ලෙඩට බේත් නෑ…කියන්න ආණ්ඩුවක් නෑ…

216

● මේ වනවිටත් සෞඛය පද්ධතිය ඖෂධ රෝහල් උපකරණ හිඟය නිසා අර්බුදයක….

● වසරකට ඖෂධ සඳහා රුපියල් මිලියන 3000 යි මේ වනවිට එය වැඩි වෙලා

● ආණ්ඩුව නිසි මැදිහත් වීමක් කර නෑ

මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති ඖෂධ හිඟයේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත රෝහල් පද්ධතියටත් රෝහල් පද්ධතියේ ප්‍රධාන බලකණු සියල්ලත් පිරිහී යමින් පවතී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම සැපයුම් ඒකකය තුළ ඖෂධ ඇස්තමේන්තු කල්තියා හඳුනාගැනීම සඳහා ඉතා පැහැදිලි ක්‍රමවේදයක් පැවතිය දී මෙයට අවශ්‍ය සැපයුම් සම්බන්ධව සිදුකරන පූර්ව අනතුරු ඇඟවීම් පවා නොසලකා දැඩි සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වූයේ කෙසේ දැයි විමසිල්ලට ලක්කළ යුතුය. මෙහි එක් සාධකයක් ලෙස රටේ ආර්ථික අර්බුදය හෙවත් ඩොලර් අර්බුදය පවතින බව අපි පිළිගන්නා නමුත් එම හේතුව නිසාම මෙයාකාර දැඩි සෞඛ්‍ය අර්බුදයක් නිර්මාණය වූ බව පිළිගැනීමට අප සූදානම් නැත.

මෙම ඖෂධ හා ශල්‍යකර්ම සඳහා භාවිතා වන උපකරණ සහ රසායනාගාර පරීක්ෂණ සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය හිඟය නිසා මේ වන විට කොළඹ ජාතික රෝහල ද ඇතුළු සමස්ත සෞඛ්‍ය පද්ධතියම කඩාවැටීමේ අනතුරකට මුහුණ පා ඇත. දැනට ඉතා සුළු වශයෙන් ලැබෙන ආධාර මත සෞඛ්‍ය පද්ධතිය පවත්වාගෙන යන නමුත් මෙම තත්ත්වය අඛණ්ඩව සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැක. ඒ නිසා හැකි ඉක්මනින් ඇතිවී තිබෙන ව්‍යාකූල තත්ත්වය විසඳීම සඳහා හදිසි ප්‍රතිචාර ඖෂධ සැපයුම් යෝජනා ඉදිරිපත් කිරීම වඩා වැදගත් වෙයි.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ඖෂධ මිලදී ගැනීම වෙනුවට දැනට බොහෝ රෝහල් මගින් ඖෂධ හදිසි මිලදී ගැනීම් හෝ බාහිර මිලදී ගැනීම් ලෙස සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයෙන් ගෙවන මුදල මෙන් සියයට 1300 ඉක්මවා මුදලක් හෝ ඊටත් වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අප විසින් සිදුකරන ලද අධ්‍යයනවලින් හෙළිවූ අතර නිදසුනක් ලෙස මාලිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චාර්ල්ස් නුගවෙල මහතා විසින් තමා අත්සනින් නිකුත් කරන එම ලිපිය පරික්ෂා කිරීමේදී ඉතා පැහැදිලිව පෙනී යනුයේ සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වෛද්‍ය සැපයුම් අංශය මිලදී ගන්නා මුදල මෙන් සියයට 1300 ඉක්ම වූ විශාල මුදලක් බොහෝ ඖෂධ සඳහා හදිස්සි මිලදී ගැනීම් ලෙස ගෙවීමට සිදුව ඇති බවයි. බොහෝ විට මසකට හෝ මාස තුනක කාල සීමාව සඳහා එම ඖෂධය තොග දස දහස් ගණනින් අවශ්‍ය වන තත්ත්වයක් යටතේ එක වරකට වැය වන මුදල රුපියල් මිලියන ගණනක් බව එම ලිපිය පරීක්ෂාවේ දී ඉතා පැහැදිලිව අනාවරණය වේ. රට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අවස්ථාවකදී මෙය කිසිසේත්ම දරාගත නොහැකි බව අපගේ විශ්වාසයයි. තවද මෙහිදී එක් රෝහලක පමණක් ඖෂධ විශ්ලේෂණයක් නියැදියක් ලෙස ඔබට ඉදිරිපත් කරන අතර මේ අන්දමට ලංකාවේ සියලුම රෝහල් පද්ධතිය මගින් හදිසි මිලදී ගැනීම් සඳහා මාසිකව වියදම් වන මුදල සමහර විට අපේ රටේ විදේශ ණය සංචිත ගෙවා දැමීමට තිබෙන මුදල කට ආසන්න ප්‍රමාණයක් තරම් ඉහළ අගයක් වීම ඉතා කනගාටුදායක කරුණකි. මෙහිදී අප විසින් කරුණු සාරාංශ ගත කිරීම සඳහා එක් රෝහලකින් පමණක් බාහිර මිලදී ගැනීම් සඳහා වැයවෙන මුදල දක්වා ඇති නමුත් මේ අන්දමට ලංකාවේ සියලුම රෝහල් පද්ධතීන් ඒකාබද්ධව බාහිර මිලදී ගැනීම් සිදුකරන්නේ නම් රටට අහිමි වන ජාතික ධනය ගණනය කළ නොහැකි ප්‍රමාණයක් බව අවබෝධ විය යුතුව ඇත.

වසරකට ඖෂධ සඳහා වැය වූ මුදල රුපියල් බිලියන 3000 ක් වූ අතර මේ වන විට එම මුදල රුපියල් මිලියන 6000 ක් 8000ක් වැනි ඉතා ඉහළ අගයකට පත්වෙමින් පවතී. මෙය ඉතා ඉහළ වියදමක් බව පැවසිය හැක. රජයේ රෝහල්වල නව වෛද්‍ය ඒකක ආරම්භ කිරීම, බෝ වන රෝග වෙනුවට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යෑම සහ ජනතාවට සපයන සෞඛ්‍ය සේවාවන් පුළුල් වීම මේ කෙරෙහි හේතු වී ඇත.

ඕනෑම ඖෂධයක් රට තුළට පැමිණෙන්නේ යම් ක්‍රමවේදයකට අනුව ය. එය ඖෂධ යාමනය ලෙස හැඳින්විය හැක. මෙහිදී වෙළෙඳපොළට පැමිණීමට පෙර (Pre market) වෙළඳපොළේදී සහ (market) වෙළඳපොළට නිකුත් වූ පසුව (Post market) පූර්ණ අධීක්ෂණයට ලක්විය යුතුව ඇත. වෙළඳපොළට පැමිණීමට පෙර අවස්ථාවේ දී අදාළ ඖෂධ සමාගමේ ලියාපදිංචිය ඖෂධ සමාගමේ ක්‍රියාකාරීත්වය අධීක්ෂණයට ලක්විය යුතුය. මෙහිදී ශ්‍රී ලංකාව තුළ භාවිතයට ලබා දෙන ඖෂධ සාම්පලය පරීක්‍ෂා කළ යුතුය. දෙවනුව ටෙන්ඩරය නිකුත් කිරීමේ දී ලබා දෙන ඖෂධ සාම්පලය පරීක්‍ෂා කළ යුතුය. තෙවනුව ශ්‍රී ලංකාවට පැමිණෙනෙ ඖෂධ තොගය ළඟා වූ අවස්ථාවේ දී පරීක්‍ෂා කළ යුතුය. අවසානයේ දී ඖෂධය රෝහල්වලට බෙදා හැරීමට පෙර නිසි පරීක්‍ෂාවට ලක්කළ යුතුය.

ඖෂධයක් වෙළඳපොළට නිකුත් කළ පසුවද එහි තත්ත්වය ආරක්‍ෂිත බව හා කාර්යක්ෂමතාව සම්බන්ධව අවධානයෙන් සිටිය යුතුය. හදිසි පරීක්‍ෂාවන්ට ලක්කළ යුතුය.

ඖෂධයක් වෙළඳපොළට නිකුත් කළ පසුව ඒවායේ අතුරු ආබාධ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුය. වරින් වර ඖෂධ සාම්පල් ලබා ගෙන අධ්‍යයනය කළ යුතුය.

ශ්‍රී ලංකාව තුළ ඖෂධ භාවිතාව සිදුවන්නේ ඖෂධ කළමනාකරණ චක්‍රයකට අනුවය. මෙය Drug Management Cycle ලෙස හැඳින්විය හැක. මෙහි පළමු අධියර රටට අවශ්‍ය කරන ඖෂධ මොනවාදැයි තේරීමක් සිදුකිරීමයි. මෙය Selection ලෙස හඳුන්වා දිය හැක. දෙවන අධියර තෝරා ගත් ඖෂධ නිසි ලියාපදිංචි ක්‍රමවේදයකට අනුව තත්ත්වයෙන් උසස් හා ආරක්‍ෂිත ලියාපදිංචිය සහිතව රට තුළට ගෙන්වීමයි. මෙය Procurement ලෙස නම් කරයි. මෙම චක්‍රයේ තෙවන අධියර රට තුළට ගෙන්වන ලද ඖෂධ ගබඩා කිරීම හා බෙදා හැරීමයි –Distribution ලෙස මෙය හඳුන්වන අතර අවසාන අධියරේ දී බෙදා හරින ලද ඖෂධ භාවිතය (Use) සිදුවේ. ඉහත සෑම අදියරක්ම ඉතාමත්ම සුපරික්ෂාකාරීව අධීක්ෂණයට ලක්කළ යුතුය.

ලෙඩට බේත් නෑ…කියන්න ආණ්ඩුවක් නෑ…

මෙවන් ප්‍රතිපත්ති රාමුවක් පවතිද්දී පසුගිය කාලසීමාව තුළ දීම අපට අසන්නට හා දකින්නට ලැබුණේ දිගින් දිගටම ශ්‍රී ලංකාව තුළ සිදුවන තත්ත්වයෙන් බාල ඖෂධ භාවිතාව හා තහනම් කිරීම සම්බන්ධ ප්‍රවෘත්තියයි. ඉතාම මෑතක දී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කළ චක්‍රලේඛයකට අනුව ඉතා විශාල ඖෂධ කාණ්ඩ සංඛ්‍යාවක් මෙරට ගෙන්වීමෙන් හා රේහල්වලට බෙදා හැරීමෙන් අනතුරුව රෝගීන්ට භාවිතා කොට අතුරු ආබාධ ජනිත වූ පසුව භාවිතයෙන් ඉවත් කිරීම හෝ තහනම් කිරීම සිදුවිය. මෙය ඉතා කනගාටුදායක තත්ත්වයකි. එයට හේතුව මෙම ඖෂධ තොග ගෙන්වීම සඳහා රජය මගින් ඩොලර් බිලියන ගණනක් යළි ලබා ගත නොහැකි ලෙස වියදම්ව තිබීමයි.

පසුගිය දශක දෙක තුනක ආසන්න කාල සීමාව තුළ ශ්‍රී ලංකාව තුළට බටහිර ඖෂධ ගෙන්වීම සම්බන්ධව ආන්දෝලනාත්මක සිදුවීම් රාශියක් වාර්තා වුවද අදාළ සිදුවීම්වලට වගකිව යුතු කිසිවකු හෙළිදරව් වී නැත. ඖෂධ ගෙන්වීමේ අක්‍රමිකතා මෙන්ම ගෙන්වන ලද ඖෂධ ආසාත්මික වීමේ සිදුවීම් රාශියක් දිගින් දිගටම පුවත්පත් මගින් වාර්තා විය. මෙරට සාමාන්‍ය ජනතාව රජයේ රෝහල් වෙත පැමිණෙන්නේ නොමිලේ තම රෝග ස්වභාවයන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පිණිසය. රෝහල් සායනවලින් නිකුත් කරන ඖෂධ නොමිලේ ලබාදුන් පමණින් නිසි ප්‍රමිතියකින් තොර නොවිය යුතුය. එසේම එම ඖෂධ හැකි සෑමවිටම රෝගියාගේ ජීවිතයට අනතුරක් නොවිය යුතුය. ගෙන්වන ලද ඖෂධ ශරීරය තුළ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හෝ ගෙන්වන ලද ඖෂධ නිසා ආසාත්මික විය හැකි අවස්ථා එක්වරක් හෝ දෙවරක් සිදුවිය හැකි නමුත් රෝගීන්ට ලැබෙන අහිතකර ඖෂධ ලැයිස්තුව දිගින් දිගටම වැඩි වර්ධනය වේ නම් එය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ.

බලයට පත්වන සෞඛ්‍ය බලධාරීන් වැඩ භාර ගනිමින් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති දූෂණ අක්‍රමිකතාවලට වගකිව යුතු හිටපු නිලධාරීන්ට දඬුවම් පමුණන බවත් ඉතා ඉක්මනින් සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත්ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති තම නිලවරණවලදී පාරම්බාන්නේ මේ ප්‍රකාශයම කරමිනි. එහෙත් බාලගිරි දෝෂය අද නෙමෙයි හෙට මෙන් මේ රාජ්‍ය ඖෂධ ප්‍රතිපත්තිය කිසිදා ක්‍රියාත්මක වී නැත.

වෛද්‍යවරයකු තේ කෝපපයක් බීමට කැන්ටිමට ගිය සැනින් ඒ සම්බන්ධව ලැබෙන පැමිණීලි විභාග කරන සෞඛ්‍ය බලධාරීන් රෝගී ජීවිත දහස් ගණනක් මරණ දොරටුවට තල්ලු කරන වැරදි ඖෂධ ප්‍රතිපත්ති සම්බන්ධව මුණිවත රකින්නේ ඇයිදැයි විමසා බැලිය යුතුය. මේ සියල්ලෙන් අපකීර්තියට පත්වන්නේ කීර්තිමත් රාජ්‍ය චින්තනයක්ය.

මිලෙන් අඩු ඖෂධ මිලදී ගන්නා ලෙස රාජ්‍ය ආයතන නිතර ප්‍රකාශ කරන නමුත් මිලෙන් අඩු ආසියානු කලාපයේ රටවලින් ගෙන්වන බොහෝ ඖෂධ අතුරු ආබාධ රැසකින් සමන්විත වන බව රෝගීන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන්ම රෝගීන්ට නියම කරන ඖෂධවලින්ම තහවුරු වේ. මේ වනවිට පෞද්ගලික චැනලින් සේවා සඳහා දෛනිකව පැමිණෙන රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මේ බොහෝ රෝගීන් පවසන්නේ “ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තට වැඩක් නෑ ලෙඩේ සනීප වුණේ නෑ. කීයක් ගියත් කමක් නෑ චැනල් කරලා ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න ආවා. ලෙඩේ සනීප වෙනව නම් එච්චරයි” ලෙසිනි. මෙවැනි ප්‍රකාශ රෝගීන් පවසන්නේ ආවාට ගියාට නොවේ.

රෝගීන්ට ඖෂධ නියම කිරීම සම්බන්ධව සෘජු මැදිහත්වීම සිදු කරන්නේ වෛද්‍යවරුන් විසිනි. මේනිසා කවුරුන් කුමන ඖෂධ මෙරටට ගෙන්වුවද එම ඖෂධ නිසා ආසාත්මිකතාවක් හෝ රෝගියා මිය යෑමක් හෝ රෝගී තත්ත්වය සුව නොවීමක් සිදුවුවහොත් බැණුම් ඇසීමට මෙන්ම මරණ තර්ජනවලට ලක්වීමටද ඇතැම්විට අධිකරණය හමුවට ගොස් රෝගියාට වන්දි ගෙවීමට සිදුවන්නේද අහිංසක වෛද්‍යවරයකුට ය.

බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවේදයේ ඉතා වැදගත් ස්ථානයක් ඖෂධ ප්‍රතිකාරවලට හිමිවන බැවින් රෝගීන්ට ලබාදෙන ඖෂධවල ගුණාත්මකභාවය සම්බන්ධව ඉහළ අවධානයක් යොමුකළ යුතුය. වෛද්‍යවරුන් ලෙස අප සෑමවිටම උත්සාහ දරන්නේ රෝගියාට උපරිම සුවයක් අඩු කාල සීමාවකදී ලබාදීමයි. මෙවැනි අවස්ථාවලදී ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධවලට ප්‍රමුඛතාවයක් ලැබේ. මිලෙන් අඩු ඖෂධ රෝගීන්ට නියම කරන බොහෝ අවස්ථාවලදී රෝගී තත්ත්වය සුව වීමේ ප්‍රමාදයක් පවතින බව අත්දැක ඇති සත්‍යයි. මේ නිසා වඩා වැදගත් වන්නේ මිලෙන් අඩු වුවත් ගුණාත්මකභාවයෙන් වැඩි ඖෂධ රෝගී ජනතාවට ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා විවර කිරීමයි. නොමිලේ සෞඛ්‍ය සේවයක් පවතින බව ප්‍රකාශ කරමින් තත්ත්වයෙන් බාල ඖෂධ තොග පිටින් ගෙන්වමින් රටේ ධනය නිරපරාධයේ වියදම් කිරීම හා අල්ලස් දූෂණ ටෙන්ඩර් මගඩි හරහා ජනතාවට වංචා කිරීමට වඩා ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ රට තුළට ගෙන්වීමට බලධාරීන් උත්සුක විය යුතුය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තුළ රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවය මෙන්ම පෞද්ගලික අංශයේ වෛද්‍ය ප්‍රතිකාර සේවයටද ඉතා ඉහළ ස්ථානයක් මේ වනවිට හිමිව පවති. මේ නිසා ඖෂධ ආශ්‍රිත යම් ආසාත්මික ප්‍රතික්‍රියාවන් හෝ භාවිතයෙන් ඉවත් වන ඖෂධ නාම ලේඛන හැකි ඉක්මනින් රෝගීන්ට ප්‍රතිකාර සේවයේ යෙදෙන වෛද්‍යවරුන් වෙත යොමු කිරීම සිදුකළ යුතුය. එහෙත් බොහෝවිට වෛද්‍යවරුන් මෙවැනි තොරතුරු දැනගන්නේ කටකතා මාර්ගයෙනි. මේ තත්ත්වය වළක්වා ඖෂධ සම්බන්ධ නිවැරදි දැනුම පෞද්ගලික හා රාජ්‍ය අංශයේ වෛද්‍ය නිලධාරීන් වෙත හැකි ඉක්මනින් ලබාදෙන ක්‍රමවේදයක් සකස් කළ යුතුය. එසේ නොවුණහොත් අදාළ ප්‍රමාද වන කාලසීමාව ඇතුළත තවත් රෝගී ජීවිත ගණනාවක් වෛද්‍යවරයා දැනුවත් නොකිරීම නිසා විනාශ වී යා හැක.

අපේ රටේ පෞද්ගලික වෛද්‍ය සේවය නියාමනය කිරීම සඳහා කොමිෂන් සභාවක්ද පවතින අතර පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ගෙන් වාර්ෂික බදු මුදලක් ද අය කරයි. මේ නිසා මෙම කොමිෂන් සභාව හරහා පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ට ඖෂධ සම්බන්ධ නවතම දැනුම හා තොරතුරු අප්‍රමාද ලබාදීමට බලධාරීන් කටයුතු කළ යුතුය.

ඖෂධ ප්‍රතිපත්ති හා එකම ඖෂධීය නාමය සඳහා විවිධ මිල ගණන් යටතේ ඖෂධ වර්ග රාශියක් පැවතීම සම්බන්ධව අදහස් ප්‍රකාශ කරන බොහෝ විද්වතුන් අමතක කරන කරුණක් වන්නේ ඖෂධවල ගුණාත්මකභාවයයි. විවිධ මිල ගණන් යටතේ පවතින ඖෂධ වර්ග සියල්ලේම ගුණාත්මකභාවය එක හා සමාන වන්නේ නම් කිසිදු ගැටලුවක් නැත.

තත්ත්වයෙන් බාල මිලෙන් වැඩි ඖෂධ රට තුළට ගෙන්වීම මෙන්ම රෝගීන්ට නියම කිරීම ද තහනම් කළ යුතුය. ඊට පෙර තත්ත්වයෙන් ඉහළ ඹෟෂධ මෙරට ජනතාවට පහසු මිලට ලබා ගත යුතු ක්‍රමවේදයක් සැකසිය යුතුය. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විය යුත්තේ එම පදනමේ සිටය. එසේ නොමැතිව කුමන හෝ පෙති කරල් නිදහස් සෞඛ්‍ය සේවයේ නාමයෙන් අහිංසක රෝගී ජනතාව වෙත පෙවීම නතර කළ යුතුය.

අද වන විට රෝගීන් වෛද්‍යවරුන් නියම කරන ඖෂධ නියමිත දින ගණනම ලබා නොගන්නා බව මා අත්දැක ඇත. මෙයට හේතුව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති ඖෂධ මිලයි. සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවකට දින තුනකට බෙහෙත් ෆාමසියෙන් ලබා ගතහොත් අවම වශයෙන් රු. දහසක්වත් වැය කළ යුතුය. හෘදයාබාධ රෝගියකුට මසකට ඖෂධ සඳහා වන වියදම රු. පන්දහසකට අධික වේ. බොහෝ රෝගීන්ගේ රෝගී තත්ත්ව උත්සන්න වීම කෙරෙහි ඖෂධ මිල ඉහළ යෑම සෘජුව බලපා ඇති බව මගේ අත්දැකීමයි.

නිදහස් සෞඛ්‍ය සේවය නාමය නිකරුණේ වචන මාලාවක් වීම නවතා රෝගී ජනතාව වෙත තත්ත්වයෙන් ඉහළ ඖෂධ ක්‍රමානුකූලව ලබාදීමේ වැඩ පිළිවෙළක් නව ඖෂධ ප්‍රතිපත්තිය තුළින් ක්‍රියාත්මක විය යතුය. බටහිර ඖෂධ සමාගම් මිලෙන් වැඩි ඖෂධ ගෙන්වමින් ජනතාව සූරා කෑමත් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන් රෝගීන්ට මිලෙන් වැඩි ඖෂධ නියම කිරීම නතර කිරීමත් නවතා දැමිය හැක්කේ එවිටය. වෛද්‍යවරුද බටහිර සමාගම්වල රූකඩ බවට පත්වීම ස්වභාවයෙන්ම නවතිනු ඇත. එසේ නොමැතිව වීදුරු ගෙවල්වල සිට ගල් ගසමින් තත්ත්වයෙන් බාල ඖෂධ රෝගීන්ට සපයමින් නීති රීති පැනවමින් ගැලරිය පිනවීම වගකිය යුත්තන් විසින් නොකළ යුතුය. සෞඛ්‍ය බලධාරීන් වෘත්තීය සමිති හා සෞඛ්‍ය සේවකයන් ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ නියාමනය විය යුතුය.

තවද ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ ගෙන්වීම සඳහා දින සියයකට අධික ප්‍රමාණයක් වැය වන බව පවසන ලද නමුත් රටේ සෞඛ්‍ය සේවය දැවැන්ත අර්බුදයකට මුහුණ පා ඇති අවස්ථාවකදී කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා ඖෂධ නොමැතිව මිය යෑමේ තත්ත්වයක් උදා වී පවතිද්දී එතරම් විශාල කාල සීමා බලා සිටිනවා වෙනුවට ඊට වඩා අඩු දින ගණනකින් අදාළ ඖෂධ ශ්‍රී ලංකාව තුළට ගෙන්වාදීමේ යාන්ත්‍රණය සක්‍රිය කිරීම සඳහා අප වෘත්තිය සමිති ව්‍යාපාරයක් ලෙස අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවත් අවම වශයෙන් දින සියයක් ගත වන ඖෂධ දින තිහකට අඩු ප්‍රමාණයක් තුළ දී ශ්‍රී ලංකාවට ගෙන්වා දීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටිමු. මෙම අර්බුදකාරි අවස්ථාවේදී මේ රටේ ලක්ෂ 220 කට ආසන්න ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කඩිනමින් ප්‍රතිස්ථාපනය කිරීමටත් එය බිඳ වැටීම වළක්වා ගැනීම සඳහා ද වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තිය සමිති සන්ධානය ලෙස ඉතා සක්‍රිය ලෙස මැදිහත් වීමට අප සූදානම් වී සිටින අතර විශේෂයෙන්ම ඖෂධ හිඟය අඩු කාලයක් තුළ විසඳා ගැනීම සඳහා අවශ්‍ය කරන රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නම් අදාළ කටයුත්ත ඉතා පහසුවෙන් කළමනාකරණය කර දීමට අප වෘත්තීය සමිති ව්‍යාපාරයට හැකියාවක් ඇති බව ඉතා පැහැදිලි විශ්වාසයකින් යුක්තව මෙසේ දන්වනු කැමැත්තෙමු.

වෛද්‍ය ජී. ජී. චමල් සංජීව

සභාපති – වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය (MCPA)

advertistmentadvertistment
advertistmentadvertistment