මහවැලි ගඟ උතුරට හැරවූ දිවංගතවී වසර 50 ක් සපිරෙන සී. පී. ද සිල්වා

376

(ඔක්තෝබර් 09 වැනි දිනට යෙදෙන මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ නිර්මාතෘ හිටපු අමාත්‍ය සහ
පාර්ලිමේන්තුවේ සභානායක සී. පී. ද සිල්වා මහතා දිවංගතවී වසර 50කි. ඒ නිමිත්තෙන් ලියන ලද ලිපියකි මේ.)

ලෝකයේ ප්‍රථම අගමැතිනිය ශ්‍රී ලංකාවෙන් බිහිවුණේ සී. පී. ද සිල්වා මහතා නිසා බව පැවසුවහොත් ඔබ පුදුමවනු ඇත. නමුත් සත්‍ය කාරණය එයයි. 1959 වසරේදී සිදුවුණ බණ්ඩාරනායක මහතාගේ ඝාතනය වනවිට එම ඝාතන කුමන්ත්‍රණයේ එක් පියවරක් වශයෙන් පක්‍ෂයේ නියෝජ්‍ය නායකයාව සිටි එමෙන්ම ආණ්ඩුවේ දෙවැන්නා වූ සභානායක සී. පී. ද සිල්වා මහතාට වස පොවා ගිලන් වී ඔහු සිටියේ විදේශීය රෝහලකය.

මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය හෝ නොගෙන සිටි ගාල්ල මන්ත්‍රී විජයානන්ද දහනායක මහතා වෙත නව අගමැති පදවිය ඉබේම කඩාපාත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නායකයෙක් නොමැති වූ නිසා පක්‍ෂයේ දෙවන පෙළේ නායකයෝ තම පක්‍ෂයේ නායකත්වය ගෙන නැවත දේශපාලනයට එන ලෙස ඩඩ්ලි සේනානායක මහතාට ද ඇරයුම් කළේය. එය සිදු නොවූ විට එකල බෞද්ධ නායකයකු වශයෙන් ජනප්‍රසාදයට පත්ව සිටි මහාචාර්ය ගුණපාල මලලසේකර මහතාගෙන් ද පක්‍ෂයේ නායකත්වය ගෙන කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. “මට පොත් ලියන්නට හැකි වුණාට, දේශනා කිරීමට හැකි වුණාට, දේශපාලනයේ යෙදෙන්නට තේරෙන්නේ නැති” බව ශ්‍රී.ල.නි.ප. නියෝජිතයන්ට පැවසූ ගුණපාල මලලසේකර මහතා ඇඟ බේරා ගත්තේය. සී. පී. ට හිමි අගමැති ධුරය දහනායක මහතා ලබාගත්තත් ශ්‍රී.ල.නි.ප.යේ වැඩබලන නායක පදවියවත් භාරගත්තේ නැත. දහනායක සිදුකළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ එවකට සිටි ඇමැතිවරුන්ට එළව එළවා පහර දෙමින් බුරුතු පිටින් ඇමැතිවරු ඉවත් කිරීමයි. මේ අතරතුර විදේශීය රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි සී. පී. ද සිල්වා මහතා ආපසු ලංකාවට පැමිණියේ මද සනීපයක් ලැබුණු විගසය. එසේ පැමිණ පක්‍ෂයේ සියලු දෙනා රැස්කර පක්‍ෂයේ නායකයා ලෙස 1959 දෙසැම්බර් මස ඒකච්ඡන්දයෙන් තේරී පත්වී පක්‍ෂය ප්‍රතිසංවිධානය කිරීමට රටපුරා ගම් නියම්ගම්වල සැරිසැරුවේ රෝගී තත්ත්වය ද අමතක කරමිනි. මේ අතරතුර දහනායක මහතා රජය විසුරුවා හැර මැතිවරණයකට ගියේය. දහනායක මහතා අභිනවයෙන් පිහිටුවාගත් පක්‍ෂයකින් මැතිවරණයට ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්‍ෂයට නායකත්වය දුන්නේ ඩඩ්ලි සේනානායක මහතාය.

සේනානායක මහතා ඡන්ද කොට්ඨාස 50ක ජයග්‍රහණය ලැබූ අතර, සී. පී. ද. සිල්වා ඡන්ද කොට්ඨාස 46ක් දිනාගත්තේය. ඩඩ්ලි අගමැති විය. සී. පී. ද සිල්වා විපක්‍ෂ නායක විය. ඩඩ්ලි සේනානායක මහතා ආණ්ඩුවක් පිහිටුවනු ලැබූවද පවත්වාගෙන යෑමට අපහසු වූයේ රාජාසන කතාව මැති සබයේදී වැඩි ඡන්දයෙන් පැරදුන නිසාය. මෙම මැතිවරණයේදී සී. පී. ද සිල්වා මහතා රටපුරා ගොස් රැස්වීම් ඇමතුවේය.

බොහෝසෙයින් වෙහෙස මහන්සි විය. වස පෙවී යාන්තමට දිවි ගලවාගත් සී. පී. ගේ කටහඬ දුර්වල වී තිබුණි. වචන ගොත ගැසීමට ලක්වී තිබුණි. ඔහුගේ රෝගී තත්ත්වය ඔහුට දැඩි පීඩාවක් විය. විසුරුවා හැරුණු මැතිසබය වෙනුවෙන් යළි නියෝජිතයන් පත්කර ගැනීම සඳහා තවත් මැතිවරණයක් එම වසරේම ජූලි මාසයේ යෙදුණි. සී. පී. ද සිල්වා මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හමුවී පක්‍ෂයේ නායකත්වය භාරගන්නා ලෙස ඉල්ලා සිටියේය.

මුලින් මැතිනිය එයට අකැමැති වුවත් සී. පී. ගේ සහය දිගටම ලැබෙන බව පැවසූ නිසා ඇය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය භාරගත්තාය. නමුත් ඡන්ද කොට්ඨාසයකට තරග වැදුණේ නැත. සී. පී. ද සිල්වා දැරූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය සිරිමාවෝ මැතිනියට දුන්නේ ඇයගේ පාර්ශ්වයෙන් නායකත්වය ඉල්ලා සී. පී. ට කරදර කළ නිසා බවට වෙනත් පක්‍ෂ චෝදනා කළහ. අනුරාධපුරයේදී සිරිමාවෝ මැතිනියගේ නායකත්වයෙන් පැවති මංගල රැස්වීමේදී එයට සී. පී. ද සිල්වා පිළිතුරු දුන්නේ මේ අයුරිනි. “මගේ ගම ගාල්ලේ, බලපිටිය. මාව බලෙන් අස්කරන්න මේ ලෝකේ යකෙකුටවත් බැහැ. බණ්ඩාරනායක මැතිනියට සුදුසු තැන දීම සඳහා මා ඇයට එම ස්ථානය පැවරුවේ අනාරාධනයෙන්මයි. මට ඕනෑ තැන් නොවෙයි වැඩයි.” යනුවෙන් පැවසුවේ දකුණේ අභිමානය රජරටදී ලෝකයට මුදාහරිමිනි. ජුලි මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජය ගත්තේය. සිරිමා මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය විය.

මේ වාර්තාගත ජයග්‍රහණයේ නියමුවා සී. පී. ද සිල්වා මහතා බව ඔබට දැන් වැටහෙනවා ඇත. මැතිනිය දේශපාලනයට ඇවිත් බණ්ඩාරනායක පරපුරෙන් තරුණයෙක් දේශපාලනයට ගෙන ආවේය. ඔහු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක නම් විය. රදළයකු වූ ඔහු බලයෙන් ද, තරුණ මදයෙන්ද, කුල මදයෙන්ද, කුලප්පු වූ අධිනීතිඥවරයකු විය.

රජයේ සියල්ල ඔහුට ඕනෑ විදිහට සකස් කිරීමට ඔහු උත්සාහ ගත්තේය. සී. පී. ද සිල්වාට ඒ දේවල් ඇල්ලුවේ නැත. ඔහු සමග මන්ත්‍රීවරු රැසක් එක පිලකට එකතුවිණි. මැතිනියවත් නොසිතූ වේලාවක සී. පී. ද සිල්වා තම පිරිස සමග එකතුවී මැති සබය තුළදී එම රජය බිමටම පෙරළා දැම්මේ අනුරාධපුරයේදී පැවසූ පරිදි යකාටවත් බිය නොමැති නායකයකු ලෙසිනි.

1965 දී පැවති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය සමග හවුල් වූ සී. පී. ඩඩ්ලි අගමැති කර රජයක් පිහිටුවා එහි සභානායක පදවියට පත්විය. එම රජය මගින් ආරම්භ කළ මහවැලි ගඟ උතුරට හරවා රට සශ්‍රීක කිරීමේ ප්‍රධාන නියමුවා ලෙස සී. පී. ද සිල්වා ක්‍රියා කළ අයුරු ඉතිහාසයට එක්වී හමාරය. උඩවලවේ ව්‍යාපාරය, චන්ද්‍රිකා වැව, මහවැලි සංවර්ධන ව්‍යාපාරය සමග පංච මහා ජලාශ සී. පී. ද සිල්වාගේ සංවර්ධන ව්‍යාපෘතියේ සැලසුම්ය. ඔහු උතුරු නැගෙනහිර ගොවි ජනපද නිර්මාණය කළේය. නව වෙහෙර විහාරස්ථානවලට සුදුසු පරිදි ඉඩම් පිරිනැමුවේය. විදුලිබල අමාත්‍යවරයා ලෙස ගම් නගරවලට විදුලිය ලබාදුන්නේය.

රජරට දරුවන් සඳහා පොලොන්නරු රාජකීය විiාලය වැනි මහා ශිල්පශාලා ඉදිකර දුන්නේය. රට ගොවිතැනින් බත බුලතින් ස්වයංපෝෂිත කිරීමට මුළු ජීවිතයම කැප කළේය. මේ නිසා රජරට ජනතාව සී. පී. හැඳින්වූයේ “මින්නේරියේ දෙවියෝ” ලෙසය. මේ අයුරින් ලංකාවේ දේවත්වයෙන් පිදුන ප්‍රථම දේශපාලකයා සී. පී. ද සිල්වා විය. 1912 අප්‍රේල් 16 වැනි දින බලපිටියේ රන්දොඹේ ගම්මානයේ උපත ලබා, දෙස් විදෙස් අධ්‍යාපනයක් ලැබූ සී. පී. ද සිල්වා මහතා, දිසාපතිවරයකුව සිට දේශපාලනයට එක්වූයේ බොහෝ දෙනාගේ ඇරයුම පරිදිය. පසුව එක්සත් ජාතික පක්‍ෂයට එක්වූ මෙතුමා පක්‍ෂයේ උප සභාපති පදවියකින් ද පිදුම් ලැබීය. මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා 1972 ඔක්තෝබර් 09 වන දින සදහටම දෙනෙත් පියාගත්තේ දිවිමග 62 වන වියට එළැඹීමත් සමගය. මේ උතුම් දේශපාලන නායකයා දිවංගත වී 50 වසරක් සපිරෙන මේ අවස්ථාවේදී මින්නේරි දෙවියන් ලෙසින් සළකන ශ්‍රීමත් සී. පී. ද සිල්වා ශ්‍රී නාමය සදා සමරමු.

එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී
වජිර අබේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment