මා වඩාත්ම ආශ්වාදයක් ලබන්නේ ගීත රචනයෙන්

281

නවකතාව සහ කෙටිකතාව තුළ ඔහු සම්මානනීය ලේඛකයෙකි. නාට්‍ය කලාව සහ පුවත්පත් කලාව තුළ ප්‍රවීණයෙකි. එපමණක් නොව යුග යුග රැඳි ගී රැසක් සිංහල ගීත සාහිත්‍යයට ප්‍රදානය කරන ලද ප්‍රතිභාසම්පන්න ගීත රචකයෙකි. හේ නමින් කපිල කුමාර කාලිංග ය.

මේ වන විට ඔහුගේ නිර්මාණ දිවියට දශක පහක් සම්පූර්ණ වී ඇත. ඒ නිමිත්තෙන් පවත්වනු ලබන “දශක පහක මධුර මතක” සජීවී ගීතමය ප්‍රසංගය මෙම මස 09 වන දින සවස 7.00ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. එම ප්‍රසංගයට සමගාමීව කපිල කුමාර කාලිංග විසින් රචිත ගීත ඇතුළත් “වසන්තයේ අග” කෘතිය සහ “දශක පහක මධුර මතක” ලිපි සරණිය එළිදැක්වෙනු ඇත. පහත පළවන්නේ ඒ සම්බන්ධව කපිල කුමාර කාලිංග මහතා සමඟ සිදුකළ කතාබහකි.

මා වඩාත්ම ආශ්වාදයක් ලබන්නේ ගීත රචනයෙන්

“දශක පහක මධුර මතක” ප්‍රසංගයේ හැඩය පිළිබඳව පළමුව යමක් සඳහන් කළ හැකිද?

දශක පහක මධුර මතක ප්‍රසංගයට ඇතුළත් වන්නේ, පසුගිය දශක පහක කාලය තුළ මවිසින් රචනා කරන ලද ගීත අතරින් තෝරා ගත් ගීත, ටෙලිනාට්‍ය ගීත, ටෙලි නාට්‍ය ගීත මෙන්ම මෑත භාගයේ නව පරපුරේ ශිල්පීන් උදෙසා මා ලියූ ගීතයන් ද එහිදී අසන්නට ලැබෙනවා.

සාහිත්‍ය ශානරයන් කීපයක එක සේ සමත්කම් දක්වන ඔබ ගීතය පමණක් වේදිකාවට රැගෙන එන්නට තීරණය කළේ කුමන පසුබිමක් තුළද?

මා කලා හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ ක්ෂේත්‍රයන්හි නියැලී සිටියත්, ඉන් වඩාත් ආශ්වාදයක් ලබන්නේ ගීත රචනයෙන්. මෙම ප්‍රසංගය ගීත සඳහාම යොදා ගැනීමටත් එය එක් හේතුවක්. මෙය යුග යුග රැඳි ගීතමය ආවර්ජනයක් ලෙස හඳුන්වන්නත් පුළුවන්.

දශක පහක පමණ දුරක් පැමිණි මේ ගමන් මඟේ ආරම්භය සිද්ධවෙන්නේ කොහොමද?

මම කලා පසුබිමක් සහිත පවුලක සාමාජිකයෙක්. මුල් කාලයේ චිත්‍ර ශිල්පයට පෙළඹුණත්, පසුව ලේඛන කලාවට ඒ වගේම වේදිකා නාට්‍යයට යොමු වුණා. මගේ ප්‍රථම වෘත්තියත් අවසාන වෘත්තියත් පුවත්පත් කලාව. මට ලේඛකයකු වශයෙන් ඉදිරියට ඒ පසුබිමත් බලපෑවා.

පනස් වසරක නිර්මාණ ජීවිතය තුළ ඔබ වඩාත් සාර්ථක වූ කාල වකවානු ඇත්නම්, ඒ පිළිබඳ යමක් සඳහන් කරන්න පුළුවන්ද?

මා වේදිකා නාට්‍ය හයක් පමණ රචනා කොට තිබෙනවා. ඉන් “රයිනෝසිරස්” (අනුවර්තන) නෙළුම් පොකුණ, අපි ගෙවන්නේ නෑ (පරිවර්තන විජිත ගුණරත්න) හා බැංකු වීරයා මගේ අධ්‍යක්ෂණයක්. රාජ්‍ය නාට්‍ය උළෙල ඇතුළු නාට්‍ය උළෙලවලදී මා නාට්‍යකරුවකු වශයෙන් ලද සම්මාන මට මහත් සතුටක්. ඒ වගේම මා නවකතා සහ කෙටිකතා සංග්‍රහ උදෙසා සම්මාන ලැබුවා. විශේෂයෙන් “පියැසි කවුළුව” නවකතාවට විද්‍යෝදය සම්මානය, “අදිසි නදිය”ට ස්වර්ණ පුස්තක සම්මානය හා “නිරෝධායන චාරිකාව” (කෙටි කතා) ගොඩගේ සම්මානය ලැබීම මගේ නිර්මාණ ජීවිතයේ ආශ්වාදනීය ජයග්‍රහණයන් කීපයක් වශයෙන් හඳුන්වන්න පුළුවන්.

මා වඩාත්ම ආශ්වාදයක් ලබන්නේ ගීත රචනයෙන්

● ඔබට ඇසුරු කරන්නට ලැබුණු ප්‍රවීණයන්ගෙන් මේ ගමන සඳහා ලැබුණු අනුබලය කොහොමද?

මට විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් රැසකගේ ඇසුර හා අනුබලය ලැබීමේ වාසනාව හිමි වුණා. ඒ අතුරින් ධර්මසේන පතිරාජ, සුගතපාල ද සිල්වා, තිලක් ජයරත්න ආදීන් පළමුව මගේ මතකයට නැගෙනවා. ඔවුන් ගෝලයන් තැනූ අය නොවෙයි. එහෙත් ඔවුන්ගේ ඇසුර මට විශාල දැනුම් සම්භාරයක් ලබා දුන්නා. පුවත්පත් කලාවේ නියැලී සිටියදී සිරිලාල් කොඩිකාර, හියුබත් දිසානායක හා දයාසේන ගුණසිංහ ආදීන්ගෙන් මං බොහෝ ගුරුහරුකම් උපදෙස් ලැබුවා. තව දෙයක් කියන්න ඕනා. ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨ කලා, සාහිත්‍ය නිර්මාණයන් ද අපට මහැදුරන් බඳුයි.

● නාට්‍ය කලාව, ගීතය, නවකතාව සහ කෙටිකතාව එපමණක් නොවෙයි පුවත්පත් කලාව සහ වෙළෙඳ දැන්වීම් නිර්මාණ කලාව මේ සෑම තැනකදීම අපට කපිල කුමාර කාලිංග ව මුණ ගැසෙනවා. මේ බහුවිධ හැකියාවන් ඔබ විසින් ළඟා කරගත්තේ කොහොමද?

බහුවිධ කලා හැකියාවන් ලැබීම දුලභ ගණයේ සරසවි වරමක් ලෙස කලාවේදී හැඳින්වෙනවා. මට විවිධ යුගවලදී විවිධ වෘත්තීන්වල නියැලෙන්න අවස්ථාව ලැබෙනවා. වෙළෙඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයට යෑමත්, යුගය විසින් මා යොමු කළ අවස්ථාවක්. එහෙත්… මා එහිදීත් ජාත්‍යන්තර සම්මාන පවා ලැබුවා. මා කිසි දෙයක් හුදු රස්සාවක් පමණක් බවට පත් කරගත්තේ නෑ. කරන දෙය උපරිම ආකාරයෙන් ඉටු කිරීමටයි මා හැම විටම උත්සාහ ගත්තේ. කලාකරුවකු නව නිර්මාණ කාර්යයේ දී ඉක්මන් නොවී පරිපූර්ණ (perfact) කෘතීන් නිර්මාණය කිරීමටයි ප්‍රයත්න දැරිය යුත්තේ. අවසානයේ දී ඉතිරි වන්නේ අප කළ නිර්මාණ සංඛ්‍යාව නොව විශිෂ්ට නිර්මාණයන් කීපය පමණයි. මම කවදත් හිටියෙ ඒ මතය තුළයි.

● හොඳයි… ගීතය පිළිබඳව අප නැවත කතා කළොත් භාෂාත්මක නිර්මාණයක් වන “ගීතය”ක රචනාත්මක සෞන්දර්ය ඔබ දකින ආකාරයට මොන වගේ විය යුතුද?

ගීතයක් යනු ගායනා ගුණයෙන් යුත් ඉසියුම් වදන් අහුරකින් කෙරෙන සංගීතාත්මක වියමනක්. ඒ අර්ථයෙන් ගත් කල ගේය පද රචනය බරපතළ සාහිත්‍යය කාර්යයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. තනුවකට ගායනා කළ පමණින් වචන විතරක් ගීතයක් වෙන්නේ නැහැ. ගීත රචකයකුට තම සියුම් සංකල්පනාවන් ප්‍රකාශයට පත් කිරීමට පහසුවන්නේ ඔහු වඩාත් පොහොසත් වදන් ගබඩාවක් හිමි පුද්ගලයෙක් වුවහොත් පමණයි. ඒ සඳහා රචකයා සම්භාව්‍ය සාහිත්‍යය පරිශීලනය කළ යුතුයි. උසස් ගීත ශ්‍රවණය කළ යුතුයි.

● වත්මන් ගීතයේ හැඩ රුව ඔබේ නිරීක්ෂණයට ලක් වන්නේ මොන අයුරින්ද?

කවියත්, ගීතයත් බැලූ බැල්මට එක්කුස උපන් සොහොයුරන් දෙදෙනකු ලෙස පෙනී ගියත්, ඔවුන් එකිනෙකට අනන්‍ය වූ ජාන සහිත ආත්ම දෙකක්. ගේය රචනාව කාව්‍යයෙන් වෙනස් වන ආකාරය බොහෝ ගීත රචකයන් හඳුනාගන්නේ නෑ. නූතන සිංහල ගීතය තනුව හා සංගීතයට මුල් තැන දෙන ගේය පද පිළිබඳව වගකීම සුළු කොට තකන කාර්යයක් බවට පත් වෙලා. එහෙත් තරුණ ගීත රචකයන් කීප දෙනෙක් උසස් ගීත රචනා කිරීමේ යෙදී සිටීම අත්හදාබැලීම් සිදු කිරීම සුභ ලකුණක්. අවාසනාවකට වගේ ඔවුන්ගේ හොඳ ගීත ශ්‍රව්‍ය, දෘෂ්‍ය මාධ්‍ය වනාන්තරය තුළ සැඟව ගිහින්.

සාකච්ඡා කළේ රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment