මහැදුරන් දෙදෙනෙක් – සිනමා අධ්‍යක්‍ෂවරයෙක් යාපනයේදී තුන්දෙනාම ‘ඩබල්’ දාගෙන බයිසිකල් පැද්ද හැටි…

802

මහාචාර්ය සුචරිත ගම්ලත් – මහාචාර්ය සුනිල් ආරියරත්න – ධර්මසේන පතිරාජ ගැන රසවත් මතකයක්!
යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශය පටන් ගත්ත හැටි
සරුංගලය චිත්‍රපටය හදන්න පදනම වැටුණු හැටි

තමන් ජීවත්වන අර්ධද්වීපය තුළ අංග සම්පූර්ණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත වීම යාපනය ජනතාවගේ හදවත් තුළ දීර්ඝ කාලයක් මුළුල්ලේ පැවැති ප්‍රාර්ථනාවක් විය. ඔවුන්ගේ ප්‍රාර්ථනාව මල්ඵල ගැන්වුණේ එක්දහස් නවසිය හැත්තෑ හතර වසරේදීය.

ඒ එවකට අධ්‍යාපන ඇමැති බද්යුදීන් මොහොමඩ්ගේ නියෝගයෙන්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනයේ මණ්ඩපය පිහිටුවීමෙනි. පසුව නවසිය හැත්තෑනවයේ ජනවාරි පළමුවන දින එය නිදහස් ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත්ව ‘යාපනය විශ්වවිද්‍යාලය’ යනුවෙන් හැඳින්වෙන්නට විය.

එය ඉතාමත් කුඩාවට වූ ආරම්භයක් විය. විශ්වවිද්‍යාලය පැවැත්වීම සඳහා තෝරාගත් ගොඩනැඟිලි පිහිටා තිබුණේ තින්නවේලිහි රාමනාදන් පාරේය. ඒවා කලින් පාසල් ගොඩනැඟිලි සඳහා භාවිත වූ ඒවා විය.

එක්දහස් නවසිය විසි එකේදී, සර් පොන්නම්බලම් රාමනාදන්, පරමේශ්වර විදුහල ආරම්භ කර පවත්වාගෙන ගියේ එම ගොඩනැඟිලි පරිශ්‍රයෙහිය.

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ උපකුලපති එල්. එච්. සුමනදාස, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය පීඨයේ ප්‍රථම පීඨාධිපති වශයෙන් ආචාර්ය කේ. කෛලාෂපති පත් කළේය. එම පත්වීම සිදුකරන විට ඔහු විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ, ද්‍රවිඩ සහ හින්දු අධ්‍යයන අංශ ප්‍රධානි වශයෙන් කටයුතු කරමින් සිටියේය. ආචාර්ය කේ. කෛලාෂපති යාපනය පීඨයේ ප්‍රථම පීඨාධිපතිවරයා වශයෙන් එම වසරේ අගෝස්තු පළමුවන දින වැඩ භාරගත්තේය. එහි රෙජිස්ට්‍රාර්වරයා වූයේ කේ. පී. ජේ. විජේසුන්දරය. එවකට ඔහු, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය රෙජිස්ට්‍රාර්වරයා වශයෙන් කටයුතු කරමින් සිටියේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගණිත දෙපාර්තමේන්තුවේ ප්‍රධානි මහාචාර්ය කේ. කනක සභාපති සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. ඉන්ද්‍රපාල, යාපනය පීඨයේ ප්‍රථම අංශ ප්‍රධානීන් වශයෙන් පත් කෙරුණි.

කොළඹ, පේරදෙණිය, ශ්‍රී ජයවර්ධනපුර, කැලණිය, සහ මොරටුව යන විශ්වවිද්‍යාලවලට පසු ලංකාවේ ස්ථාපිත වූ හයවන විශ්වවිද්‍යාලය යාපනය විශ්වවිද්‍යාලය විය. තින්නවේලි, රාමනාදන් පාරේ පීඨ තුනක් පැවැත්විණි. ඒ කලා, කළමනාකරණ අධ්‍යයනය, සහ වාණිජ විද්‍යා පීඨය වශයෙනි.

වෛi සහ කෘෂිකර්ම පීඨ අඩියාපනම් පාරේ පිහිටි ගොඩනැඟිල්ලක පැවැත්වුණි.

අධ්‍යාපන ඇමැති, බද්යුදීන් මොහොමඩ්ගේ ආරාධනයෙන් සිරිමාවෝ ඩයස් බණ්ඩාරනායක අගමැතිනිය විසින් 1974 ඔක්තෝබර් මස හතරවැනි දින පස්වරු 2.25 ට යෙදුණු සුබ නැකතින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ යාපනය පීඨය නිල වශයෙන් විවෘත කරන ලදී.

විශ්වවිද්‍යාලයේ යාපනය පීඨයේ සිංහල අංශය ආරම්භ වූයේ එක්දහස් නවසිය හැත්තෑ පහේදීය. ඒ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ප්‍රධානත්වයෙනි.

උපාධිය සමත් වූ සුනිල් ආරියරත්න ඒ කාලයේ කැලණිය විශ්වවිද්‍යාලයේ තාවකාලික සහකාර කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටියේය.

ඒ කාලයේ පුවත්පත් දැන්වීමක් පළ කරලා තිබුණා, යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයට කථිකාචාර්යවරුන් බඳවා ගන්නවාය කියලා. මාසික පඩිය සඳහන් කරල තිබුණෙ රුපියල් හත්සිය පනහයි. මාත් ඉල්ලුම් පත්‍රයක් දැම්මා. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ සේවය කළ ප්‍රථම කථිකාචාර්යවරුන් දෙදෙනාගෙන් එක් අයකු වූ මහාචාර්ය සුනිල් ආරියරත්න අතීත මතක සිහිපත් කරමින් පැවැසීය.

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශය සඳහා කථිකාචාර්යවරුන් තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වුණේ කොළඹදී ය. ඒ මහාචාර්ය සුචරිත ගම්ලත්ගේ ප්‍රධානත්වයෙනි. එහිදී සුනිල් ආරියරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් තෝරා ගැනිණ. විශ්වවිද්‍යාලයේ, සිංහල අධ්‍යයන අංශය සඳහා තෝරාගත් අනික් කථිකාචාර්යවරයා වූයේ ධර්මසේන පතිරාජය. මහාචාර්ය සුචරිත ගම්ලත්, සුනිල් ආරියරත්න, ධර්මසේන පතිරාජ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශය ආරම්භ විය.

තින්නවේලි වගේම වඩුකෝට්ටෙහි පිහිටි පීඨ සඳහා භාවිත කෙරුණේ පාසල් ගොඩනැඟිලි ය. මහාචාර්ය සුනිල් ආරියරත්න යාපනය විශ්වවිද්‍යාලයේ ආරම්භක අවධියේ භෞතික ස්වරූපය විස්තර කරමින් පැවැසීය.

කච්චේරි නල්ලූර් පාරේ පිහිටි ගෙයක් විශ්වවිද්‍යාලය මගින් ලබාගෙන මෙම තිදෙනාට නේවාසික පහසුකම් සලසා තිබුණි. කාමර තුනක්, මුළුතැන්ගෙයක්, සාලයකින් සහ ඉදිරිපස ආලින්දයකින් නිවස සමන්විත විය. නිවසට අවශ්‍ය ඇඳ, පුටු, මේස, අල්මාරි සහ මුළුතැන්ගෙයි උපකරණ ද විශ්වවිද්‍යාලයෙන් සපයා තිබුණි. මේ තිදෙනාම ලෙල්ලමට ගොස් මාළු මිලදී ගත්හ. එකල යාපනය වෙළෙඳ පොළේ ලූනු මල්, කොළ ඉතාමත් ලාභය. ඔවුන්ගේ සෑම කෑම වේලකටම ලූනු මල්, කොළ වැරදුණේම නැත.

කච්චේරි නල්ලූර් පාරේ ඔවුන් නේවාසිකව සිටි නිවසේ සිට රාමනාදන් පාරේ පිහිටි විශ්වවිද්‍යාලයට ගමන් කළේ නල්ලූර් කෝවිල අසලින් වැටී තිබූ කෙටි මාර්ගයක් ඔස්සේය.

එම දිනපතා ගමන සඳහා ඔවුනට තිබූ එකම වාහනය බියිසිකලයක් පමණි.

මහැදුරන් දෙදෙනෙක් - සිනමා අධ්‍යක්‍ෂවරයෙක් යාපනයේදී තුන්දෙනාම ‘ඩබල්’ දාගෙන බයිසිකල් පැද්ද හැටි…

බයිසිකලයේ ඉස්සරහ පොල්ලේ මහාචාර්ය සුචරිත ගම්ලත් වාඩිවෙයි. පිටුපස ලැගේජයහි සුනිල් ආරියරත්න වාඩිවෙයි. මේ දෙදෙනාගේම බර දරාගෙන බයිසිකලය පදින්නේ ධර්මසේන පතිරාජය.

උදේ හවස මේ තිදෙනා බයිසිකලයේ යන ගමන අපූරු දර්ශනයක් විය.

ඒ කාලෙ මට ‘ඒ තර්ටි’ කාර් එකක් තිබුණා. නොම්මරය EL 6775. අපේ අයියල ඔය කාර්එක මට යාපනයට ගෙනැත් දුන්නා. මහාචාර්ය සුනිල් ආරියරත්න පැවැසීය.

එයින් පසුව තුන්දෙනාට ‘ඩබල් දමාගෙන’ බසිසිකලයෙන් යෑමට සිදුවුණේ නැත.

යාපනය විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ සහ හින්දු සංස්කෘතිය ඉගැන්වීමට හිටියේ අප්‍රමාණ දැනුමැති බුද්ධිමතුන් ය. එහි පීඨාධිපති ආචාර්ය කේ. කෛලාෂපති ද්‍රවිඩ සාහිත්‍ය කෘතීන් කීපයක්ම සකස් කළ කෙනෙක්. තමිල්නාඩු ප්‍රාන්තයේ පවා ඔහුගේ ප්‍රඥාව පිළිබඳව ගෞරවයක් තිබුණා. කුරුකල් කියල පඬිවරයෙක් හිටියා සංස්කෘත පිළිබඳ පුළුල් දැනුමක් තියෙන. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එසේ අගැයුවේ යාපනය විශ්වවිද්‍යාලයේ මුල් කාලයේ සේවය කළ බුද්ධිමතුන් පිළිබඳවය.

යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ඉගෙනුම සඳහා මුල්කාලයේ පැමිණි සියලු දෙනාම දකුණේ සිසුහු වූහ. ඒ සියයට ආසන්න පිරිසක් විය.

ඒ කාලෙ විශ්වවිද්‍යාලයේ නේවාසික පහසුකම් තිබුණෙ නැහැ. මේ දකුණෙ සිංහල සිසුන් සියලුදෙනාම නවාතැන් ගත්තේ ද්‍රවිඩ ජාතිකයන්ගේ නිවෙස්වල. එම ද්‍රවිඩ පවුල් මේ ළමයින්ව හොඳට බලාගත්තා. ඔවුන්ගේ ලෙඩ දුක්වල දී හෙයල බලල සත්කාර කළා. ඒ මාසයට දෙන නේවාසික කුලිය නිසා නොවෙයි, සත්භාවයෙන්මයි ඔවුන් අපේ සිංහල ළමයින්ට කළේ. මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන්නේ මැකී ගිය ද්‍රවිඩ සිංහල සුහදතා පිළිබඳව ය.

මහාචාර්ය සුනිල් ආරියරත්න ඇතුළු අනිකුත් දෙදෙනා වාසය කළ නිවසට යාබද නිවසේ වාසය කළේ බාලසිංහම් නමැති මහතෙකි. ඔහු විශ්වවිද්‍යාලයේ පුස්තකාලයාධිපතිවරයා විය.

බාලසිංහම් ගෙදර හැදෙන සමහර දෙමළ ආහාර අපිට දුන්නා. වඩේ, මීකිරි, සව් කංජි බාලසිංහම් ගෙදරින් අපට නිතරම ලැබුණා.

පරාක්‍රම කොඩිතුවක්කුගෙ එක කවි පංතියක් තියෙනවා “දෙවියන්ගේ මිනිස්සු” කියලා. ඒකෙන් කියැවෙන්නේ යාපනයේ මිනිස්සුන්ගේ දේව භක්තිය ගැන. යාපනයේ තරම් වන්දනා ස්ථාන අතිවිශාල ප්‍රමාණයක් තියෙන ප්‍රදේශයක් ලංකාවෙ වෙන කොහෙවත් නැහැ. අපි පදිංචිව සිටි ගෙදර ඉඳල විශ්වවිද්‍යාලයට යන පාරෙ නල්ලූර් කෝවිල හැරුනම තව කෝවිල් පහළොවක් විතර තිබුණා. යාපනයේ මිනිසුන්ගේ වන්දනා ස්ථාන පිළිබඳව මහාචාර්යවරයා විස්තර කළේය.

නල්ලූර් කෝවිලේ උත්සව සමයට මුළු යාපනය ප්‍රදේශයම විචිත්‍රවත් වෙනවා. විදේශගත වී සිටින බොහෝදෙනා ද මෙම ආගමික උත්සවයට සහභාගිවීමට තමන් උපන් ගම්බිම් කරා එති. කොළඹ අතිශය බලවත් පුද්ගලයන් සුදු වේට්ටියක් විතරක් ඇඳගෙන උඩුකය නිරුවත්ව, නල්ලූර් කෝවිලේ ආගමික වතාවත්වලට සහභාගි වෙන්නෙ මහා භක්තියකින්. මහාචාර්ය සුනිල් ආරියරත්න, දෙවියන් ගැන යාපනය මිනිසුන්ගේ හිත් තුළ වූ භක්තිය ගැන එසේ පැවැසීය.

එම අවධියේ යාපනය විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ සහ සිංහල සිසුන් සුහදතාවයෙන් කටයුතු කළහ. යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සියලුම සිංහල සිසුන් ද්‍රවිඩ භාෂාව පිළිබඳව ප්‍රාථමික මට්ටමේ හෝ දැනුමක් ලබාගත්හ. ඔවුන්ට කැඩිච්ච දෙමළෙන් තම සහෝදර සිසුන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට හැකි වූහ.

සිංහල සිසූහු, තම ද්‍රවිඩ යහළුවන් සමඟ නාගදීප වන්දනාවේ ගියහ. වෙසක් උත්සවයට දන්සල් දුන්හ.

එක්දහස්නමසිය හැත්තෑහයේදී අපි වික්ටර් රත්නායකගේ “ස” ප්‍රසංගය යාපනයේදී කළා. වීරසිංහම් ශාලාවේ ෂෝස් දෙකක් තිබුණා. දෙකම හවුස් ෆුල්. සුනිල් ආරියරත්න පැවසුවේ යාපනයේ පැවැත්වූ “ස” ප්‍රසංගය නැරඹීමට පැමිණි අයගෙන් සියයට අනූවක්ම ද්‍රවිඩ රසිකයන් බවය.

වික්ටර් රත්නායක ගායනා කරන සිංහල ගීතවල දෙමළ අදහස, ගීතය ගායනා කිරීමට පෙර මෙහිදී විස්තර කෙරුණි. ඒ නිසා ද්‍රවිඩ රසිකයන්ට ද තරමක්දුරට හෝ අවබෝධ කරගෙන රසවිඳීමට හැකි විය.

මහැදුරන් දෙදෙනෙක් - සිනමා අධ්‍යක්‍ෂවරයෙක් යාපනයේදී තුන්දෙනාම ‘ඩබල්’ දාගෙන බයිසිකල් පැද්ද හැටි…
සරුංගලය චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා සහ වීණා ජයකොඩි

වික්ටර් රත්නායකගේ “නීල නුවන් අගින් බලන් මීනා” ගීතය රසිකයන් වඩාත් ඇළුම් කළ ගීතයක් විය.

මහාචාර්ය සුනිල් ආරියරත්න පවසන පරිදි, යාපනයේ ඇති ඉතාමත් කුඩා හෝටලයක් පවා අතිශයින් පිරිසිදු විය.

ඒ හෝටල් අතරින් “රිකෝ” ඔවුන් තිදෙනාම නිතරම ගොඩවැදුණු එකක් විය. උදේ, දවල්, රාත්‍රී තුන්වේලටම එහි අලෙවි කරන්නේ ඉඳිආප්ප පමණය. එළුමස් හොද්ද, පොල් සම්බෝලය සහ කිරි කෝප්පයකින් සප්පායම්වීමට රුපියල් තුනක් වියදම් වූයේ නැත.

එකල නිවාඩු කාලයට මහාචාර්ය සුනිල් ආරියරත්න ගෙදර එනවිට යාපනයෙන් “පනම් පතුරම්” නොවරදවාම රැගෙන ආවේය. එය සහල් වලින් සාදන ලද කැවුම් වර්ගයකි. ඒ සමඟම තෝලගට්ටි ගොවිපළේ රසම රස නෙල්ලි යුෂ බෝතලයක් දෙකක් ගෙනඒමට ද අමතක නොකළේය. සැවැන්දරා විජේනි පත් ද ඔහු යාපනයෙන් ගෙදර ගෙන ගියේය.

තමන් යාපනය විශ්වවිද්‍යාලයේ ඉගැන්නුවේ නැතිනම් තමා අතින් සරුංගලය වැනි චිත්‍රපටයක් බිහිවීමට ඉඩක් නොලැබෙන බව මහාචාර්ය සුනිල් ආරියරත්න පවසයි.

මම යාපනය විශ්වවිද්‍යාලයේ වැඩකරන කාලයේ, ගාමිණී ෆොන්සේකා මුණහැහෙන්න ගියා, මගෙ චිත්‍රපටයක රඟපාන්න එනවද කියල අහන්න. එතකොට ගාමිණී මට කිව්වා, එයාගෙ කතා සංකල්පයක් අනුව ධර්මසිරි ගමගේ ලියපු කතා පිටපතක් තියෙනවා, සිනමාස් සමාගමේ කේ. ගුණරත්නම් ඒක නිෂ්පාදනය කරන්න හිටියා, නමුත් බැරිව ගියා, ඒක කරනවා නම් රඟපාන්න එන්නම් කියලා. මහාචාර්ය සුනිල් ආරියරත්න පැවැසුවේ තමන් අධ්‍යක්‍ෂණය කළ “සරුංගලය” චිත්‍රපටය නිර්මාණයවීමට පදනම වැටුණ ආකාරය පිළිබඳවය.

සරුංගලය චිත්‍රපටයේ හරි අඩක්ම කැමරාගත වූයේ යාපනයේදීය. කැමරා කණ්ඩායම නතර වූයේ ජාතික චිත්‍රපට සංස්ථා සංචාරක බංගලාවේය. ගාමිණි ෆොන්සේකා, වීණා ජයකොඩි, ෆරීනා ලායි නවාතැන් ගත්තේ යාපනය සුභාෂ් හෝටලයේය.

යාපනය විශ්වවිද්‍යාලයේ අනික් කථිකාචාර්වරයා වූයේ ධර්මසේන පතිරාජය.

මම ඒ කාලෙ කැලණිය විශ්වවිද්‍යාලයේ නූතන සාහිත්‍ය සහ නාට්‍ය කලාව පිළිබඳව සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කළේ. මට සුචරිත ගම්ලත් ආරාධනය කළා යාපනය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සිංහල අංශය පටන් ගමු කියලා. ධර්මසේන පතිරාජ යාපනය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙන්නේ එලෙසිනි.

යාපනයට එන ධර්මසේන පතිරාජ සහ මහාචාර්ය සුචරිත ගම්ලත් මුලින්ම නවාතැන් ගන්නේ යාපනයේ පිහිටි ජාතික රූපවාහිනී සංචාරක බංගලාවේය. කච්චේරි නල්ලූර් පාරේ නිවසට එන්නේ එයින් පසුවය.

අපි නතර වුණ නිවස බාලසිංහම් කියන නීතිඥවරයකුට අයිතිවෙලා තිබුණේ. ඔහු ලංකා සමසමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයෙක්. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වූ සර් බාලසිංහම්ගේ පුතෙක් තමයි ඒ නීතිඥවරයා. බාලා තම්පෝ, එන්. එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා යාපනයට ආවම ඒ ගෙදර නතර වෙන්නෙ කියලා බාලසිංහම් කියනවා. ධර්මසේන පතිරාජ ඔවුන් නවාතැන් ගත් නිවස ගැන විස්තර කරමින් පැවැසීය.

ඔවුන් නේවාසිකව සිටි නිවසේ ආහාර පිළියෙල කිරීම සදහා මහාචාර්ය සුචරිත ගම්ලත් කැලණියේ සිට සේනානායක නම් පුද්ගලයකු කැඳවාගෙන පැමිණියේය.

යාපනයට එන්න ඉස්සරත් මට දෙමළ පුළුවන්. අපේ ආච්චිට හොඳට දෙමළ කතා කරන්න පුළුවන්. මම පුංචිම කාලෙ පේරාදෙණිය ශ්‍රී භාරතීය පිරිවෙනේදී මට නම්පොත, බුද්ධගජ්ජය, මුළුමනින්ම කියල දුන්නෙ ද්‍රවිඩ හාමුදුරුනමක්. ධර්මසේන පතිරාජ ද්‍රවිඩ භාෂා දැනුම ලැබුවෙ එසේය.

එම අවධියේ ද්‍රවිඩ ජනතාව සමඟ ඔවූහු ඉතාමත් සමීපව කටයුතු කළහ. විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ ආචාර්යවරු ඔවුන්ගේ පවුල්වල උත්සවවලට පවා මෙම සිංහල පිරිසට ආරාධනා කළහ.

එක්දහස් නවසිය හැත්තෑ හයේදී ධර්මසේන පතිරාජ යාපනයේදී “පොන්නමනී” චිත්‍රපටය කරන්නේ ඒ ද්‍රවිඩ සුහදතාවය නිසාය.

ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම ද්‍රවිඩ කලාත්මක චිත්‍රපටය ලෙස “පොන්නමනී” සැලකෙයි.

ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙයවූ එම චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයා ඩබ්ලිව්. ජයසිරිය. නළු නිළියන් වැඩිදෙනා යාපනයේ ද්‍රවිඩ ජාතිකයෝය.

යාපනය විශ්වවිද්‍යාලයේ කණ්ඩායම් දෙකක්ම ඒ කාලෙ උපාධි ලබාගත්තා. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ජූඩ් පෙරේරා යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ධර්මසේන පතිරාජ පැවසුවේ මුල්කාලයේ යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන අස්වැන්න පිළිබඳවය.

අපි අවුරුදු පහක්ම බොහෝම සුහදතාවයෙන් යාපනයේ හිටියා. ද්‍රවිඩ අන්තවාදීන් හිතුවා මෙම සිංහල – ද්‍රවිඩ සුහදතාවය ඔවුන්ගේ අන්තවාදී, ජාතිවාදී කටයුතුවලට විශාල තර්ජනයක් වේවි කියලා. ඒවායේ ප්‍රතිඵලය වූයේ එක රැයකින් අපිව කොළඹට පටවපු එක. යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ආචාර්යවරුන් සහ සිසුන් යාපනයෙන් බැහැරවීම මහාචාර්ය සුනිල් ආරියරත්න විස්තර කළේ එලෙසය.

පීටර් කැනියුට් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment