මහ බැංකු අධිපති සමග මන්ත්‍රීලාගේ රැස්වීම උණුසුම්…  හර්ෂ ඇතුළු සජබ පිරිසක් පිටව යති

1088

‘ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මග’ මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙරේදා (31 දා) පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ට පැවැත්වූ සංවාදමය කථිකාවේ ප්‍රශ්න වටය ආරම්භ කිරීමත් සමග එය උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පෙරේදා පස්වරුවේ පැවැති මෙම වැඩමුළුවේදී මන්ත්‍රීවරුන්ට, මූල්‍ය කරුණු සම්බන්ධයෙන් වූ ඉදිරි පාර්ලිමේන්තු විවාදයන්ට ක්‍රියාකාරී ලෙස සහභාගි වීම සඳහා ප්‍රයෝජනවත් වන පරිදි, රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ අනාගත ආර්ථික මඟ පිළිබඳව දැනුවත් කර තිබිණි.

මෙහිදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු කරුණු පිළිබඳව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මහ බැංකු අධිපතිවරයාගෙන් කිසියම් විමසීමක් කිරීමට යෑමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඊට අවස්ථාව නොදී බාධා කර ඇතැයි වාර්තා වේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ බාධා කිරීම් හමුවේ එම වැඩමුළුවට සම්බන්ධ වී සිටි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඉන් ඉවත්ව ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ‘දිවයින’ට කීය.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සිට විපක්ෂයට ගිය නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා මහබැංකු අධිපතිවරයාගෙන් විමසා ඇත්තේ දිගින් දිගටම ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන පහළ දමද්දී එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් මහබැංකුව කටයුතු කළේ කුමන පදනමින්ද. එවැනි අත්තනෝමතික තීන්දු ගැනීම පිළිබඳව මහ බැංකු මූල්‍ය මණ්ඩලය වගකිවයුතු නොවේද යන්නයි.

මේ අතර ශ්‍රී ලංකාව ණය ගෙවීමට නොහැකි බංකොලොත් රටක් ලෙස මහ බැංකුව ප්‍රකාශ කළේ කුමන පදනමින් දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී මහබැංකු අධිපතිවරයාගෙන් විමසා ඇත. රටේ මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුව දැනුවත් නොකර එවැනි ප්‍රකාශයක් සිදුකළේ කාගේ උපදෙස් මත ද යන්න ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රශ්න කර ඇත.

මෙම දේශනය ආරම්භයේදීම නන්දලාල් වීරසිංහ මහතා කියා ඇත්තේ තමන් අධිපති ධුරය භාර ගන්නා විට මහ බැංකුවේ තිබූ ඩොලර් සංචිතය මිලියන 200 දක්වා පහත වැටී තිබූ බවය. නමුත් එම ප්‍රකාශය පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රශ්න කොට විමසා ඇත්තේ පසුගිය කාල වකවානුවේ පාර්ලිමේන්තුවට භාරදුන් කිසිදු මහ බැංකු වාර්තාවක එවැනි සඳහනක් නොතිබූ බවකි.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් කිරිඇල්ල මහතා හා මහබැංකු අධිපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති අතර පසුව කිරිඇල්ල මහතා නැගිට රැස්වීමෙන් පිටව ගොස් ඇති බව දැනගන්නට තිබේ. ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ හර්ෂ ද සිල්වා මහතා අතර ද උණුසුම් වචන හුවමාරුවක් සිදුවීමෙන් තත්ත්වය තවත් උණුසුම් වී තිබේ.

මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා මෙන්ම තමන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කාලයක් තිස්සේ දිගින් දිගටම කියා සිටිය ද මහබැංකුව ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමත් සමගය.

එහිදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සඳහන් කර ඇත්තේ විපක්ෂය එවැන්නක් සිදු නොකළ බවකි. ඊට හර්ෂ ද සිල්වා මහතා පිළිතුරු දීමත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් රැස්වීමේ හටගෙන ඇත.

එහිදී හර්ෂ ද සිල්වා මහතා ද “අපිට ජනාධිපතිවරයා නිතරම ආණ්ඩුවට එක්වෙන්න කියලා ආරාධනා කරනවා. හැබැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු මෙහෙම හැසිරෙද්දි අපි කොහොමද ආණ්ඩුවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්නේ” යැයි කියමින් රැස්වීමෙන් පිටව ගොස් ඇත.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment