මුහුණු පොතින් හඳුනාගෙන නිවාසවලින් පැනගොස් නුවරඑළියේ අතරමංව සිටි 17 හැවිරිදි  පෙම් යුවළ පොලිස්භාරයට

1024

දරුවන් ගැන දැනුවත් කළ ත්‍රිිරෝද රථ රියැදුරුට පැසසුම්

මුහුණු පොතින් පෙම්වතුන් වූ 17 හැවිරිදි පෙම් යුවළක් නිවෙස්වලින් හොර රහසේ පැනවිත් කරකියා ගත දෙයක් නොමැතිව නුවරඑළිය නගරයේ තැන තැන ඉබාගාතේ සැරිසරමින් සිටියදී (08) දා පොලිස් භාරයට ගත්බව නුවරඑළිය පොලීසිය පැවසීය.

කලු‍තර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පිරිමි ළමයෙකු හා අම්පාර ප්‍රදේශයේ පදිංචි එම වයසේම ගැහණු ළමයෙකු මෙසේ පොලිස් භාරයට ගෙන තිබිණි.

මෙම ළමුන් දෙදෙනා මුහුණු පොත මගින් හඳුනාගෙන පෙම්වතුන් බවට පත්ව ඇති බවත්, පසුව ඊට උරණව ඇති ගැහැණු ළමයාගේ පියා විසින් ඇයගේ ජංගම දුරකතනය ලබා ගෙන ඇති අතර,පසුව ඇය පසුගිය 06 දින අම්පාර ප්‍රදේශයේ සිට සිය පෙම්වතා සොයාගෙන කලු‍තර ප්‍රදේශයට ගොස් ඇති බවට පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.

ඉන් පසුව දෙදෙනා පානදුර ප්‍රදේශයේදී හමු වී එදින රාත්‍රියේ පානදුර බස් නැවතුමේ රාත්‍රීය ගත කොට පසුදා අලු‍යම කොළඹට ගොස් එහි සිට බස් රථයකින් නුවරඑළියට පැමිණ ඇති බව පොලීසිය පවසයි.

නුවරඑළියට පැමිණි සිටි ඔවුන් අත මුදල් නොමැතිවීම නිසා ගැහැණු ළමයා රැගෙනවිත් තිබු පරිගණක යන්ත්‍රය හා පිරිමි ළමයාගේ ජංගම දුරකතනය අලෙවි කිරීමට ස්ථානයක් සොයමින් නුවරඑළිය නගරයේ තැනතැන සැරිසරමින් සිටියදී නුවරඑළිය පොලීසිය ඉදිරිපිට ත්‍රීරෝද රථ ගාලේ රියදුරෙකු විසින් මේ බව දැක ඒ බව පොලිස් නිලධාරියෙකුට දැනුම්දීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා ඔවුන්ගේ ආරක්ෂාවට සහ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලීසිය භාරයට ගෙන ඇත.

අපරාධකරුවන්ට හෝ මංකොල්ලකරුවන්ට හසුව මෙම ළමුන් දෙදෙනාට සිදු වන්නට ගිය විශාල හානියක් ත්‍රීරෝද රථ රියදුරාගේ දැඩි විමසිලිමත්කම හේතුවෙන් වළක්වා ගැනීමට හැකියාව ලැබුණු බව පොලීසිය කියයි.

දෙමාපියන් පොලීසියට කැඳවා ළමුන් දෙදෙනා භාරදීමට පොලීසිය පියවර ගෙන තිබූ අතර, නිසි වයස සම්පූර්ණ වූ පසු විවාහකර දෙන බව දෙමාපියන් විසින් පොලීසියට පවසා ළමුන් ඔවුනොවුන්ගේ නිවාසවලට රැගෙන යාමට පෙරේදා (09) පියවර ගත්බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

නුවරඑළිය මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන 2360 හේවාමාන්න, 73873 දිනේෂ්, කාන්තා පොලිස් කොස්තාපල්වරුන් වන 13246 මධුමාලී, 13399 රාජගුරු යන නිලධාරීන් විසින් මොවුන් පොලිස් භාරයට ගෙන තිබිණි.

මස්කෙළිය-ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment