වචනෙට බයවී ලිංගිකත්වය මැජික් කරගැනීම !

406

ලිංගිකත්වය ගැන නොදැනුවත්කම නිසා සිදුවන හිංසනය

මේ වනවිට අප බොහෝ දෙනාගේ කතාබහට යොමුවී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේදී කාන්තාවක් දූෂණය කළේ යැයි යන සිද්ධිය සහ මූල්‍ය වංචා රැසක් සිදුකළ තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවගේ සිද්ධියයි.

වර්තමාන ලෝකයේ පවතින තාක්‍ෂණික දියුණුවත් සමඟ සන්නිවේදන මාධ්‍ය ඉතා දියුණු මට්ටමින් පවතී. එනිසා මෙවැනි පුවත් ඉතා වේගයෙන් සන්නිවේදනය වේ. එසේම මෙවැනි පුවත් ඇසීමට, ඒවා රසවිඳීමට අප බහුතරයක් ප්‍රියකරති. එබැවින් සමාජ මාධ්‍ය මෙන්ම පුවත්පත් සහ රූපවාහිනී මාධ්‍යයන්හි වැඩිම පිරිසක් නැරඹූ සහ කියැවූ පුවත් බවට මේවා පත්ව තිබේ. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙහි ඇති ලිංගික රසයයි.

මෙම ලිංගික රසයට අප බොහෝ දෙනා ප්‍රියකරති. එය ප්‍රිය නොකරන්නේ බහතෝරන වියේ පසුවන දරුවන් සහ කායික හෝ මානසික රෝගී පුද්ගලයන් පමණි.

අන් සියලුදෙනා ලිංගික රසයට තම තමාගේ වයස අනුව දක්වන රුචිකත්වය අඩු වැඩිවේ.

● ලිංගික උත්තේජනය

ලිංගික උත්තේජනය (Sex immotion) විවිධාකාරය. එය එකිනෙකාගේ අවශ්‍යතාවය සහ හැකියාව අනුව ඉටුකරගන්නා ආකාරය අනුව වෙනස් වේ.

වෛද්‍ය විද්‍යාත්මකව ලිංගික උත්තේජනය ගැන දක්වා ඇත්තේ ගැහැනු දරුවකු තුළ ලිංගික උත්තේජනය ඇතිවන්නේ වයස අවුරුදු 10 සිට සහ පිරිමි දරුවකුගේ වයස අවුරුදු 12 සිට බවය. එය ලිංගික අවයව වල වර්ධනය සහ ලිංගික පද්ධතියේ ක්‍රියාකාරීත්වය අනුව තීරණය වී ඇත.

ගැහැනු දරුවකු වැඩිවියට පත්වීම හෙවත් ඇයගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් පිටවීම වයස අවුරුදු 10 වන විට ආරම්භ වන බවට සම්මතයකි. නමුත් එය අවුරුදු 8 ත් 14 ත් අතර වුවද සිදුවේ. මෙලෙස පළමුවරට යෝනියෙන් ඩිම්බයක් පිටව සංසේචනයක් සිදුනොවී යෝනි මාර්ගය දක්වා පැමිණ සිරුරින් පිටව යෑමට දින 28ත් 30ත් අතර කාලයක් ගතවේ. ඩිම්බයක් පැලෝපීය නාළය වෙත මුදාහළ මොහොතේ සිට සිරුර ක්‍රියාකරන්නේ එය ශුක්‍රාණුවක් සමඟ සංසේචනය වී ගර්භාෂය වෙත පැමිණ දරු කලලයක් සෑදීම සඳහා අවශ්‍ය පරිසරය සෑදීමටය. එනිසා ගර්භාෂයද අලුතින් බිත්ති සාදා දරු කලලයක් සඳහා පරිසරය සකස් කරගනී.

දරු කලලයක් සෑදීම

මෙතෙක් සිදුකර ඇති පර්යේෂණවලට අනුව ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එක්ව දරු කලලයක් සෑදීමේ හැකියාව ඇත්තේ පැලෝපීය නාළය තුළදීය. එසේ නොමැතිව එය සිදුකළ හැක්කේ වෛද්‍ය පර්යේෂණගාරයකදී කෘතිමව සිදුකිරීම මගිනි.

එය නල දරු සංසේචනයක් ලෙස හඳුන්වයි.

හැඟීම් ඇතිවීම

කාන්තාවක් පිරිමියෙක් වෙතත් පිරිමියෙක් කාන්තාවක් වෙතත් හැඟීම් ඇතිකරගැනීම වරදක් නැතිබව සමාජයේ පිළිගැනීමය. යොවුන් වියේ ඇතිවන හැඟීම්වල අවසාන අරමුණ වන්නේ කායිකව එක්වීමකි. එය විවිධාකාරයෙන් සිදුකරයි. ලිංගිකව එක්වීම, ස්පර්ෂය, සිප වැළඳගැනීම එහි සමීප එක්වීම්ය.

ඇතැම් එක්වීම් දුරස්ථව සිදුවේ. සිනහව, කතාබහ කිරීම, සිහිපත් කිරීම ආදිය එවැනි එක්වීම්ය.

මේ සියල්ලේදීම එකිනෙකාගේ හැඟීම් සක්‍රීයවීම තුළ ලිංගික උත්තේජනයක්ද සිදුවේ.

එය ඇතැම් පුද්ගලයන්ගේ රෝගී බව අනූව දුර්වලව සිදුවේ. විශේෂයෙන්ම දියවැඩියාව වැනි රෝග නිසි පාලනයකින් තොරව පවතින විට ඇතිවන ස්නායු දුර්වලතා නිසා හැඟීම් ඇතිවූවත් ලිංගික උත්තේජනය සිදුවන්නේ දුර්වලවය.

තයිරොක්සින් හෝමෝනය අධිකව ක්‍රියාකිරීම හෝ දුර්වලවීම මතද මෙම ලිංගික උත්තේජනයන් අඩුවේ.

එසේම මානසික පීඩනය නිසාද ලිංගික උත්තේජනය අඩුවේ. එසේම ලිංගික උත්තේජනය කාන්තාවන්ට වඩා පිරිමින්ට වැඩිය. ඒ සඳහා ගතවන කාලයද අඩුය.

කායික ක්‍රියාකාරීත්වය අනුව ලිංගික උත්තේජනය අඩුවැඩිවීම සිදුවන අයුරින් මානසික ක්‍රියාකාරීත්වය අනුවද ලිංගික උත්තේජන වෙනස් වේ.

අප බොහෝදෙනා සුන්දරත්වයට කැමැතිය. එනිසා යම් පුද්ගලයකුගේ රූප සොභාවයට අනුව ඇතිවන ආකර්ෂණය වෙනස් වේ.

අප මුලින් පැවසූ ධනුෂ්ක ගුණතිලකත් තිළිණ ප්‍රියමාලිත් යන දෙදෙනා සම්බන්ධ සිද්ධීන් විමසා බැලීමේදී ඔවුනට සිය අරමුණ ඉටුකරගත හැකිවී ඇත්තේ ආකර්ෂණය මතය.

බෞද්ධ ජනතාව ලෙස බහුතරයක් බුදුන් වහන්සේ කෙරෙහි ආකර්ෂණය වන්නේ උන්වහන්සේගේ රූප සොභාවයටය. එහිදී ඇතිවන්නේ සිත් පහන්වන හැඟීමකි. එනිසා අප තුළ මෛත්‍රිය, කරුණාව, දයාව ආදී මෘදු සිතුවිලි පහළ වේ.

වර්තමානයේ ලොව වැඩිම ආකර්ෂණයක් මතුව ඇති ලිංගික දැනුම ලබාගැනීම සහ සංතර්පරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඒ සම්බන්ධව විවෘතව කතාබහ නොකිරීමය. එය අදාළ රටවල සංස්කෘතිය ආගම දහම අනුව සීමාවී ඇත. කාන්තාවක් සිය පළමු ඔසප්වීමෙන් පසු වයස අවුරුදු 45-50 වනවිටදී සිය අවසන් ඔසප්වීමද සිදුකරනු ලබයි. නමුත් පිරිමියෙක්ට පළමු ශුක්‍රාණු පිටවීමේ සිට මියයන මොහොත දක්වා සිදුකළ හැකිය.

එනිසා කාන්තාවකට අවසන් ඔසප්වීම හෙවත් ආර්තවහරණයෙන් පසු හැඟීම් ඇතිවීම සීමාවේ. නමුත් පිරිමියෙකුට තම ජීවිත කාලය පුරාම ලිංගික ක්‍රියාකාරීත්වය පවතී. එසේම ඉතා සුළු මොහොතකදී ලිංගික උත්තේජනය ඇතිකර ගත හැකිය.

කාන්තාවන් සහ පිරිමින්ගේ ලිංගික සක්‍රීය බව උපරිමව පවතින කාලය වන්නේ වයස අවුරුදු 18 ත් 40 ත් අතර වියේදීය. මෙම ලිංගික උත්තේජනය සිරුරේ නිරෝගී බව අනුව සහ මානසික පීඩාවන්ගෙන් තොරබව අනුව උපරිමත්වයට පත්වේ. අප වැනි රටවල ලිංගික සංසර්ගය නීත්‍යානුකූල වී ඇත්තේ විවාහය පදනම් කරගෙනය. එනිසා විවාහක කාන්තාවක් සහ පිරිමියෙක් අතර ලිංගික සංසර්ගයක් නැතිනම් එය සමාජ ගැටලුවක් බවට පත්වේ. එසේම දෙදෙනා තුළ ලිංගික දුර්වලතාවයක් පවතීනම් එය එම ගැටලුව වඩාත් සංකීර්ණ වේ.

ඊට කදිම නිදසුන වන්නේ විවාහක යුවලක් විවාහ වූ දින සිට වසරක් දෙකක් ගියවිට දරුවකු නොලද හොත් එය බොහෝ දෙනාගේ අවධානයට ලක්වේ. තවම දරුවෝ නැතිද? අසනීපයක්ද? ආදී ලෙසින් බොහෝ දෙනා විමසති. විවාහ නොවී දෙදෙනකු අතර ලිංගික සංසර්ගයක් ඇතිවුවහොත් සහ ඉන් දරුවකු බිහිවුවහොත් ඔවුනට ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ අනාචාරයේ හැසිරීම යන නින්දා අපහාසයන්ය.

මිනිස් ප්‍රජාව වර්ධනය වන්නේ ලිංගික සංසර්ගය මගිනි. එනිසා එයට එරෙහි විය නොහැකිය. නමුත් එය ශිෂ්ට අයුරින් සිදුවිය යුතුය. මිනිසා සහ තිරිසන් සතුන් අතර වෙනස ඇත්තේ මෙම ශිෂ්ට බව අනුවය. ශිෂ්ට බව රැකගැනීම සඳහා නීතිමාලාවක් පනවා ඇත. එය විවිධ රටවල ආගමික පදනම සහ සංස්කෘතිය අනූව වෙනස්වී ඇත.

අප රටේ ලිංගික සේවක සේවිකා වෘත්තිය නීතියෙන් පිළිනොගනී. නමුත් ඊට සමීප සේවාවන් සඳහා අවසරදී ඇත. එනම් ශරීර සම්බාහනය, අඩනිරුවත් දර්ශන සඳහා අවසර දී තිබේ.

එසේම ලිංගික දැනුම ලබාදීම ඉතාමත් ප්‍රාථමික මට්ටමේ පවතී. එනිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරු දැරියන් අතර පවා මේ පිළිබඳව ඇත්තේ වැරදි අවබෝධයකි.

ශිෂ්‍යත්ව විභාගයට අපොස සාමාන්‍ය පෙළ විභාගයට හෝ උසස් පෙළ විභාගයට කඩඉම් ප්‍රශ්නයක් ලෙස ලිංගික දැනුම නොමැති නිසා කිසිවෙකුත් ඊට වැඩි අවධානයක් යොමුකරන්නේ නැත.

නමුත් සෑම දිනකම දරුවෝ බිහිවෙති. ඔවුහු මල්වර වෙති. විවාහ වෙති. ඒවා නතර වී නැත. වර්තමානයේ බොහෝ දෙනා මන්දපෝෂණය ගැන කතා කරති. ඊට පිළියම් සොයති. ඒ සියල්ලෙන්ම සිදුකරන්නේ නිරෝගී දරුවන් බිහිකිරීමය. නිරෝගී දරුවා ලිංගික ක්‍රියාකාරිත්වයෙන්ද සක්‍රීයය.

නමුත් ඔවුන්ගේ එම සක්‍රීයවන ලිංගික ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනුවත් බව දුර්වලය.

මේ වනවිට සරසවි සිසුන් සැලකිය යුතු පිරිසක් අතර ඒඩ්ස් රෝගය පැතිර ගොස් ඇති බව අනාවරණය වී ඇත.

කාන්තා හිංසනය සියයට 47% ක් සිදුවන්නේ නිවසේදී බව හෙළිවී තිබේ.

රටේ ධනවතුන්, ප්‍රභූන් යැයි පවසන බොහෝ දෙනා ලිංගික අල්ලසට හසුව ඇතැයි වාර්තා වේ.

මේ සියල්ලටම හේතුවී ඇත්තේ අප තුළ ලිංගික උත්තේජනය පිළිබඳව ඇති අල්ප වූ දැනුමය.

සෙක්ස් (SEX) යැයි කියූ විට අප බොහෝ දෙනා ප්‍රසිද්ධියේ එය ප්‍රතික්‍ෂේප කරන්නට හුරුවී සිටිති. නමුත් රහසින් එය රස විඳින්නට ප්‍රිය කරති.

එනිසා ලිංගික හිංසනයකට පත්වූ හෝ එවැනි ක්‍රියාවක නිරතව ප්‍රසිද්ධියට පත්වූවන් ගැන අපි තලුමරමින් කතාකර රස විඳින්නෙමු. එයද එක් ලිංගික සන්තර්පණයකි. අනුන්ගේ ලිංගික සතුට අසමින් දකිමින් රස විඳීමද ලිංගික සන්තර්පණයකි. එය එක්තරා මානසික මට්ටමකි. එනිසා ‘සෙක්ස්’ ගැන විවෘතව කතා කරන්නට සහ එහි නිවැරදි විද්‍යාත්මක දැනුම සමාජයට ලබාදෙන්නට වගකිවයුත්තන් වැඩි අවධානයක් යොමුකළ යුතුය.

එසේ නොවුණු හොත් දැනට අපට හිමිවී ඇති සෙක්ස් (SEX) යන වචනය අන්තර්ජාලය ඔස්සේ රහසේ සොයා බැලූ ලොව වැඩිම පිරිස සිටින අයගේ ලෝක කුසලානය තව බොහෝ කාලයක් අප සතුකර ගත හැකිය. වෙනත් ලෝක කුසලාන අහිමිවූවත් මෙයත් එක ජයග්‍රහණයක් යැයි උදම් අනන්නට කැමැති අයද නැතුවා නොවේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment