ජනතා විමුක්ති පෙරමුණේ ජ්‍යෙෂ්ඨතමයකු වන එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගෙන් ජවිපෙ වෙනස් වෙලාද? යන ප්‍රශ්නය අපි විමසුවෙමු. ඒ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව දැන ගැනීම සඳහා “දිවයින ඉරිදා සංග්‍රහය” ඔහුව සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් කරගත් අවස්ථාවේදීය. ඔහු ඊට ලබා දුන් පිළිතුරු සහ අප ඇසූ අනෙකුත් ප්‍රශ්නයන්ට ලබා දුන් පිළිතුරු පහතින් පෙළ ගැසේ.

ප්‍රශ්නය – ජාතික ජන බලවේගය ගොඩනැගීමත් සමග ජනතා විමුක්ති පෙරමුණ එදාට වඩා අද වෙනස් වී ඇති බව ඇතැමුන් සඳහන් කරනවා. තවත් සමහරු කියන්නේ නෑ එහෙම එකක් නැහැ කියලා. ඇත්තටම ජවිපෙ එදාට වඩා අද වෙනස් වෙලාද?

පිළිතුර – ඇත්තටම එදා ජවිපෙයි අද ජවිපෙයි කියලා වෙනස්කම් වර්ගයක් නැහැ. ජවිපෙ කියන්නේ යහපත් සාධාරණ සමාජයක් ගොඩනැගීම අරමුණු කරගත් පක්ෂයක්. අපි ඒ ඒ වෙලාවේ මතුවන තත්ත්වයන්ට අනුව ක්‍රියාමාර්ග උපක්‍රම වෙනස් කරනව. එහෙම නැතුව එදා ජවිපෙ අද ජවිපෙ කියලා එකක් නැහැ.

අද අපි ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ගොඩනඟා තිබෙනවා. එය ගොඩනැගෙන්නේ වාමාංශික, ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී, දේශප්‍රේමී, රටට ආදරේ කරන සියලු බලවේග එකතු කරගත්තු පුළුල් මහජන ව්‍යාපාරයක් ලෙස. මේ මොහොතේ වැටී ඇති රට ගොඩගන්න එහෙම පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය බව අප විශ්වාස කරනවා. ජාතික ජන බලවේගය ඒ වෙනුවෙන්.

ප්‍රශ්නය – ජවිපෙ වෙනස් වෙලා යන කතිකාව විශේෂයෙන්ම මතුවන්නේ ජාතික ජන බලවේගය සහ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයත් සමග. චෝදනා කළ සෑම දෙනා පාහේ සඳහන් කළේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජවිපෙ මෙහෙම වෙනස් වුණේ කොහොමද කියලා.

පිළිතුර – ඔය චෝදනා කරපු බොහෝ අය පහුගිය කාලේ ජවිපෙට ජාත්‍යන්තර සම්බන්ධතා නෑ කියලා කිව්ව අය. දැන් ජාත්‍යන්තර සබඳතා ඇති බව ඔප්පු වෙනකොට ඉන්දියානු ව්‍යාප්තවාදය වැනි එක එක කතා කියනවා. ජනතා විමුක්ති පෙරමුණ ගැන, අපේ දේශපාලනය ගැන, ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන වැඩසටහන් ගැන මෙලෝ හසරක් දන්නේ නැති මිනිස්සු කියන විකාර කතා ගැන අපට අනුකම්පා සහගතයි.

ප්‍රශ්නය – හැබැයි ජවිපෙ පන්ති පහේදී ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරලා තිබෙනවා.

පිළිතුර – මම ජවිපෙ පන්තිවලට සම්බන්ධ වුණේ 1978 දී. හැබැයි මට ඔහොම පන්තියක් කරලා නැහැ.

1971 එකට කලින් අපට පන්ති පහක් තිබුණා. ඒක හැදුවේ 1969 දී. ඒ පන්ති පහෙන් එකක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය කියලා කිව්වේ. ඒකෙන් කතා කරේ ඒ කාලේ ඉන්දියාව අසල්වැසි රාජ්‍යයන් තුළ කරන ව්‍යාප්තවාදය ගැන. හැබැයි 1971 අරගලයෙන් පසු ඉන්දියානු ව්‍යාප්තවාදය කියන පන්තිය අතහැරියා. ඒ වෙනුවට වෙන පන්ති පහක් හැදුන. ඔය පන්ති කියලා කියන්නේ, බයිබලය කුරාණය වගේ එකක් නෙවෙයි. ඒක වෙනස් වෙනවා. අපේ පන්ති කියලා කියන්නේ ඒ වෙලාවේ මතුවන දේශපාලනය පිළිබඳ අප සමග එකතුවන සාමාජිකයන්ට ඉගැන්වීම සඳහා කරන සාකච්ඡා පහක්.

ප්‍රශ්නය – 1971 ට පෙර පැවැති පන්ති පහ සහ ඉන්පසු පැවති පහ කිනම් මාතෘකාව ඔස්සේ දිව ගියාද?

පිළිතුර – 1971 ට පෙර පන්ති පහ තිබුණේ මෙන්න මෙහෙම. ආර්ථික අර්බුදය පළවෙනි පන්තිය. දෙවන පන්තිය නිදහස නව යටත්විජිත උපක්‍රමයකි. ඒකෙන් කතා කළේ ඇත්තටම නිදහස ලැබුණේ නෑ කියන එක. තුන්වෙනි පන්තිය තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. හතර, ලංකාවේ වමේ ව්‍යාපාරය. පහ , ලාංකීය විප්ලවය ගතයුතු මඟ. ඔය පහ තමයි 1971 ට කලින් තිබුණ ජවිපෙ පන්ති පහ.

1971 එකට පසු අලුත් පන්ති පහක් හැදුවා.

පළමු පන්තිය, ආර්ථික අර්බුදය. දෙක, වමේ ව්‍යාපාරය කියන එකේ නම වෙනස් කරා බොල්ෂෙවික් පක්ෂය කියලා. තුන්වෙනි පන්තිය, ලාංකික විප්ලවයේ කාර්යභාරය. හතරවෙනි එක, ලාංකීය විප්ලවය ගතයුතු මඟ. පස්වෙනි පන්තිය බොල්ෂෙවික් පක්ෂය ගොඩනැගීම.

පසුකාලික ලාංකික විප්ලවයේ කාර්යභාරය පන්තිය වෙනස් කරලා ජාතික ගැටලුව කියල පන්තියක් අලුතෙන් එකතු කළා. ඉතිහාසය පුරාම අලුතෙන් පන්තිය එකතු වෙලා තිබෙනවා. ඒ වගේම පවතින මොහොතට අදාළ නැති පන්ති ඉවත් කර තිබෙනවා. ඕක තමයි ඇත්ත කතන්දරය. අපේ අධ්‍යාපනය ගැන නොදන්නා මහත්වරුන්ගේ දැන ගැනීම සඳහා ඕක හරියට ලියනව නම් ගොඩක් හොඳයි.

මෙතන දී තව එක දෙයක් කියන්න ඕනා. 1987 දී අපට ඉන්දියාව සමග ගැටලුවක් තිබුණා. ඊට නිශ්චිත හේතු තිබුණා. උතුරේ යුද්ධය පදනම් කරගෙන ඉන්දියාව ජේ.ආර්. ජයවර්ධන රජයට බලපෑම් කළා. ජේ.ආර්. ඇමරිකන් ගැති පාලකයෙක්. ඉන්දියාව හිටියේ ඇමරිකාව සමග ගැටෙන තැනක. ජේ. ආර්. ඇමෙරිකාවේ ගැත්තෙක් විදිහට වැඩ කරපු එක ඉන්දියාව ඉවසුවේ නැහැ. ඒ නිසා ඔවුන් ජාතික ගැටලුව භාවිතා කර ලංකාවට බලපෑම් කළා. ලංකාවේ ගුවන් සීමාවන් උල්ලංඝනය කළා. ලංකාවට පරිප්පු දැම්මා. යුද්ධය නතර කරන්න බල කළා. ඔවුන් ජේ. ආර්. දණ ගස්සලා ඉංදු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් අත්සන් කළා. ඊට විරුද්ධව ලංකාව තුළ විශාල ජනතා උද්ඝෝෂණ, පෙළපාලි ඇතිවුණා. ගිවිසුම අත්සන් කරන්න ආපු රජිව් ගාන්ධිට ඔහුව පිළිගන්නා ආචාර පෙළපාලියේදී නාවික භටයෙක් රයිෆල් බටයකින් පහර දුන්නා. ඒ නාවික භටයා ජේවීපී කාරයෙක් නෙමෙයි.

ඉන්දියානු මේ බලපෑමට විරුද්ධව අපි අරගල කළා. ඒත් සමග ඉන්දියානු හමුදාව යන්න ගියා. ඒ හැරෙන්න ඉන්දියාව සමග අපට ජන්මාන්තර වෛරයක් නැහැ. 1994 න් පසු අපි ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ගනුදෙනු කළා. මේ මොකුත් දන්නැති කට්ටිය තමයි කලබල වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – හැබැයි සමහරු කියන්නේ ජවිපෙ ඉන්දියාව ඉදිරියේ පූස් පැටියෙක් වුණා කියලා.

පිළිතුර – අපි ඉන්දියාව ඉදිරියේ දණගහන්නේ නැහැ.ඉන්දියාව සමග ජන්මාන්තර වෛරයක් ඇති කරගෙනත් නැහැ. හැබැයි ඉන්දියාවෙන් ගත යුතු දේවල් අපි ගන්නවා. ඉන්දියාව විසින් කරන ඇතැම් ආර්ථික මැදිහත්වීම අපට නොගැලපෙනවා නම් අපි ඊට එරෙහි වෙනවා. එම හැකියාවක් තියෙන පක්ෂයක් අපි. ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආර්ථික මර්මස්ථාන අපට තියෙන්න ඕනා. තාක්ෂණය හුවමාරු කර ගැනීම වැනි කරුණු කාරණා ඉන්දියාව සමග කළ හැකියි. ඔවුන් එම ක්ෂේත්‍රයෙන් ගොඩක් ඉදිරියෙන් සිටින රටක්… අපි ලෝකේ ඕනම රටක් සමග ගනුදෙනු කරනවා. ඒක තමයි රාජතාන්ත්‍රික භාවය කියලා කියන්නේ.

ප්‍රශ්නය – ජාතික ජන බලවේගයේ නායකයන් ඉන්දියාවට ගිහින් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් ආවොත් දෙන්න පුළුවන් වගේ කතාවක් කියලා තියෙනවා.

පිළිතුර – අපි කිව්වේ ඇතැම් ක්ෂේත්‍රවලට විදේශ සමාගම් ගෙන්වීමේ අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒක කළ යුතුව තිබෙන්නේ ටෙන්ඩර් ක්‍රියාවලියකින් කියන කාරණයයි. ජාවාරම්කාරයන්ට යටවෙලා කොමිස් මුදල්වලට යට වෙලා ගනුදෙනු කළයුතු නැහැ. කරන්න දෙන්න බැහැ.

ප්‍රශ්නය – ඉන්දියාව ජාතික ජන බලවේගයට එරට සංචාරයක් සඳහා ආරාධනා කරන්නේ චීනය දෙසට වැඩි නැඹුරුවක් ඇති නිසා බව සඳහන් වන කාරණයක්. ඇත්තටම ජාතික ජන බලවේගයේ වැඩි නැඹුරුව චීනය දෙසට ද?

පිළිතුර – ඇත්තටම නැහැ. අපි ලෝකයේ ඕනම රටක් සමග අපේ ස්ථාවරයේ සිට ගනුදෙනු කරනවා. අපි චීනය සමග ඉන්දියාව සමග මිත්‍රත්වය පවත්වාගෙන යනවා. ඒ වගේම බටහිර රටවල් සමගත් සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඒ විතරක් නෙමෙයි මැද පෙරදිග රටවල් සමගත් අපේ සම්බන්ධතා තිබෙනවා. අපි කවුරු කවුරුත් සමගත් අපේ රටට අවශ්‍ය ප්‍රමාණයේ සිට සම්බන්ධතා පවත්වාගෙන යනවා.

ඇත්තටම මෝඩි ආණ්ඩුව විපක්ෂයේ මන්ත්‍රී ධුර තුනක් තියෙන අපේ පක්ෂෙට ආරාධනා කරන්නේ ඇයි. ඊට හේතුව මේ රටේ බලය ලබා ගැනීමේ වැඩිම අවකාශය තිබෙන පක්ෂය ලෙස ජාතික ජන බලවේගය ඉදිරියට පැමිණ ඇති නිසයි. එහෙම නැතුව චීන කතාවක් නිසා නෙවෙයි. ඊළඟට බලයට එන පක්ෂය සමග සම්බන්ධතා පවත්වන්න ඔවුන් දැන් සිටම කටයුතු කරනවා. ඉන්දියාව දෙන සංඥාව තමයි ඔවුන් අපි රට පාලනය කරන පක්ෂයක් ලෙස ඉදිරියට පැමිණ ඇති බව. අපේ රටේ කට්ටිය භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ දඟලන්නේ ඔය දේ දන්න නිසයි. වෙන හේතුවක් නිසා නෙවෙයි. ජාතික ජන බලවේගය බලයට එන්න හදනවා. ජනතාව අපට බලය දෙන්න හදනවා. ඉන්දියාව අපිව පිළිගන්නවා. ඉන්දියාව අපට ඉහළ මට්ටමේ රාජතාන්ත්‍රික පිළිගැනීමක් ලබාදෙනවා. ඕක දැකලා ඉතින් අපේ කට්ටිය හොඳටම කලබල වෙලා. අපි ඕනෑම අයෙකු සමග කටයුතු කරන්නේ විවෘතව විනිවිදභාවයකින් යුක්තව. දැන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ ගොඩක් අය හීනෙන් බය වෙලත් කෑ ගහන්නේ එන් පී පී… ජේ වී පී කියලා.

ප්‍රශ්නය – මාධ්‍ය කටයුතු නිසා අපි බොහෝ කාලයක සිට පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ තිබෙනවා. ඒ දවස්වල මාධ්‍ය සාකච්ඡා තියෙනකොට ඒකට එන මාධ්‍යවේදීන් , කාර්යාලයේ වැඩ කරන කීප දෙනෙකුයි හැර ලොකු පිරිසක් අපට නිතර දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි දැන් තත්ත්වය සෑහෙන්න වෙනස් වෙලා. සම්මුඛ සාකච්ඡාවකටවත් වෙලාව වෙන්කර ගැනීමත් ඇතැම් වෙලාවට ප්‍රශ්නයක්. මීටින්.. මීටින්.. මීටින්. රාජ්‍යතාන්ත්‍රික විශාල පිරිසක් ඔබ පක්ෂ නායකයන් මුණගැසෙනවා. පක්ෂ කාර්යාලයත් සෑහෙන්න කාර්යබහුල වෙලානේ.

පිළිතුර – ඇත්තටම කාර්ය බහුලයි. ජාතික ජන බලවේගය මේ රටේ බලයට පත්විය හැකි මට්ටමේ පක්ෂයක් ලෙස වර්ධනය වී තිබෙනවා. බොහෝ දෙනා ඒ බව පිළිගෙන තිබෙනවා. ඊළඟ ආණ්ඩුව හදන්නේ අපි. වෙනදට වඩා අපි කවුරුත් කාර්යබහුලයි. ඔබ කියන කතාව හරි. අපේ මහන්සියේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා.

ප්‍රශ්නය – ඊළඟ ආණ්ඩුව හදන්නේ අපි කියලා ඔබ සඳහන් කරනවා. ඒකට ඡන්දයක් තියන්න ඕනා. ජනාධිපතිවරයාට හිතවත් ඇතැම් පිරිස් පවසන්නේ ‘ලොක්කා’ මොකක් හරි ගැටයක් ගහලා ඡන්දෙ කල් දානවා කියලා.

පිළිතුර – රනිල්ට ඔය මොන ගැටයක්වත් ගහන්න බැහැ. රනිල් ව්‍යවස්ථාවට අනුව වැඩ කරනවා නම් ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් 17න් පසු ඔක්තෝබර් 17 ට පෙර එන සෙනසුරාදාවක පැවැත්විය යුතුයි.

ජනාධිපතිවරණය තියන්නේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි. ඒක තියන්නේ මැතිවරණ කොමිසම. ඒ නිසා ඒ ගැන තීන්දු වෙන කවුරුත් ගන්න දෙයක් නැහැ. නොවැම්බර් මාසයේ 18 වන විට ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වෙනවා. ඊට පස්සේ ජනාධිපතිවරයෙක් නැතුව ජනාධිපති ධුරය හිස්ව තියන්න බැහැ. ඒ කියන්නේ ඊට කලින් ජනාධිපතිවරයෙක් පත්කරගන්න ඕනා. ඒ කියන්නේ ජනාධිපතිවරණය අනිවාර්යයි. රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාව කඩලා වැඩ කරන්න යනවා නම් ඒක ජනතාව බලාගනීවි.

ප්‍රශ්නය – යම් හෙයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථාව උල්ලංඝනය කර බලයේ රැඳී සිටීමට කටයුතු කළහොත් ජාතික ජන බලවේගය ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර – ජනාධිපතිවරයාට එහෙම පොඩි හරි අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඒක හීනයක් විතරයි. මූලිකව අපි ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ඉන් අනතුරුව රටේ ජනතාව සමඟ පාරට බහිනවා. ව්‍යවස්ථාව කඩා බලෙන් බලේ ඉන්න කාටවත් බැහැ. එහෙම ඉන්න ගියොත් රනිල්ට වෙන්නේ ගෝඨාභයට වෙච්ච දේමයි. ඒකේ සැකයක් නැහැ.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයෙන් පසුව එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා කවුද?

පිළිතුර – අපි නිශ්චිතවම අපේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතාව පත්කර තිබෙන්නේ.

මහ මැතිවරණයේදී කවුද අගමැති වෙන්නේ කියන කාරණය ඒ වෙලාවේදී අපි තීන්දු කරනවා. ඒකට දැන්ම කලබල වෙන්න ඕන නැහැ. අප සතුව ප්‍රබල කණ්ඩායමක් සිටිනවා. සුදුසුකම් ඇති අය අපි සමග ඕන තරම් ඉන්නව.

ප්‍රශ්නය – ටිල්වින් සිල්වා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලෙස අපි කාලාන්තරයක් තිස්සේ දැක තිබෙනවා. ඉන් ඔබ්බට යන්න අදහසක් නැද්ද. ඒ කියන්නේ පාර්ලිමේන්තු…

පිළිතුර – අපේ පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා මහජන ආයතනවල මන්ත්‍රීකම් නොදැරිය යුතුය කියලා සඳහන්. අපි මේ තනතුරේ සදාකාලික ඉන්න බලාපොරොත්තුවකුත් නැහැ. අවශ්‍ය වෙලාවේදී තනතුරු වෙනස් වෙන්න ඕනා. අපි කවුරුවත් පාර්ලිමේන්තු යන්න ආසාවෙන් ඉන්න කට්ටිය නෙමෙයි. අපි අපට පැවරුණු රාජකාරිය හරියට කරන මිනිස්සු. අපි මන්ත්‍රීකම් ඇතත් නැතත් රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරනවා. අපි ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගන කොට ඊට අදාළ වගකීම් තනතුරුවලට හරි මිනිස්සු දානවා.

ප්‍රශ්නය – ඔය ශක්තිමත් ආණ්ඩුවක් කියද්දී එකපාරටම ඔළුවට එන දෙයක් තමයි, කොහොමද ශක්තිමත් ආණ්ඩුවක් හදන්නේ කියන එක. බහුතරයක් තියෙන පාර්ලිමේන්තුවක් හදන්න නම් මන්ත්‍රීවරු එකසිය දහතුනකට වැඩිය ඉන්න ඕන. තියෙන ක්‍රමය අනුව ඒක ටිකක් අමාරු දෙයක්. ජාතික ජන බලවේගය වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් දිනා නමුත් එකසිය දහතුන සපුරා ගන්ත නොහැකි වුණොත් සහාය ගන්නේ කාගෙන්ද? රටේ මිනිස්සු ඔය ප්‍රශ්නේ අහනවා.

පිළිතුර – 113 ට වඩා ශක්තිමත් ආණ්ඩු හදන්න පුළුවන් කියලා 2020 මහ මැතිවරණය ඉතා හොඳින් ඔප්පු කළා. අපට මේ රටේ ඉතා ගැඹුරු වෙනස්කම් කරන්න තිබෙනවා. මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනා. විධායකය අයින් කරන්න ඕනා. එහෙම දෙයක් කරන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඕන. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ඒ ශක්තිමත් පාර්ලිමේන්තු බලයයි. අඩමාන ආණ්ඩු හදන්න අපි කිසිම බලාපොරොත්තුවක් නැහැ. ජනතාව අනිවාර්යයෙන්ම අපට ශක්තිමත් ආණ්ඩුවක් හදන්න බලය ලබා දෙනවාමයි.

ප්‍රශ්නය – එක්කෝ අපට සියයට දහයට අඩුයි එක්කෝ සියයට පනහට වැඩි කියලා අනුර කුමාර දිසානායක මහතා එක්තරා මාධ්‍යයක් සමග කළ සාකච්ඡාවේදී සඳහන් කරනවා. මීට පෙර ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවහම ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය කුමක්ද කියලා අදහසක් ලබාගන්න පුළුවන්. හැබැයි දැන් ජාතික ජන බලවේගය නමැති පක්ෂයට ඇති ඡන්ද ප්‍රතිශතය ගැන හරි අදහසක් ලබාගන්න එහි නායකයන්ටවත් නොහැකි වෙලා තිබෙනවා.

පිළිතුර – ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රතිශතය තීරණය කරන්නේ රටේ මහජනතාව. අපේ රටේ ඡන්ද ප්‍රතිශත තීරණය වෙන්නේ එක දෙක තුන කියන අංක ගණිත ක්‍රමයට නෙවෙයි. ඒක එක පාරටම පිමි පනිනවා. එකේ ඉඳන් දෙකට නෙවෙයි, එකේ ඉඳන් සීයට යන්න පුළුවන් වෙලාවකට. දැන් තියෙන්නේ එම තත්ත්වයක්. අපි මේ වන විට සමාජ බලවේග රැසක් එක මිටකට එකතු කර තිබෙනවා. පොහොට්ටුව, සජබ, එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂවලත් අනෙකුත් පක්ෂවලත් ඡන්ද අති විශාල ප්‍රමාණයක් අප සමග එකතු වෙලා තිබෙනවා. එහෙම හැරුණහම ඒක මහා රැල්ලක් වෙනවා. ඒක මහා විශාල ගුණාත්මක පරිවර්තනයක් වෙනවා.දැන් තියෙන්නේ එහෙම එකක්. අපේ පැත්තට මේ රැල්ල හමනවා.

ප්‍රශ්නය – ඇත්තටම මේ මතුවෙලා තිබෙන්නේ රැල්ලක්ද ? රැලි කියන්නේ ඇවිල්ලා යන එකක් . එහෙම රැලි වලින් ඇති වැඩක් තිබෙනවද ?

පිළිතුර – ඔව් රැලි හැදෙන්නේ පොඩි දවසකටනෙ. මේ එහෙම එකක් නෙවෙයි. අඩුම තරමේ අවුරුදු දෙකක් තිස්සේ අති විශාල වශයෙන් රටේ ජනතාව ජාතික ජන බලවේගය වටා එකතු වෙමින් තිබෙනවා. ඔවුන් ඒ එකතුවෙන්නේ අවබෝධයෙන්. ඒ එන කිසිම කණ්ඩායමක් අපෙන් අහන්නේ නෑ අපිට මොනවද දෙන්නේ කියලා. මේ මිනිස්සුන්ට ඕනා රට තියන තත්ත්වය වෙනස් කරලා හරි තැනකට ගේන්න. අවබෝධයෙන් එකතු වන ජන ප්‍රවාහයක් තිබෙනවා. ඒකට කියන්නේ දැවැන්ත මහජන ව්‍යාපාරයක් කියලා. මහජන බලයක් කියලා. අපේ ජාතික ජන බලවේගය කේන්ද්‍ර කර ගනිමින් විශාලම විශාල මහජන ප්‍රවාහයක් ගොඩනැගුවා. ඒක හරි ප්‍රබලයි.

ඒ මහජන ව්‍යාපාරයට එකතු වන මිනිස්සු එන්නේ තනතුරු ගන්න අපේක්ෂාවෙන් නෙවෙයි. ඔවුන් තමන්ගේ අතින් වියදම් කරගෙන කැපකිරීම් කරලා මේ සමාජයේ ගැඹුරු පරිවර්තනය කරන්න. මේක දැවැන්ත මහජන ප්‍රවාහයක් මිස සරල රැල්ලක් නෙවෙයි.

ප්‍රශ්නය – ජාතික ජන බලවේගය ලියාපදිංචිය අධිකරණය හමුවේ අභියෝග කර තිබෙනවා. එය ඉදිරි කටයුතුවලට කෙසේ වේවිද?

පිළිතුර – මොලේ අමාරු තියෙන කට්ටියට ඔය එක එකේ ඒවා හිතෙනවනේ. එහෙම හිතෙන අය තමයි ඔය අභියෝග කරන්නේ. එයාගේ අමාරුව දැන් හොඳ වෙලා. අන්තිමට නීතිඥකමත් නැතිවුණා. ලියාපදිංචිය හෝ වෙන ගැටලුවක් ජාතික ජන බලවේගයට නැහැ. අපි ශක්තිමත්ව ඉදිරියට යනවා.

ප්‍රශ්නය – ජාතික ජන බලවේගයේ, විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ කථිකයෝ කිව්වොත් කියන්නේ බොරු කියලා ඇතැමුන් සඳහන් කරනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර – අපට එරෙහි මිනිස්සු එහෙම කිව්වට සමාජය ඒ කියන කතා පිළිගන්නේ නැහැ. පරාජයට බයවෙලා ඉන්න පුද්ගලයෝ ඔය වගේ නොයෙක් කතා කියනවා. අපි රටේ ජනතාවගෙන් බහුතරයක් අපි කියන කතා පිළිගෙන තිබෙනවා. අපේ පක්ෂය තමයි තර්කානුකූලව කරුණු රට හමුවේ තබන පක්ෂය. අපි තමයි අපේ රටේ ජනතාවට හිතන්න යමක් ඉතුරු කරලා කතා කරන එකම දේශපාලන ව්‍යාපාරය.

ප්‍රශ්නය – ජාතික ජන බලවේගය වැනි අලුත් අත්හදා බැලීම් මේ වෙලාවේ සිදු නොවිය යුතු බව සමහරු කියන්න කතාවක්. ඒකෙ ඇත්තකුත් නැත්තේ නැහැ නේද?

පිළිතුර – එහෙනම් ජනතාවට තියෙන්නේ පරණ කට්ටියත් එක්කම යන්නද? මේ රට විනාශ කරපු, රටේ මිනිස්සු ඇවිදින මළමිනී කරපු, රටේ ජනතාවගේ ධනය මංකොල්ල කාපු මිනිස්සුන්ට ආපහු බලය දෙන්න කියලද කියන්නේ. ඔවුන් මේ උත්සාහ ගන්නේ ඔවුන්ගේ පාක්ෂිකයන්ව පොඩ්ඩක් ‘චූන්’ කරන්න කතා කියන්න. ඡන්දෙන් බලාගන්න පුළුවන් රටේ ජනතාව කාවද විශ්වාස කරල තියෙන්නේ කියලා.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment