මාස පහට ලෙඩ්ඩු 38,000 පනී – ඩෙංගු අධි වසංගතයක

101

පෙරමග ලකුණු පෙනෙනවා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ

මේ වසරේ ගතවූ මාස පහක කාලය තුළදී පමණක් ඩෙංගු රෝගීන් 38,000ක් ඉක්මවා වාර්තා වීමෙන් ඉදිරියේදී මෙරට ඩෙංගු අධි වසංගතයක් ඇති වන ලකුණු පෙන්වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය පවසන්නීය.

මැයි 28 දා (පෙරේදා) වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 38,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ 24ක් සිදුව ඇති බව පෙරේදා රාත්‍රියේ කොළඹ පැවති ‘ශ්‍රී ලංකාවේ වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය හා පාලනය කිරීමේ ක්‍රියාමාර්ග’ සම්බන්ධ විද්වත් සාකච්ජාවේදී ඇය විසින් අවධාරණය කර තිබේ.

වෙනත් වසරවලදී සාමාන්‍යයෙන් වැසි කාලයේ මසකට දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 450-500 ක් අතර සංඛ්‍යාවක් වුවද මෙම වසරේ වැසි සමය තුළදී මසකට එම රෝගීන් 1000 -1500 අතර සංඛ්‍යාවක් වාර්තා වීමෙන් 2017 වසරේදී සිදු වූ අයුරින් ඩෙංගු අධි වසංගත තත්ත්වයකට රට ගමන් කිරීමේ පෙරමග සලකුණු පෙන්නුම් කරන බව ඇය මෙම විද්වත් සාකච්ජාවේදී සඳහන් කර තිබේ. ඩෙංගු පැතිරීම පාලනය කිරීමට සෑම පාර්ශ්වයකම දැඩි කැපවීම මෙම මොහොතේ අවශ්‍යව ඇති බවත් මීළඟ මෝසම් වැසි සමයට අප මුහුණ දෙන්නේ ඩෙංගු රෝගීන් 38,000 ක් සිටින රටක් ලෙස බැවින් එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඇය මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.

මෙහිදී අදහස් දැක්වූ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දමයන්ති ඉඩම්පිටිය මහත්මිය ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 38,000ක් ඉක්මවා වාර්තා වී ඇති පසුබිමක ඩෙංගු මරණ අවම කිරීම සඳහා මෙරට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි කැපවීමෙන් කටයුතු කරන බව පවසා තිබේ. ඩෙංගු යනු නිශ්චිත හෝ විශේෂිත ප්‍රතිකාරයක් ඇති රෝගයක් නොවන අතර ඒ ඒ පුද්ගලයා එම මොහොතේ පෙන්වන රෝග ලක්ෂණ අනුව අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් එම පුද්ගලයාගේ ජීවිතය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම රෝහල්වලදී සිදු කෙරේ. නියමිත කලට රෝගය සඳහා ප්‍රතිකාර ලබා නොගැනීමෙන් ඩෙංගු නිසා බරපතළ සංකූලතා හෝ මරණය පවා සිදු විය හැකිය. මේ නිසා යමෙකුට කවර හේතුවක් නිසා හෝ පැය 48 ඉක්මවූ උණක් පවතීනම් වහාම සුදුසුකම් ඇති වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ලබා ගත යුතු වන අතර ගැබිනි මවක නම් උණ වැළඳුණු මුල් අවස්ථාවේම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

ඩෙංගු නිසා සිදු වූ ඇතැම් මරණ ගැන සලකා බැලීමේදී පෙනී යනුයේ වෛද්‍යවරයකු විසින් රෝහලක් වෙත යොමු කර ඇතත් රෝහලට යෑම ප්‍රමාද කරමින් කල් ගතවීම හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවයි. යමෙකු ඩෙංගු කම්පන තත්ත්වයේ පැය 10ක් පමණ සිට අනතුරුව රෝහලට පැමිණියද එම රෝගියාගේ ජීවිතය බේරා ගැනීම අසීරු බවයි.
ඒමන්ති මාරඹේ සහ සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment