ලංවිම විදුලි පාරිභෝගිකයින්ට පොලී ගෙවයි

6560


අලුතින් විදුලි සැපයීමක් ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් සඳහා 2023 වසර වෙනුවෙන් පොලියක් ගෙවීමට සූදානම් බව ලංකා විදුලිබල මණ්ඩලය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නව විදුලි සම්බන්ධතා ලබාදීමේදී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාරිභෝගිකයින්ගෙන් අයකර ගන්නා තැන්පතු මුදල් වෙනුවෙන් 2023 වසර සඳහා සියයට 11.67ක වාර්ෂික පොලියක් ගෙවීමට සූදානම් බව දැනුම් දුන්නේය.

එම පොලිය 2024 වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් කටයුතු කරන බවත් ඔහු දන්වා සිටියේය.

මෙම ගෙවීම නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි සොයාබැලීම සඳහා අදාළ පෙත්සම යළි ලබන මාර්තු මස 21 වන දා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment