රත් හදුන් පැළ පන්දහසක් සිටුවීමට පෙරමුණගත් ජීවකයාණෝ

1497


රත්හදුන් යනු ඉතා වටිනා ඖෂධීය ශාඛයකි. ආයුර්වේද ඖෂධ ප‍්‍රතිකාර සඳහා බොහෝසේ යොදාගන්නා අතරම මෙහි ඇති ශක්තිමත් බව නිසා දැවමය වටිනාකමක්ද පවතී.
මෙම වටිනා ශාඛය මේ වන විට ශ‍්‍රී ලංකාවේ ඇත්තේ ඉතා සීමා සහිත ප‍්‍රමාණයකි. එවන් පසුබිමක රත්හදුන් ශාඛය යළි රට තුළ ව්‍යාප්තකරන්නට උරදී සිටින පුද්ගලයකු අපට හමු විය. ඔහු ආයුර්වේද වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉහළින්ම සිටින වෛද්‍යවරයකු වන සුජීව විතානගේය. බොහෝ රෝගීන් ඔහු හදුනන්නේ ප‍්‍රාණජීව වෙදමහතා ලෙසය.

 ‘ජීවයේ හුස්ම රැක ගැනීමට පෙළ ගැසෙමු’ තේමාව යටතේ ඔහු රට පුරා රත්හදුන් පැළ පන්දහසක් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 2020 අපේ‍්‍රල් මාසයේදී ආරම්භ කර ඇති මෙම ව්‍යාපෘතිය මේ වන විට රට පුරා සාර්ථකව ක‍්‍රියාත්මකව පවතී. සිය ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔහු බොහෝ කැපවීකින් කටයුතු කර ඇති බව මෙතෙක් පැමිණි ගමන් මග අනුව පැහැදිලිවේ. ආයුර්වේද වෛද්‍ය වෘත්තියේ නිරත වුවෙක් ලෙස මම රත්හදුන් ශාකයේ ඇති වටිනාකම හොඳින් දන්නවා. එනිසා මෙම ශාඛය අප රටේ කොපමණ තිබෙනවා දැයි කියා සොයා බැලූ විට හෙළි වූයේ දැනට ඇත්තේ රත්හදුන් ගස් 40 ක් පමණ ප‍්‍රමාණයක් බවයි. ඒවාත් 1940 ගණන්වල සිටවූ ගස් මෙම තොරතුරු අනුව මා ඉතා සංවේදී තත්ත්වයට පත්වූවා එනිසා මෙම ශාකය යළි අප රට තුළ ව්‍යාප්ත කරන්න මම තීරණයක් ගත්තා. ඒ අනුව තමයි මම රත්හදුන් පැළ පන්දහසක් රට පුරා සිටු වීමේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. වෛද්‍ය සුජීව විතානගේ මහතා තම ව්‍යාපෘතිය ආරම්භ කළ අයුරු පැහැදිලි කරමින් පැවසීය. රත්හදුන් පැළ රත්හදුන් බීජවලින් හටගන්නේ නැහැ. ඒවා විශේෂ ක‍්‍රම මගින් සකස් කර ගත යුතුයි. ඒ සඳහා මා ඒ පිළිබඳ විශේෂඥයෙක් වන රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුබසිංහ මහතා සමග සාකච්ඡා කර ලබාගත් උපදෙස් අනුව පැළ සාදා ගැනීමට යොමු වුණා. එසේ සාදාගත් පැළ රට පුරා රෝපණය කිරීම සඳහා මම නොමිලයේම ලබා දෙනවා යැයි ද පැවසීය.

 ඒ අනුව වෛද්‍ය සුජීව විතානගේ මහතා මේ වන විට රාජ්‍ය ආයතන පෞද්ගලික අංශය, ආගමික සිද්ධස්ථාන, පාසල්, යුදහමුදාව, පොලිසිය සඳහාත් පෞද්ගලික ඉඩම්හි රත්හදුන් පැළ සිටුවීමට කැමැති පුද්ගලයින්ටත් තමා විසින් සකස් කළ රත්හදුන් පැළ පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත. රත්හදුන් පැළ පන්දහසක් මට තනිව සිටුවන්න බැහැ. ඒනිසා මම අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී මගේ ව්‍යාපෘතිය ගැන පැහැදිලි කළා. එහිදී අග‍්‍රාමාත්‍යතුමා මේ සඳහා මට සහයෝගය දීමට බොහෝ කැමැත්තෙන් ඉදිරිපත් වුණා. ඒ අනුව පළමු පැළ 100 එතුමා හම්බන්තොට ප‍්‍රදේශයේ සිටුවීමට කටයුතු කළා.

රත් හදුන් පැළ පන්දහසක් සිටුවීමට පෙරමුණගත් ජීවකයාණෝ

සංචාරක සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා මැදිහත්වී මත්තල ගුවන්තොටුපළ පිවිසුම් දොරටුව ඉදිරිපිට බෝධි මළුව ස්ථානයේ රත්හදුන් පැළ 1000 ක් සිටුවීම ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහන සඳහා එම ගුවන්තොටුපොළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මහේන් මහතාත් විශාල සහයෝගයක් ලබා දෙනවා. මේ සමග අන්තර් ජාතික ගුවන්තොටුපළ භූමි ප‍්‍රදේශයක මෙතරම් රත්හදුන් ශාක ඇති එකම ගුවන්තොට, පොළ බවට මත්තල පත්ව තිබෙනවා. තම ව්‍යාපෘතියේ තවත් එක් ප‍්‍රගතියක් පිළිබඳව වෛද්‍ය සුජීව විතානගේ මහතා අනාවරණය කළේ එලෙසිනි.

 මත්තල පමණක් නොව කටුනායක ගුවන්තොටුපළ භූමියෙහි පැළ 300 ක් රත්මලාන සහ යාපනය අන්තර් ජාතික ගුවන්තොටුපළ දෙකෙහි පැළ 50 බැගින්ද සිටුවීමට පියවර ගෙන ඇත. මම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙතත් මෙම ව්‍යාපෘතිය ගැන දැනුවත් කළා. එතුමාත් ඒ සඳහා මට සහාය ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දියවන්නාව අද්දර ඉදිකළ සඳුන් උයනේ රත්හදුන් පැළ 300 ක් සිටුවීමට අවස්ථාව ලැබුණා. දිවයිනපුරා පිහිටි යුදහමුදා කඳවුරුවල සිටුවීමට රත්හදුන් පැළ 400 ක් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පොලිසිවල සිටුවීම සඳහා රත්හදුන් පැළ 250 ක් ලබා දුන්නා. අනුරාධපුර පූජා නගරයේ සිටුවීමට පැළ 50 ක් රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන හිමියන් වෙත පූජා කළා. මැල්කම් කාදිනල් රංජිත් පියතුමා දේවස්ථානවල රත්හදුන් පැළ සිටුවීමට කැමැත්ත පළ කළා. ඒ අනුව අවශ්‍ය පැළ ලබා දීමට පියවර ගන්නවා. පාසල්, පෞද්ගලික ආයතන මෙන්ම තමුන්ගේ පෞද්ගලික ඉඩමක සිටුවීමට කැමැත්ත ඇති අයට මේ වන විට මා රත්හදුන් පැළ ලබාදී තිබෙනවා. තම ව්‍යාපෘතියේ දිගු ගමන ගැන වෛද්‍ය සුජීව විතානගේ මහතා කළ මෙම හෙළි දරව්ව අනුව සිතුවිල්ලක් යථාර්ථයක් බවට පත්කිරීම සඳහා ඔහුගෙන ඇති වෙහෙස සහ කැපවීම කෙබදුදැයි වටහාගත හැකිය. ආයුර්වේදය සඳහා රත්හදුන් ඉතා අත්‍යවශ්‍ය ඖෂධීය ශාඛයක් බැවින් මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයෑම සඳහා දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි මහතාගෙන් ලැබෙන අනුග‍්‍රහයද වෛද්‍ය සුජීව විතානගේ මහතා සිහිපත් කළේය. රත්හදුන් ගසක් හොඳින් වැඞී පරිනත වීමට වසර 70 ක් පමණ ගතවේ. එසේ පරිනත ගසක වානිජ වටිනාකම රුපියල් කෝටි දෙකක් පමණ වන බව වෛද්‍ය සුජීව විතානගේ මහතා පවසයි. ආයුර්වේද ඖෂධ සඳහා රත්හදුන් යොදාගන්නා බැවින් මේ වන විට එහි කිලෝවක මිල රුපියල් එකොලොස් දහසක් පමණ වන බවද ඒ මහතා කීවේය.

 උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment