රුසියානු – යුකේ‍්‍රන ගැටුම ඇවිලෙද්දී  ඇමෙරිකානු ආයුධ සමාගම්  ඩොලර් බිලියන  ගණනින් ලාභ උපයයි

2331

යුකේ‍්‍රන ආක‍්‍රමණයත් සමග මිග්-29 ප‍්‍රහාරක ජෙට් යානා සඳහා වන ඇණවුම් ඇතුළුව රුසියාවෙන් සිදු කරන ලද ප‍්‍රධාන ආරක්ෂක ආනයන අවලංගු කිරීමට ඉන්දියාව ක‍්‍රියා කළේය. විශේෂයෙන් මෙයට බලපෑවේ මොස්කව් පාලනය වෙත පනවනු ලැබූ සම්භාධක හා ඇමෙරිකාවේ පීඩනයයි. පසුගිය කාලය පුරාම ඉන්දියාව තමන්ට අවශ්‍ය ආයුධ වැඩියෙන්ම මිලදී  ගනු ලැබුවේ රුසියාවෙනි.

රුසියානු හමුදා සපරීශියා න්‍යෂ්ටික  බලාගාරය අත්පත් කරගත්තේ පසුගිය සතියේය. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය මෙයයි. රුසියානු හමුදා එල්ල කළ ෂෙල් ප‍්‍රහාරයකින් පසු මෙම න්‍යෂ්ටික බලාගාරයේ ගින්නක් හටගෙන තිබිණි. පසුව එය නිවා දැමුවද රුසියානු හමුදා මෙය අත්පත්කර ගැනීම වැළැක්විය නොහැකි විය. යුකේ‍්‍රන රාජ්‍ය හදිසි සේවාව ප‍්‍රකාශ කළේ ගින්නෙන් විපතට පත්වූවන් නොමැති බව යි. ගින්න, ප‍්‍රතික‍්‍රීයකවලට ඈතින් පිහිටි පස්මහල් පුහුණු මධ්‍යස්ථානයකට හානි සිදු කර තිබිණි. යුකේ‍්‍රන ජනපති වොලොදිමීර් සෙලෙන්ස්කි චෝදනා කළේ, රුසියානුවන් තාප මූර්තන පහසුකම් සහිත යුද ටැංකි භාවිත කරමින් හිතාමතා ප‍්‍රහාර එල්ල කළ බවයි. රුසියානු හමුදා සපරීශියා න්‍යෂ්ටික බලාගාරය අත්පත් කර ගැනීම යුරෝපය පමණක් නොව සමස්ත ලෝකයම බියෙන් සලිත කරවන පුවතක් විය. යුකේ‍්‍රන යුද්ධය දිගින් දිගටම ඇදී යද්දී මේ හරහා තෙවැනි ලෝක යුද්ධයක් ඇතිවිය හැකි බවට පැහැදිලි මතයක් ගොඩනැගෙමින් පවතී. රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලැව්රෝව් ප‍්‍රකාශ කර ඇත්තේ තෙවැනි ලෝක යුද්ධයක් ඇති වුවහොත් එහිදී අනිවාර්යයෙන් න්‍යෂ්ටික අවි භාවිත වීම වැළැක්විය නොහැකි වන බවයි. මෙය සමස්ත මනුෂ්‍ය ප‍්‍රජාවම විනාශ වී යෑමේ අනතුරක් ඇතිකරන තත්ත්වයකි. ලෝකයේ රටවල් 09ක් සතුව න්‍යෂ්ටික අවි තිබේ. ඇමෙරිකාව, රුසියාව, චීනය, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය, පාකිස්තානය, ඉන්දියාව, ඊශ‍්‍රායලය හා උතුරු කොරියාව මේ රටවල් වේ. රුසියාව ලොව වැඩිම න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක ඇති රට ලෙස සැලකේ. මේ රටවල් 09 සතු න්‍යෂ්ටික මිසයිල ප‍්‍රමාණය 13000ක් ලෙස ගණන් බලා ඇත. ලොව වැනසෙන්න මේ සියල්ල පුපුරුවා හරින්නට අවශ්‍ය නැත.

ඇත්තෙන්ම රුසියානු ප‍්‍රහාරය යුකේ‍්‍රන දේශසීමාවෙන් ඔබ්බට දිව යන බවට විවාදයක් නැත. පැරණි සෝවියට් සංගමය නැවත පිහිටුවීම පුටින්ගේ පරම අභිලාෂයයි. යුකේ‍්‍රන යුද්ධය නිසා ලෝකය දෙකට බෙදී ඇත. ඉකුත් මාර්තු 3 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට යුකේ‍්‍රනයේ සිදු කෙරෙන රුසියානු හමුදා මෙහෙයුම් නවත්වා දැමිය යුතු බවට හදිසියේ යෝජනාවක් ඉදිරිපත් විය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් 193ක් අතරින් ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් 141ක් යෝජනාවට පක්ෂව ඡුන්දය භාවිත කළ අතර, රුසියාව, බෙලරුස්, සිරියාව, උතුරු කොරියාව සහ එරිත‍්‍රියාව යන රටවල් රුසියාවට පක්ෂව ඡුන්දය භාවිත කළහ. චීනය, ඉන්දියාව, ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 35ක් ඡුන්දය දීමෙන් වැළකී සිටි අතර කියුබාව, රුසියාව සඳහා පක්ෂව අදහස් දැක්වුවද ඡුන්දය ලබාදීමෙන් වැළකී සිටියහ. ඒ අනුව යුකේ‍්‍රනයේ සිදු කෙරෙන රුසියානු හමුදා මෙහෙයුම් නවත්වා දැමිය යුතු බවට වන යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේදී සම්මත වූ අතර, වර්ෂ 1997ට පසු මෙවැනි හදිසි ඡුන්ද විමසීමක් සිදු කෙරුණු ප‍්‍රථම අවස්ථාව මෙය විය. එසේම රුසියාවේ යුද මෙහෙයුම් සම්බන්ධව යුකේ‍්‍රනය ඉදිරිපත් කළ යෝජනාව සාකච්ඡුාවට ගැනීම වෙනුවෙන් හදිසියේ රැුස්වූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ද චීනය ගත්තේ මැදිහත් පිළිවෙතකි. එම ආරක්ෂක කවුන්සල රැුස්වීමේදී යුකේ‍්‍රනය ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡුන්ද 11ක් ලැබුණු අතර, රුසියාව විපක්ෂව ඡුන්දය භාවිත කළේය. විශේෂත්වය වූයේ එහිදී තුන්වැනි බලවේගයක් පිළිබඳව ඉඟියක් ලැබීමය. එනම් යෝජනාවට පක්ෂ හෝ විපක්ෂ වීමකින් තොරව ඡුන්දය භාවිත කිරීමෙන් වැළකී සිටීමට රටවල් තුනක් කටයුතු කිරීමය. ඒ රටවල් තුන වූයේ චීනය, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. මෙහිදී වැදගත්ම කරුණ වන්නේ මේ රටවල් තුන තමන්ටම ආවේණික හේතූන් මත මෙලෙස තුන්වැනි බලවේගයක් ගොඩ නැඟීමයි. විශේෂයෙන්ම ඉන්දියාව එහිදී ගත් තීරණය වඩාත් කැපී පෙනෙන සුළු විය. චීනය සහ ඉන්දියාව සැමවිටම එක්නෙකාට විරුද්ධ පිලේ සිට ගත් අතර රුසියාව සහ ඉන්දියාව අතර වූයේ මධ්‍යස්ථ සම්බන්ධයකි. ඇමෙරිකාව චීනයේ විරුද්ධවාදියා වන බැවින්ම ඉන්දියාවේ හිතවතා ද විය. එහෙත් මෙවර ඉන්දියාව ආරක්ෂක කවුන්සිල රැුස්වීමේදී තම මිතුරා වන ඇමෙරිකාවට පක්ෂ වනවා වෙනුවට මධ්‍යස්ථව සිටීමේ දැඩි තීරණයක් ගෙන තිබිණි. වැඩි ඡුන්ද දහයක් ලැබී තිබුණද රුසියාව සතු නිෂේධ බලය හේතුවෙන්ම යුකේ‍්‍රන යෝජනාව පරාජයට පත් විය. ඇත්තෙන්ම ආසියානු රටවල් මේ යුද්ධයේදී පැත්තක් නොගනී. තුන්වන ලෝක යුද්ධයක් ආසියාවට කොහෙත්ම අවශ්‍ය නැත. මෙය බටහිර ප‍්‍රශ්නයකි. ආසියානු රටවල් අනුගමනය කරන්නේ නොබැඳි ප‍්‍රතිපත්තියකි. ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා පවසන්නේ ලිබරල් ලෝකයට එරෙහිව පුටින්ගේ යුද්ධය ක‍්‍රියාත්මක වන බවයි.

සීඅයිඒ අධ්‍යක්ෂ විලියම් ජේ. බර්න්ස් නොවැම්බර් මස මුලදී මොස්කව් හි සංචාරය කළේය. යුකේ‍්‍රන දේශසීමාවේ රුසියානු හමුදා ස්ථානගත කිරීම පිටුපස බරපතළ යුද සැලසුම් ඇති බව එක්සත් ජනපද බුද්ධි අංශ නිගමනය කර ඇති බවත් ඒ ගැන රුසියානු ජනපතිවරයා සමග සාකච්ඡුා කිරීම සී. අයි. ඒ. ප‍්‍රධානියාගේ අරමුණ විය. 2008 දී බර්න්ස් මොස්කව්හි එක්සත් ජනපද තානාපතිවරයාව සිටියදී ජනපති පුටින් යුකේ‍්‍රනය පිළිබඳ තම ස්ථාවරය ඇමෙරිකානු තානාපතිවරයා සමග ප‍්‍රකාශ කර තිබිණි. මේ කරුණු ඔහු 2019 ලියූ ග‍්‍රන්ථයේ සටහන් කර ඇත. කිව් වෙත මිසයිල පතිත වීමත් සමගම එය වඩා තහවුරු විය. ‘‘යුකේ‍්‍රනය දේශපාලනික වශයෙන් අස්ථාවර සහ නොමේරූ බවත් නේටෝ සංවිධානය ඉතා භේදකාරී බවත් ඔබේ රජය දන්නේ නැද්ද? යුකේ‍්‍රනය සැබෑ රටක් නොවන බව ඔබ දන්නේ නැද්ද? එහි කොටසක් ඇත්ත වශයෙන්ම නැගෙනහිර යුරෝපීය වන අතර කොටසක් සැබවින්ම රුසියානු යනුවෙන් එදා රුසියානු ජනපතිවරයා අවධාරණය කර තිබේ. රුසියානු නායකයාගේ ගමන ඒ අභිලාශය නැවැත්වීමට ඇමෙරිකාවට නොහැකි වී ඇත. යුකේ‍්‍රනයට එරෙහිව මෙහෙයුම් අරඹන බවට ජනපති පුටින් කළ කතාවේදී එදා ඇමෙරිකානු තානාපතිවරයාට හෙළි කළ කරුණු යළි පුනරුච්චාරණය විය. යුකේ‍්‍රනය පාලනය නොකළහොත් රුසියාවට මහා බලවතෙකු විය නොහැකි බව පුටින් පැහැදිලිව විශ්වාස කරයි. යුකේ‍්‍රනය ආක‍්‍රමණය කිරීමේ සැලසුම වෙනුවෙන් තිදෙනකු විසින් මෙහෙයවන ලද කුඩා අභ්‍යන්තර කවයක් විසින් ජනපති පුටින්ට උපදෙස් දෙන ලදී: ආරක්ෂක ඇමැති සර්ජි ෂොයිගු; එෆ්. එස්. බී. ප‍්‍රධානි ඇලෙක්සැන්ඩර් බෝර්ට්නිකොව්; සහ ආරක්ෂක කවුන්සිලයේ ප‍්‍රධානි නිකොලායි පට්රුෂෙව් යනු මේ තිදෙනාය. පුටින් මෙන්ම ඔවුහු දැඩි මතධාරීන් වෙති.

මේ යුද්ධය දිගින් දිගට ඇදී යද්දී වැඩියෙන් ලාභ ලබන්නේ කවරකුද? අන්කවරෙක්වත් නොව ඇමෙරිකානු සමාගම් පමණි. ඇමෙරිකානු සමාගම් මේ යුද්ධය නිමාවනවා දකින්නට අකැමැතිය. ඇමෙරිකානු හමුදා මේ සටන සම්බන්ධ නොවුවද ලාභ ලබන්නේ අවි ආයුධ වෙළදාමේ යෙදෙන සමාගම්ය. යුරෝපා රටවල් ඩොලර් බිලියන ගණනින් යුකේ‍්‍රනයට ආධාර ලබා දීමට සූදානම්ය. ආධාර වෙනුවෙන් තුවක්කු උණ්ඩ ඇතුළු මෙකි නොකී සියල්ල නොමසුරුව ලබා දෙයි. ඒවා බහුතරය මිලදී ගන්නේ ඇමෙරිකානු සමාගම් වලිනි. රුසියාව යුකේ‍්‍රන ආක‍්‍රමණය දියත් කළ දා සිට ඇමෙරිකාවේ ගුවන් සහ ආරක්ෂක සමාගම්වල කොටස් අගය වේගයෙන් ඉහළ යන බව ෆොර්බ්ස් වාර්තා කර තිබිණි. රේතොන් ටෙක්නලෝජිස් කොටස් අගය 8% කින්ද ජෙනරල් ඩයිනමික් සමාගමේ කොටස් අගය 12%, ලොක්හීඞ් මාර්ටින් සමාගමේ කොටස් අගය 18% සහ නොත්රොප් ගන්මන් සමාගමේ කොටස් අගය 22%. ඉහළ ගොස් ඇත. මේ නිසා ඇමෙරිකානු ආර්ථිකයට මහත් වාසියකි. දැනටමත් ජර්මනිය ඇතුළුව බටහිර රටවල් ගණනාවක් සිය ආරක්ෂක අයවැය වැඩි කිරීමට සැලසුම් කරමින් සිටිති, එහි ආරක්ෂක අයවැය දැන් එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.5% සිට 2% කට වඩා වැඩි වනු ඇත. ජපානය ද සිය 2022 ආරක්ෂක අයවැය 1960 ගණන්වලින් පසු පළමු වතාවට දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% කට වඩා වැඩි කිරීමට සැලසුම් කරයි. මේ හරහා වාසි සැලසෙන්නේද ඇමෙරිකානු ආයුධ සමාගම්වලටය.

යුකේ‍්‍රන ආක‍්‍රමණයත් සමග මිග්-29 ප‍්‍රහාරක ජෙට් යානා සඳහා වන ඇණවුම් ඇතුළුව රුසියාවෙන් සිදු කරන ලද ප‍්‍රධාන ආරක්ෂක ආනයන අවලංගු කිරීමට ඉන්දියාව ක‍්‍රියා කළේය. විශේෂයෙන් මෙයට බලපෑවේ මොස්කව් පාලනය වෙත පනවනු ලැබූ සම්භාධක හා ඇමෙරිකාවේ පීඩනයයි. පසුගිය කාලය පුරාම ඉන්දියාව තමන්ට අවශ්‍ය ආයුධ වැඩියෙන්ම මිලදී ගනු ලැබුවේ රුසියාවෙනි. නමුත් දැන් ඒ ගනුදෙනු නතරවී ඇති නිසා ඇමෙරිකාව වහා මේ අඩුපාඩු පුරවන්නට පැමිණ සිටී. සෙනෙට් සභාව හමුවේ අදහස් දක්වමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඞ් ලූ රුසියානු ආයුධවලින් නවදිල්ලිය ඈත් කිරීමේ අදහස ප‍්‍රකාශ කර තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment