විදුලි බිලෙන් උණුසුම් වූ ශ්‍රී දළඳා පෙරහර

535

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවේද?
හිටපු දියවඩන නිලමේ නෙරන්ජන්

මෙය විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක්ද?
නිලමේවරුන්ගේ සංගමයේ සභාපති හේමන්ත බණ්ඩාර

ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාවේදී මහනුවර නගරයේත් දළදා මාලිගාව සහ සතර දේවාල පරිශ්‍රයන්හිදීත් දල්වනු ලබන විදුලි ආලෝකය සඳහා වැයවෙතැයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඇස්තමේන්තු කරන ලද මුදල රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂ අනූනව දහස් දහයකි. (13299,010). සෑම වසරකම පාහේ විදුලිබල මණ්ඩලයෙන් මෙවැනි ඇස්තමේන්තුවක් සකස් කරනු ලැබූවද එදා සිට මේ 2023 වසර දක්වා ඇස්තමේන්තුගත මුදල ගෙවන ලෙස ශ්‍රී දළදා මාළිගයට හෝ සතර මහා දේවාලවලට දැනුම් දී නැති බව පැහැදිලිය. එපමණක්ද නොව 2022 වසරේ දෙසැම්බර් මාසය තෙක් දළදා මාළිගයේ සහ සතර මහා දේවාලයන්හිත් මාසික විදුලි බිල ගෙවනු ලැබුවේ ද රජයේ මැදිහත්වීම මතය. නමුත් 2023 ජනවාරි මස සිට ශ්‍රී දළදා මාළිගයේ සතර මහා දේවාලයන්හි මාසික විදුලි බිල ගෙවිය යුතු බවට දැනුම් දීමෙන් අනතුරුව නිලමේවරුන් ඊට එකඟ වීම මත මාසික බිල ගෙවා දැමීමක් සිදුව තිබේ. ඒ වග සනාථ කරන්නේ බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති හේමන්ත බණ්ඩාර මහතාය.

හේමන්ත බණ්ඩාර බස්නායක නිලමේවරයා පවසන පරිදි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේවර දළදා පෙරහැර සහ සතර මහා දේවාල පෙරහැරයන්ට වැයවන විදුලි බිල ගෙවිය යුතු තත්ත්වයක් උද්ගතව ඇත. මාසික විදුලි බිල්පත ගෙවා දැමීමට සිදු වුව ද ඓතිහාසික රාජ්‍ය උත්සව මංගල්‍යය වන ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය වෙනුවෙන් වැයවන විදුලිය සඳහා බිල්පත් ගෙවීමට සිදුවනු ඇතැයි කිසිවිටෙකත් නොසිතූ බව නිලමේවරයා කියා සිටියේය. දළදා පෙරහැර මංගල්‍යයෙන් සිදුවන්නේ පෞරාණික චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමක් බවත් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම පන්දම් එළියකින් වුවද සිදු කළ හැකි බවත් කී බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වීදිය ආලෝකවත් කරමින් නගරයට විදුලි ආලෝකය ලබා ගන්නේ ජනතාවගෙත් ශිල්පීන්ගේත් අලි ඇතුන්ගේත් ආරක්ෂාව පිණිස යැයි කියා සිටියේය. පෙරහැර වීදි අතීතයේ පටන්ම ආලෝකවත් කරනු ලැබූයේ කොප්පරා දල්වමින් ඇති පන්දම් එළියෙන් බවත් අදටත් අඩි දහයෙන් දහයට පන්දම් දල්වා පන්දම් කරුවෝ වීදිසරණ පෙරහැර ආලෝකවත් කරන බවත් හෙතෙම කියා සිටියේය.

17 වන ශත වර්ෂයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවස ආරම්භ වූ සෙංකඩගල මහනුවර පෙරහැර මංගල්‍යය හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යයකි. ඓතිහාසික බව ඔප්නංවාලමින් කලා ශිල්පීන් අලි ඇතුන් පිරිවරා ගනිමින් පැවැත්වෙන මෙම වාර්ෂික පෙරහැර මංගල්‍යයෙන් ශ්‍රී ලාංකීය පෞඪත්වය මනාව විදහාපායි. ශ්‍රී ලාංකීය අභිමානය ජාත්‍යන්තර තලයට රැගෙන යන්නට උත්තුංග මෙහෙයක් සලසා දෙනු ලබන මෙය ලොවෙහි කිසිදු රටක නොපැවැත්වෙන තරමේ කලා මංගල්‍යයකි.

අතීත රජ දවසේ පටන් රාජ්‍යත්වයේ සංකේතය ලෙස දොහොත් මුදුන් ලා සලකනු ලැබුයේ දළදා වහන්සේ ය. එදවස පටන් මේ දක්වා රට තුළ හෝ ලෝකයේ හෝ කොතැනක හෝ කුමන අර්බුදකාරී තත්ත්වයක් පැවතිය ද පෙරහැර මංගල්‍ය අති උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලැබීය. දින 15ක පුද පූජා අවසන් කොට නිල වශයෙන් පෙරහැර නිමාවට පත් කරන්නේ රාජ්‍ය නායකයාට සන්දේශයක් නිල වශයෙන් භාර දෙමිනි. වර්තමානයේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස එම සංදේශය භාර ගත්තද අතීතයේදී එම චාරිත්‍රය ඉටුකරනු ලැබුයේ රජු විසිනි. ඒ හරහා අපට තහවුරු කරන්නේ දළදා පෙරහැර මංගල්‍යය ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ රාජ්‍ය උත්සවයක් බවය. ඒ බව තවදුරටත් තහවුරු වන්නේ මහනුවර දළදා පෙරහැර මංගල්‍යය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කිරීම හරහා ය.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සතර මහා දේවාලයන් හි සුබ නැකතට කප් සිටුවීමෙන් අගෝස්තු මස 17 දින ආරම්භ වන බවත් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලන්හි පෙරවරු 6.12 ට යෙදෙන සුබ නැකතට වයඹ දිශාභිමුඛව කප් සිටුවීමේ චාරිත්‍රය සිදු කරන බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා එහිදී කියා සිටියේය.

ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී පැවැති එම සාකච්ඡාවේදි කප් සිටුවීමෙන් පසු පුරා දින හතරක් දේවාල අභ්‍යන්තර පෙරහැර පවත්වන බවත් ඉන් අනතුරුව අගෝස්තු 21 වැනි දින ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය ආරම්භ කරන බවත් ඒ මහතා කීය.

කුඹල් පෙරහර දින පහක් වීදි සංචාරයක කිරීමෙන් අනතුරුව රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම අගෝස්තු මස 26 දින ආරම්භ වීමට නියමිතය. අවසන් රන්දෝලි මහ පෙරහැර 30 වැනි දින වීදී සංචාරය කිරීමෙන් පසු පසුදින අලුයම දිය කැපීමේ මංගල්‍යය පවත්වා දවල් පෙරහැර වීදි සංචාරය කිරීමෙන් අනතුරුව මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වන බව ද දියවඩන නිලමේවරයා එහිදී පැවසුවේය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී නාහිමි ද මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද නාථ දේවාල බස්නායක නිලමේ එස්. බණ්ඩාරනායක, විෂ්ණු දේවාල බස්නායක නිලමේ මහේන් රත්වත්තේ, කතරගම දේවාල බස්නායක නිලමේ දමින්ද උඩුරාවණ යන මහත්වරු ද සහභාගි වූහ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයෙන් සහභාගිව සිටියේ, ප්‍රධාන විදුලි ඉංජිනේරුවරිය සහ සහකාර ඉංජිනේරුවරයෙකි.

විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු (මහනුවර නගරය) එච්. එස්. බණ්ඩාර මහතාගේ අත්සනින් යුත් ඇස්තමේන්තුගත මුදල් සඳහන් අදාළ ලිපිය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා සහ සතර මහා දේවාල බස්නායක නිලමේවරු වෙත ද යොමුකර තිබේ. ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රය, සතර දේවාල, පෙරහර වීදී සංචාරය කරන ප්‍රදේශ හා ජනතාව ගැවසෙන ස්ථානවලට අවශ්‍ය අමතර විදුලි ආලෝකකරණ කටයුතු සහ අනෙකුත් විදුලි පිරිවැටුම් කටයුතු සඳහා මෙම පිරිවැය ඇස්තමේන්තුව සකස් කර ඇත. ඒ අනුව මෙම ඇස්තමේන්තුවට අනුව ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් 3412479 ක් ද නාථ දේවාලය මගින් 1122145 ක් ද විෂ්ණු දේවාලය මගින් 1368385 ක් ද කතරගම දේවාලය මගින් 1102705 ක් ද පත්තිනි දේවාලය මගින් 1102705 ක් ද ගෙවිය යුතු බව දැනුම් දී තිබේ.

මහනුවර නගරය තුළ පෙරහැර ගමන් ගන්නා සියලුම වීදි ආලෝකරණය සඳහා විදුලි බල මණ්ඩලය රුපියල් 4441273 ක මුදලක් ද ජනක යන්ත්‍රය සඳහා වැයවන මුදල රුපියල් 749215 ක මුදලක් ද වැය කරන බව මණ්ඩලය සකස් කළ ඇස්තමේන්තුවේ දැක් වේ. මෙයට අනුව පෙරහැර වෙනුවෙන් රුපියල් 13200010 මුළු වියදමක් විදුලි බල මණ්ඩලය විදුලි ආලෝකය සැපයීම වෙනුවෙන් වැයකරන බව දැනුම් දී ඇත.

පෙරහර වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාව සහ සතර මහා දේවාල ආලෝකකරණය සඳහා වැය වෙතැයි ඇස්තමේන්තු කළ මුදලට අදාළ ගෙවීම් සාමාන්‍යධිකාරී විදුලි බල මණ්ඩලය නමින් ලියන ලද චෙක්පතක් මගින් කරන ලෙස ද විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වත්මන් දියවඩන නිලමේ නිලංග දෑල මහතා ප්‍රකාශකොට සිටියේ සෑම වසරකම දළදා පෙරහැර සඳහා වැයවන විදුලියට අදාළව ඇස්තමේන්තුවක් එවන බවය. ඇස්තමේන්තුගත පිරිවැය අවම කර ගැනීම සඳහා සාකච්ඡා මට්ටමින් පියවර ගත හැකි බව ද මේ පිළිබද මාධ්‍ය මගින් දැනුවත් කොට විසඳුම් සෙවිය නොහැකි බව ද දියවඩන නිලමේවරයා කියා සිටියේය. වැඩි වශයෙන් විදුලිය වැයවන බල්බ වෙනුවට එල් ඊ ඩී බල්බ යොදා ගනිමින් හෝ විදුලි බිල පාලනය කිරීමට පියවර ගැනීම මේ මොහොතේ වැදගත් බවත් පවතින රටේ ආර්ථික වාතාවරනය පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් නිලංග දෑල මහතා කියා සිටියේය.

දළදා මාලිගාවේ වසර 20ක කාලයක් දියවඩන නිලමේ ධුරය හෙබ වූ නෙරංජන් විජේරත්න හිටපු දියවඩන නිලමේවරයා මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙවැන්නකි.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව බුද්ධාගම ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම රජයේ වගකීමකි. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය යනු රටේ ප්‍රධානතම රාජකීය රාජ්‍ය උත්සවය යි. එවැනි උත්සවයක් සඳහා වැයවන වැයවීම් අදාළ පාර්ශ්වයන්ගෙන් අයකර ගැනීම හරහා සිදුවන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවේද? නැතිනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වැනි වගන්තිය නාමිකව පමණක් පවතී ද? එසේත් නැත්නම් ඒ සම්බන්ධයෙන් කරුණු කාරණා පිළිබඳව රාජ්‍ය නායකයන් ගේ අවධානය යොමු වී නැතිද.. එසේත් නැත්නම් මේ සම්බන්ධයෙන් අවබෝධයක් ඒ කිසිවෙකුටත් නොමැති ද?

මේ පිළිබඳව සරලව විමසා බලමු. රටේ කෘෂිකර්මාන්තය නගා සිටුවීම පිණිස අවශ්‍ය වර්ෂා ජලය හිඟවීමත් නියඟය අහවර කිරීමත් අරමුණු කරගනිමින් දළදා හාමුදුරුවන්ට කන්නලව් කරන්නේ ඇසළ මහේ පවත්වනු ලබන දළදා පෙරහැර මගිනි. එය වර්තමානය හා සංසන්දනය කරමින් බලන කල විදුලි බලය උත්පාදනයටද අවැසි ජලය ජලාශවල හිඳින විට හිත සනහා ගන්නේ අගෝස්තුවෙන් පසුව වැසි වැටී ජලාශ පිරී ඉතිරී ගිය පසු විදුලි බලය නිපදවීම පහසු වන්නේ යැයි කියා ය. ඒ පෙරහැරින් පසුව වැසි වහින බව නියතයක් ම බව ජනතාව පසක් කරගෙන සිටින නිසාය. වැසි වසින ලෙස අහසට හඬනගා ඝෝෂා කරන දළදා පෙරහැරේ මූලික අර්ථය අමතක කොට ගෙන වර්තමාන නිලධාරීන් කටයුතු කරන්නේ නම් එය රටේ අභාග්‍යය මිස වෙන කවරක්ද?

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment