යුරෝපයේ එදා මෙදාතුර ඉදිවූ විශාලතම තොරණ

722

යුරෝපයේ එදා මෙදාතුර ඉදිවූ විශාලතම තොරණ මෙවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නොඑසේ නම් කිංස්බරි පන්සල ඉදිරිපිට ලබන 10 වැනිදා සිට ප්‍රදර්ශනය කිරීමට නියමිතය. යුරෝපයේ බුදු දහම ප්‍රචලිත කිරීම සඳහා ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙන් ඉටුවන්නේ සුවිශේෂී කාර්යයකි. ඒ ගලයායේ පියදස්සි නායක හිමියන්ගේ අනුශාසනාවෙන් ගලයායේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙනි. මේ අනුව යුරෝපයේ ඉදිවූ දැවැන්තම තොරණ පසුගිය වසරේදී එහි නිර්මාණය විය. ඒ පඨාචාරා ජාතක කතාව ඇතුළත්ව අඩි 25 ක උසකිනි.

මෙවර එම වාර්තාව අලුත් කරමින් කිංස්බරි පන්සල ඉදිරිපිට ස්වර්ණ හංස ජාතකය ඇතුළත් පොසොන් තොරණ ඉදිකර ඇත්තේ අඩි 35 ක උසකින් යුක්තවය. විදුලි බුබුළු 25,000 කින් ආලෝකවත්ව හැඩවන එහි ආලෝකකරණ ශිල්පීය නිර්මාණ දායකත්වය ලබා දෙන්නේ දුමින්ද ලියනගමගේ ය. එලෙස මෙවරත් තොරණේ චිත්‍ර හා සියලු කටයුතු සඳහා දායකත්වය ලබා දී ඇත්තේ එංගලන්තයේ වෙසෙන කිංස්බරි පන්සලේ දායකයන් පිරිසය. තොරණ නැරඹීමට පැමිණෙන සියලු දෙනා වෙනුවෙන් සෑම දිනකම දන්සල් පැවැත්වීමටත් දායක මණ්ඩලය කටයුතු කරයි. මේ අතර තොරණ ප්‍රදර්ශනය ආරම්භ වන ලබන 10 වැනිදා දෙමාපියන් විසින් හා අවසන් දිනය වන 28 වැනිදා දරුවන් විසින් බොදු බැති ගී ප්‍රසංගයක් එම පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතව ඇත්තේ සංගීත ආචාර්ය අංජු දාබරේ මහත්මියගේ මෙහෙයවීමෙනි.

මෙම තොරණ ප්‍රදර්ශනය කිරීමෙන් එක්රැස්වන ආධාර මුදලින් ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පානීය ජල ව්‍යාපෘතියක් හා මහරගම අපේක්ෂා රෝහලට මූල්‍යාධාරයක් සිදු කිරීමට නියමිතය. මෙවරත් තොරණ නැරඹීමට නොහැකි සියලු දෙනා වෙනුවෙන් සමාජ මාධ්‍ය වන යූටියුබ් හා ෆේස්බුක් ඔස්සේ සජීවී විකාශයක් ගෙන ඒමට කිංස්බරි පන්සලේ නිල නාලිකා සියලු කටයුතු සූදානම් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment