මෝටර් රථයකින් ආ 4 ක් නිවසක සිටි අයකු පැහැරගෙන වෙඩි තබා පාරේ දමා ගිහින්

123

මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු පොලිසියෙන් පව පවසා මාතර ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පිස්තෝලයක් පෙන්වා නිවසේ සිටි පුද්ගලයෙකු පැහැරගෙනවිත් වෙඩි තබා උණවටුන දලවැල්ල ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමාගොස් සිටියදී සිකුරාදා රාත්‍රි 11ට පමණ සොයාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ රෝහල්ගත කර ඇත්තේ මාතර නාවිමන පදිංචි නාරාතොට හේවගේ අමේෂ් චවි සංඛ නමැති 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරෙකි.

ඔහු නිවසේ සිටියදී රාත්‍රි 9ට පමණ කළු පැහැති මෝටර් රථයකින් පැමිණි සිව් දෙනකු තමන් පොලිසියෙන් බව පවසා පිස්තෝලයක් පෙන්වා මෝටර් රථයට ගොඩකර ගෙන ඇති බවත් ඔහුගේ සහෝදරයෙකු විසින් ගෙන එන ලද ධීවර ආම්පන්න ලබාදෙන ලෙස ඉල්ලා පහරදී උණවටුන ප්‍රදේශයේදී මෝටර් රථයෙන් ඇද දමා වෙඩි තබා පලාගොස් ඇති බවත් පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ඔහුගේ පාදයකට වෙඩි පහරක් වැදී ඇති අතර තත්ත්වය බරපතළ නොවන බවය.

ගාලු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි හබරාදුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුනුවිල බණ්ඩාර මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
අහංගම – සුගතපාල දීයගහගේ,හබරාදුව ඒ. එල්. ඒ. ආරියරත්න, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment