයා වශයෙන් මා ගෞරවයෙන් සලකනු ලබන්නේ තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් ය.

නූතන පුවත්පත් කලා ක්‍ෂේත්‍රයෙහි බහුශ්‍රැතභාවයෙන් ද නිර්මාණාත්මක ජීව ගුණයෙන් ද කාව්‍යමය ප්‍රතිභාවෙන් ද යුක්ත වූ පුවත්පත් කතුවරුන් අතර තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයකි. පුවත්පත් කලාවේදියෙකුට ස්වකීය වෘත්තීය ජීවිතයේ යා හැකි ඉහළ ම පදවි වූ ‘සිළුමිණ’, ‘දිනමිණ’, ‘සරසවිය’ කර්තෘ ධුර හෙබවූ ඔහු ස්වකීය නිර්මාණශීලිත්වයෙන් එම පුවත්පත් බැබළවූ විශිෂ්ට ගණයේ පුවත්පත් කතුවරයෙකි. තිලකරත්න කුරුවිටබණ්ඩාර ප්‍රවෘත්ති පත්‍ර කතුවරයෙකු වශයෙන් වඩාත් බැබළීමට ප්‍රමුඛ හේතුවක් වන්නේ ඔහු සතුව තිබූ කාව්‍යමය ප්‍රතිභාවයි. හැටේ දශකයේ අගභාගයේ දී කාව්‍ය කෘති කීපයක් ම පළ කරමින් ඔහු නිදහස් කාව්‍ය ව්‍යාපාරය පරිපෝෂණය කළ නිර්මාණශීලී කවියෙකි. එසේම ඔහු විචාර කෘති කීපයක් පළ කළ විචාරකයෙක් ද වරින් වර ගීත රචනා කාර්යයෙහි නියුක්ත වූ ගීත රචකයෙක් ද බව අප විසින් අමතක නොකළ යුතුව ඇත්තේ ය.

ඉතාම ජනප්‍රිය ගීයක් දෙකක් ලියා ඒ ගීයෙන් ම ස්වකීය ප්‍රතිභාව ප්‍රකට කොට සැඟවී සිටින ප්‍රකට චරිත කීපයක් ම සිංහල ගීත රචක පරපුර තුළ අපට හමුවේ. ‘අනේ මෙහෙම තණ්හාවක්,’ ‘බත කා ඉවරයි බලමින් උන්නොත්’ වැනි ගී කීපයක් ලියූ පරාක්‍රම කොඩිතුවක්කු, ‘තනිවෙන්නට මගේ ලොවේ,’ ‘කඳුළු කතාවේ’ වැනි ගී කීපයක් ලියූ බුද්ධදාස ගලප්පත්ති, ‘හිච්චි නගේ,’ ‘දඟකාර ඔය දෑස’ වැනි ගී කීපයක් ලියූ සුනිල් ගුණවර්ධන ස්වකීය ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය කවිය සේ ගෙන ඉඳහිට සාර්ථක ගී පද රචනා ද බිහිකළ නිර්මාණකරුවෝ වෙති. තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් ද ස්වකීය ප්‍රධාන ප්‍රකාශන මාධ්‍යය පුවත්පත් කලාව සේ ගෙන ඉඳහිට අපූර්ව ගීත කීපයක් ම රචනා කළ නිර්මාණකරුවෙක් ද වේ. ඔහු විසින් නිබන්ධිත ගීත රචනා අතරින් සරුංගලේ චිත්‍රපටයට අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනි ගායනා කළ පහත දැක්වෙන ගීතය සිංහල චිත්‍රපට ගීත ඉතිහාසය තුළ කිසිසේත් අමතක කළ නොහැකි විශිෂ්ට ගණයේ නිර්මාණයකි.

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
සවිල් නදින් සවන් පිරෙන්නයි
කොකුමගරා නළල දිලෙන්නයි …//

කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්ඩයි
තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි
පෝරුව පිට සිටුවා කර මාල බඳින්ඩයි

කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි
දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
පිච්ච මලින් යහන සැදෙන්නයි
රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි

අතපැන් වත්කොට සුළැඟිලි එකට බඳින්ඩයි
තැලි පිළි අන්දා පෙර කුල සිරිත රකින්ඩයි
බුලත් හුරුළු දී නෑයන් අවසර ගන්ඩයි
සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්ඩයි

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණුබ්‍රහ්ම මෙහෙසුරුදෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි

සිංහල දෙමළ විවාහ මංගල්‍යයක අතිශය රමණීය රූප රාමු පෙළක් අතරින් දිගහැරෙන මේ ගීතය උදෙසා රචකයා භාවිත කර ඇත්තේ සිව්පද ආකෘතියයි. රචකයාගේ නිර්මාණාත්මක භාෂා භාවිතය ද ඖචිත්‍ය පූර්වක වදන් භාවිතය ද නිසා ගී පදමාලාවට එක්ව ඇත්තේ අමුතු අලංකාරයකි. දෙමළ පරිසරය චිත්‍රණය වන අපූර්ව සංගීත සංයෝජනය සහ භාවිත කරන නාද රටා ද සමඟින් මේ පදපෙළ ඇසෙද්දී මතුවන චමත්කාරය අතිශය ප්‍රබල ය. කාව්‍ය භාෂාව පිළිබඳ සියුම් පරිචයක් නොමැති සිව්පද කාව්‍ය සම්ප්‍රදාය මනාව ප්‍රගුණ නොකළ රචකයෙකු අතින් මෙබඳු උසස් නිර්මාණයක් බිහි නොවන්නේ ය.

සුනිල් ආරියරත්නයන් පමණක් නොව තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් ද නන්දා මාලිනියට අර්ථපූර්ණ ගී ගණනාවක් ම ලියා තිබේ. වැටකොටු බැඳ සඟවා ලිය නොහැකි ප්‍රේමය පිළිබඳ කියන මේ රමණීය ගීතය ආලයේ අපූර්වත්වය මෙන්ම ඒ වටා බැඳී ඇති දුක්ඛ දෝමනස්සයන් ද විචිත්‍රත්වයෙන් ගෙනහැර දක්වන සෞන්දර්යාත්මක නිර්මාණයකි.

වැටකොටු බැඳ මලක සුවඳ
වටකර ගත නොහේ
ආදරයේ නොහිම් සුවඳ
අනන්තයට ඇහේ ….

ප්‍රේමය අප්‍රමාණ සෞන්දර්යාත්මක ආස්වාදය ද ජීවන මිහිර ද ගෙන එන්නාක් මෙන් රුදුරු විරහ වේදනාවන් ද රැගෙන එයි. ස්වකීය පුරුෂයා අන්‍ය ස්ත්‍රියක හා ඇති කරගන්නා වූ අසම්මත ප්‍රේම සබඳතාවක් නිසා බිරිඳක විඳින්නා වූ චිත්ත වේදනාව ද දුක්ඛ සංතාපය ද තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් නන්දා මාලිනියට රචනා කර තිබේ.

මධුර ප්‍රේම කල්පනා
ගෙනේ විරහ වේදනා

අමතක වූ අතීතයක
පත් ඉරු යළි පෙරලිලා
සීල රටක මල් උයනක
නෙතු රැහැනේ පැටලිලා …

තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් ශාලිත අබේවික්‍රමට රචනා කළ එක් අපූරු ගීයකින් කුළුගැන්වෙන්නේ දේශාභිමානයයි. දේශාභිමානය, දේශවාත්සල්‍යය, දේශභක්තිය පාදක කොටගනිමින් ගීත රචනා කිරීමේදී මහගමසේකර, ඩෝල්ටන් අල්විස් වැනි විශිෂ්ට කවීන් දක්වන කවි ශක්තියට කිසිසේත් නොදෙවැනි මේ ගීය සිව්පද සම්ප්‍රදායෙන් බැඳුණු ප්‍රබල නිර්මාණයකි.

දූ පුතුනේ රට අපේය
දූ පුතුනේ අප රටේය

මල් කැන් සුවඳ දෙයි ගල්කණු වල පිපුණු
ලේ දහඩිය නටයි රණ දෙරණේ හැලුණු
ජාතිය නගන රිසියෙන් හද ඔද වැඩුණු
එනු ඉදිරියට පුත පැරකුම් දුටුගැමුණු …….

කාව්‍යමය ගුණයෙන් ආඪ්‍ය ඔදවත් තෙදවත් රමණීය බස් වහරකින් යුක්ත තිලකරත්න කුරුවිටබණ්ඩාරයන්ගේ ගීත රචනා ගණනින් ස්වල්පයක් වුවද ඒවා අතිශය නිර්මාණශීලී ලක්ෂණ වලින් පිරුණු අපූරු ගේය කාව්‍ය රචනා බව පැහැදිලිව පෙනේ. සිය සොහොයුරාට ගීත රචනා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු බවට පත් වීමට ඉඩ හැර පසු බැස්සේ දැයි සිතෙන තරමට මහත් ප්‍රතිභාවක් ඇත්තේ වුවද ඔහු ගීත රචකයෙකු ලෙස සැඟවී ගනු ලැබී ය. තිලකරත්න කුරුවිටබණ්ඩාරයෝ සමකාලීන සාහිත්‍ය කලා ක්ෂේත්‍රය පිළිබඳව යාවත්කාලීන ගැඹුරු දැනුමක් ඇති විද්වතෙකි. නිරෝෂා විරාජිනිගේ ‘පුන්සඳ රෑට’ ගීතය ජනප්‍රිය වූ අවධියේ ඔහු ඒ පිළිබඳ මහත් ඇගයීමෙන් කතා කළ අන්දම මට මතක ය. මෑතකදී ඔහු කළ දේශනයකදී නූතන අවධියේ ප්‍රතිභාසම්පන්න තරුණ කවියෙකු වන රුවන් බන්දුජීවගේ ‘සැළලිහිණියෝ උඹට කොහොම සතුටක් ඇත්ද?’ නමැති කවිය උපුටා දක්වමින් අපූරු විග්‍රහයක් කළේ ය. එසේම මෑතදී ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුවේදී පාසල් වියේ සිට ම ඔවුන් දෙදෙනා අතර වූ මිත්‍රත්වය පිළිබඳ කළ හෙළිදරව්ව ද මනරම් ය. විද්වත් පුවත්පත් කතුවරයෙකු ලෙස භාෂා සාහිත්‍ය සංස්කෘතික ක්‍ෂේත්‍රයේ ප්‍රගමනයට තිලකරත්න කුරුවිටබණ්ඩාරයන් කළ මෙහෙය තවත් කාලයක් යනතුරු අපට අමතක නොවනු ඇත්තේ ය.

මගේ ප්‍රථම පත්‍ර කලා ගුරුවරයා
සාහිත්‍යයෙහි හා සන්නිවේදනයෙහි චාරුතර සමායෝගය සලකුණු කරමින්ද පරපුර ගණනකට ප්‍රබුද්ධ චින්තනයෙහි හා උත්තම කලා ආස්වාදයෙහි සන්මාර්ගය හෙළි කරමින් ද, ශ්‍රී ලාංකේය සංස්කෘතික ක්‍ෂේත්‍රය අභිවර්ධනයෙහි ලා තිලකරත්න කුරුවිට බණ්ඩාර ධීමතාාණන් විසින් ඉෂ්ට සිද්ධ කරන ලද සයදශකාධික සේවා සම්ප්‍රදානය සහෘද බහුමානයට පාත්‍රවන අභිසම්භාවනා උත්සවය 2023 ජූලි මස 28 වැනිදා, සිකුරාදා සවස 3.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
එදින මෙරට ප්‍රබුද්ධ ලේඛක ලේඛිකාවන් විසින් රචිත ලේඛන සමුදාය සමාහාර කරමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන්ත හේරත් විසින් සම්පාදිත පත්‍ර කලා කව් සිළුමිණ තිලකරත්න කුරුවිට බණ්ඩාර අභිසම්භාවනා නම් වූ ග්‍රන්ථය එළිදැක්වේ.

● සමුද්‍ර වෙත්තසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment