යොවුන් කණ්ඩායම වසරේ සිව්වැනි ජාත්‍යන්තර තරගාවලියට

195

සිව්දින තරගයක් සහ එක්දින තරග 5 ක් ඇතුළත් පාකිස්තානු තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඊයේ (12 වැනිදා) දිවයිනෙන් පිටත්ව ගියේය.

ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය කොළඹ රාජකීය විදුහල නියෝජනය කරනු ලබන සිනෙත් ජයවර්ධන වෙත පවරා තිබේ. කණ්ඩායමේ උප නායකයා ලෙස ගාල්ල රිච්මන්ඩ් විදුහලේ මල්ෂ තරුපති නම් කර තිබේ.

ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් වතාවට බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම සමඟ එක්දින සහ සිව්දින තරගාවලියකට ක්‍රීඩා කළ අතර එම සංචිතය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 14 දෙනකුම පාකිස්තානු තරග සංචාරයට ඇතුළත්ව සිටිති. ඒ අනුව කුරුණෑගල ශාන්ත ආනා විදුහල නියෝජනය කරනු ලබන ගීතික ද සිල්වා සහ මහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනය කරනු ලබන මනුල කුලරත්න කණ්ඩායමට අලුතින් පැමිණ සිටින ක්‍රීඩකයෝ වෙති. මොවුන් දෙදෙනාම වේග පන්දු යවන ක්‍රීඩකයෝ වෙති.

මෙම පාකිස්තානු තරග සංචාරයේ සියලුම තරග ලබන 15 වැනිදා සිට 31 වැනිදා දක්වා කරච්චිහිදී පැවැත්වේ. පළමුව සිව්දින තරගයෙන් ආරම්භ වන මෙම තරගාවලියේ එක්දින තරග 22 වැනිදා සිට පැවැත්වෙනු ඇත.

පාකිස්තානු යොවුන් පිලට එරෙහි මෙම තරගාවලිය මේ වසරේදී ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගිවනු ලබන සිව්වැනි ජාත්‍යන්තර තරගාවලිය වන්නේය. මීට පෙර ශ්‍රී ලංකා පිල මෙම වසර මුලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී සිව්කොන් තරගාවලියකටද පසුව ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියකටද සහභාගිවූ අතර අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් යොවුන් පිල සමඟ සිය මව්බිමේදී සිව්දින සහ එක්දින තරගාවලියකට ක්‍රීඩා කළේය. එම තරගාවලියේදී සිව්දින තරගාවලිය 1-0 ක් ලෙස ජය ගත් යොවුන් ක්‍රීඩකයෝ එක්දින තරගාවලියද 2-1 ක් ලෙස ජය වාර්තා කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව කණ්ඩායම පකිස්තානය බලා ගියේය.

advertistmentadvertistment
advertistmentadvertistment