දශකයකට හමාරකට ඉහත පොලොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමයටත් සිවුරු පොරවලා

තවත් ආගමික ජාවාරමකට “මුල් ගල තැබීමක්”…

පසුගිය නොවැම්බර් 26 වැනිදාට යෙදුණු ඉල් පුන් පොහෝ දින අඩි තිස් අටක් පමණ උසකින් යුතු ලෝක ප්‍රකට අවුකන බුද්ධ ප්‍රතිමාවේ තනි රැලි සහිත ශිලාමය චීවරය වැසී යන ලෙසින් බඳ කොටස කහ පැහැති සුවිසල් රෙදි කඩකින් වැසීමේ සිද්ධියක් මුල් කොට මහත් සමාජ ආන්දෝලනයක් හට ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් පළමු කොට කිව යුත්තේ එමඟින් ඒ සුවිශිෂ්ට කලා නිර්මාණයේ අගය අවතක්සේරුවකට ලක් කොට ඇති බවකි.

අප ජන සමාජයේ සාම්ප්‍රදායිකත්වයට සහ දේශීය සංස්කෘතියට ආගන්තුක බවක් පළ කරන මෙම ක්‍රියාව කිසිදු පිළිගත් වෛද්‍ය වෘත්තීමය සුදුසුකමක් නොමැති මුත් වෛද්‍යවරයකු වශයෙන් සමාජය හමුවේ පෙනී සිටින පුද්ගලයකුගේ ප්‍රධානත්වයෙන් සිදු වූවක් බව මේ වන විට අනාවරණය වී තිබේ.

පසුව මාධ්‍යයට ප්‍රකාශ කොට තිබූ අන්දමට ඔහු මෙය සිදු කොට ඇත්තේ අවුකන බුද්ධ ප්‍රතිමාව විෂයෙහි සිදු කරන ලද කඨින චීවර පූජාවක් ලෙසිනි. කඨින චීවර පූජාව යනු බුදුන් වහන්සේ විසින් භික්ෂුන්ට අනු දැන වදාළ ප්‍රධානතම විනය කර්මයක් වන වස් විසීම හා පදනම්ව එම වස්සාන සමය අවසානයේ ගිහි දායක කාරකාදීන් විසින් උන්වහන්සේ විෂයෙහි සිදු කරන පූජාවකි. නමුදු බුදුන් වහන්සේ සංකේතනය කෙරෙමින් බුද්ධ ප්‍රතිමා විෂයෙහි කඨින චීවර පූජාවක් සිදු කිරීමේ සම්ප්‍රදායක් දේශීය බෞද්ධ සංස්කෘතිය තුළ නොමැත. එහෙත්, මෙය හුදෙක් ඔහුගේ ශ්‍රද්ධා භක්තිය මත පදනම් වූ පුද්ගල ක්‍රියාවකට වඩා කාලයේ තාලයට සැකසුණු තවත් ආගමික ජාවාරමකට “මුල් ගල තැබීමක්” බව අපගේ විශ්වාසයයි.

ඒ කෙසේ හෝ යමකුට තමන් තුළ පවත්නා ශ්‍රද්ධා භක්තිය මුල් කොට බුදුන් වහන්සේ සංකේතනය කරමින් බුද්ධ ප්‍රතිමාවක් උදෙසා කඨින චීවරයක් ලෙසින් යම් චීවරයක් පිදීමේ අවශ්‍යතාවක් ඇති වී යැයි සිතමු. එහෙත්, ඒ සඳහා මෙතරම් සුවිසල් බුද්ධ ප්‍රතිමාවක්ම තෝරා ගැනීමට හේතුව කුමක්ද? එමෙන්ම ඒ ‘චීවර පූජාව’ සමඟ ඔවුන් අවුකන බුද්ධ ප්‍රතිමාව විෂයෙහි සුවිසල් මිරිවැඩි සඟලක් ද පූජා කොට තිබේ. නමුදු එසේ බුද්ධ ප්‍රතිමා වල ප්‍රමාණය අනුව එවැනි දේ පූජා කෙරේ නම් අප ජන සමාජයේ චිර ප්‍රසිද්ධ බුද්ධ පූජාව නම් වන ආහාර පාන ප්‍රමාණය ද එක් එක් ප්‍රතිමාවේ ප්‍රමාණයට සාපේක්ෂව ලොකු කුඩා වශයෙන් වන වෙනස් විය යුතු ය. එමෙන්ම බුදුන් උදෙසා චීවර පූජාවක් ලෙස ඉදිරිපත් කෙරෙන එම රෙදි ප්‍රමාණය එම ප්‍රතිමාවට ඇන්දවීමට කටයුතු කරන්නේ නම් බුද්ධ පූජාව වශයෙන් පූජා කෙරෙන ආහාර පාන එම ප්‍රතිමාවන්ට කැවීමට වෙර දැරීමට ද බෞද්ධයන්ට සිදුවනු ඇත.

පුරාවස්තු ආඥා පනත යටතේ අත්අඩංගුවට පත් අයකුට ඇප නැත

ඇසූ පමණින් බොහෝ දෙනකු තුළ සිනහ පහළ වන මෙම නරුම ක්‍රියාකාරම් හා වර්තමාන සමාජ, ආර්ථික ක්‍රමයන් අතර පවත්නා අවියෝජනීය සබැඳියාව අනුව මේවා සරල විනෝදාත්මක ක්‍රියාකාරකම් ලෙස දැකීමට මානව, සමාජ විද්‍යා ක්ෂේත්‍රයන් හි නියුක්ත වූවනට නොපුළුවන. මක් නිසා ද යත් මෙකී නොකී සියලු ක්‍රියාකාරකම් වලින් නූතන සමාජ, ආර්ථික පසුතලය පිළිබඳ විද්‍යාත්මක සහ ශාස්ත්‍රීය දර්ශකයන් ලබා ගැනීමට මනා ඉඩ ප්‍රස්ථාවක් සැලසෙන බැවිනි. ඒ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකොට ඒ සඳහා නීතිමය පියවර ගෙන ඇති බව වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය පවසා තිබේ. ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ පුරා වස්තු ආඥා පනත යටතේ අත්අඩංගුවට පත් වන අයකුට අධිකරණයෙන් ඇප ලබා ගැනීමට පවා නොහැකි බවකි. එමෙන්ම එම සිවුර පෙරවීමෙන් පසු වැස්සක් පැවතියේ නම් සිවුරේ ඇති රසායනික ද්‍රව්‍ය වලින් පිළිමයට යම් හානියක් වීමට ඉඩ තිබූ බව ද ඇය පවසා ඇත. නමුදු කිනම් හෝ කරුණක් මත මෙම කාරිය සඳහා එම පුද්ගලයා අවුකන රජ මහා විහාරාධිපති හිමියන්ගේ අවසරය ගෙන තිබූ අතර ඒ හිමියන් පසුව මාධ්‍යයට පවසා තිබුණේ ඒ අවස්ථාවේ දී පුරාවිද්‍යා නිලධාරීන් ද එහි රැඳී සිට මේ සඳහා අවසර ලබා දුන් බවකි. නමුත් පුන් පෝදා රජයේ නිවාඩු දිනයක් බැවින් එවැන්නක් සිදුව නොමැති බව පැවසූ වැඩ බලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වරිය අවධාරණය කොට තිබුණේ මෙබඳු ක්‍රියාවන්ට එරෙහිව එවැනි පියවර නොගතහොත් ඉන් වැරදි ආදර්ශයක් සමාජගත වන බවකි. ඒ අනුව විහාරාධිපති හිමියන්ගේ එම ප්‍රකාශය මුල් කොට ද විචාරශීව සිතිය යුතු දෙයක් තිබේ.

අප සමාජයේ බොහෝ දෙනකු සිතන අන්දමට අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීමේ මෙම නරුම ක්‍රියාව අහඹු, ආගන්තුක හෝ ආකස්මික වූවක් නොවේ. සමාජ මානව විද්‍යා දෘෂ්ටි කෝණයට අනුව මෙය මෙරට විවෘත ආර්ථික ක්‍රමය මත පදනම් වූ පරිභෝජනවාදී ආර්ථික රටාව හා සමගාමීව කෙමෙන් වර්ධනය වූ තත්ත්වයකි.

මේ ආගමික ක්‍රියාකාරකම්වලට සාපේක්ෂව සමාජයේ සදාචාරාත්මක ප්‍රවර්ධනයක් කෙසේ වත් සිදු නොවේ.

මේ සඳහා ඉතා සරල නිදසුනක් ගනිමු. ගෙවත්තකට නාගයකු පැමිණ ඇති බව වැටහී යනුයේ එම නිවැසියනට හෝ අසල්වැසියන්ට එම නාගයා දර්ශනය වූ පසුව ය. එහෙත්, ඒ නාගයා බොහෝ විට කිසිවකුගේත් නෙත්වලට හසු නොවී දින, සති ඇතැම් විට මාස ගණනක් ඒ පරිසරයේ සැරිසරන සත්වයකු විය හැකිය. එම නිදසුනට අනුව අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරු පෙරවීමේ මෙම නරුම ක්‍රියාව එලෙස නාගයා දර්ශනය වූ එක් අවස්ථාවක් පමණි.

මේ වන විට බොහෝ දෙනකු නොදැන සිටිය ද මීට දශකයකට හමාරකට ඉහත පොලොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමය මුල් කොට ද අවස්ථා කිහිපයකදී මෙවන් සිවුරු පෙරවීමේ නරුම චාරිත්‍රයක් දක්නට ලැබිණ. එහිදී එලෙස එම ප්‍රතිමාවට සිවුරක් පෙරවීම පිණිස රුපියල් විසි පන් දහසක පමණ මුදලක් අය කෙරුණු බවට අනුමාන මතකයක් අප තුළ තිබේ.

වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ ජන සමාජය අතීතයට සාපේක්ෂව මෙවන් බහු විධ ආගමික ක්‍රියාකාරකම් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්නට ලැබීම පැහැදිලිව දැක ගත හැකි සංසිද්ධියකි. මතුපිටින් බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධයක් හෝ ශාසනික පුනර්ජීවනයක් ලෙස යමකුට අර්ථ කථනය කළ හැකි මෙය සමාජ සහ මානව විද්‍යාත්මක දෘෂ්ටීන්ට අනුව ඊට වඩා සියුම් ලෙස විග්‍රහ කළ යුතු වේ. එයට ප්‍රධාන හේතුවක් වනුයේ ඉහත සඳහන් ආගමික ක්‍රියාකාරකම් වලට සාපේක්ෂව වත්මන් සමාජයේ සදාචාරාත්මක ප්‍රවර්ධනයක් කෙසේ වත් සිදු නොවන බව අතිශයින් පැහැදිලිව දැක ගත හැකි වීම ය. ඇත්ත ඇති සැටියෙන් කතා කළ හොත් අතීතයට සාපේක්ෂව වත්මන් සමාජය තුළ සාපරාධී ක්‍රියාවන් සේම වංචා දූෂණ අක්‍රමිකතා ඇතුළු නීති සහ සදාචාර විරෝධී ක්‍රියා විවිධාංගීකරණ ස්වරූපයෙන් ප්‍රවර්ධය වීමේ වැඩි නැඹුරුවක් පවතී. තත්ත්වය එසේ වුවද ඉහත සඳහන් ආගමික විෂමාචාර වල යෙදෙන්නවුන් සහ සාපරාධී ක්‍රියාවන්හි යෙදෙන්නවුන් එකම සමාජ කුලකයකට අයත් නොවන බවට යමකුට තර්ක කළ හැක. නමුදු එම සංසිද්ධීන් දෙක එකිනෙකට කේවල, හුදකලා, ක්‍රියාවන් සේ සැලකීමට ද නුපුළුවන. ඊට හේතුව හුදෙක් ලෞකික ලාභාපේක්ෂාවන් අරමුණු කර ගත් ඉහත සඳහන් ආගමික ක්‍රියාවන් මගින් සදාචාර ප්‍රවර්ධනයට ඇති ඉඩකඩ මුළුමනින්ම පාහේ ඇහිරී යාම ය.

බුද්ධ පූජාවේ රස මසවුළු සීමාව අතික්‍රමණය කරන මස්-මාංශ පූජා

ලොව බොහෝ ආගම්වල දැකිය හැකි පොදු ලක්ෂණ කිහිපයක් මෙසේ වර්ගීකරණය කළ හැක. ශාස්තෘ දේශනාව, ඉන් මතුවන දර්ශනය, ඉන් පිළිබිඹු වන සදාචාර මාර්ගය ඒ අතුරින් ප්‍රධාන කොටස ය. ආගමක් සම්බන්ධ ද්විතීයික කොටස් වනුයේ පූජා චාරිත්‍ර සහ ස්වේතාභිචාර හෙවත් ශාන්ති කර්මයන් ය. මේ වන විට අප සමාජය තුළ දක්නට ලැබෙන බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධය වශයෙන් දක්නට ලැබෙන සංසිද්ධීන් මෙහි ද්විතීයික කොටසට අයත් බව ඉතා පැහැදිලිවම පෙනෙනු ඇත. බුද්ධ දේශනාව, ඉන් මතුවන දර්ශනය, ඉන් පිළිබිඹු වන සදාචාර මාර්ගය ඉවත දැමෙන ආශීර්වාද පූජා, අධිෂ්ඨාන පූජා, කප් රුක් පූජා ආදී වශයෙන් මහා පරිමාණයෙන් සිදු කෙරෙන ස්වේතාභිචාර හෙවත් ශාන්ති කර්ම ඒ සඳහා වන කදිම නිදසුන් ය.

විසි වන සියවසේ සිව් වන කාර්තුවේ සිට අප රටේ ක්‍රියාත්මක වූ විවෘත ආර්ථිකය මත මධ්‍යම පාන්තික සමාජය පුළුල් ලෙස විස්තාරණය වෙමින් තිබේ. අතීතයේ පැවැති ග්‍රාමීය, නාගරික භේදය සේම සමාජය තුළ පවත්නා ආදායම් විෂමතා මට්ටම් අන් කවරදාවක වත් නොමැති ලෙස විචල්‍ය හා සංකීර්ණ බවකට පත් ව තිබේ. අප සමාජයේ වැදගත් යැයි සම්මත වෘත්තිකයකු ලබන මාසික වැටුප එක් දිනයක් තුළ පවා ඉපදවිය හැකි නොවිධිමත් ආදායම් ලාභී පැලැන්තියක් අප සමාජය තුළ දක්නට ලැබේ. නාගරික ගම්බද භේදයකින් තොරව මේ මුළු පැළැන්තිය තුළින්ම මධ්‍යම පන්තිය ලෙස හැඳින්වීමට අවශ්‍ය සමාජමය සාධක ඉස්මතු වී පෙනෙයි. බෞද්ධ සංස්කෘතික ප්‍රබෝධය හෝ ශාසනික පුනර්ජීවනය වශයෙන් යමකුට අර්ථ දැක්විය හැකි සමාජමය සංසිද්ධිය මුළුමනින්ම පාහේ දක්නට ලැබෙනුයේ මෙම සමාජ තලය වෙතිනි.

සාම්ප්‍රදායික සරල, චාම් කෘෂිකාර්මික සමාජ තලයක් තුළින් මතු වූ මෙම නව සමාජ පැලැන්තිය තුළ පවත්නා පුරුෂාර්ථ අතරේ නවතාවයට (Novelty) හිමි වනුයේ මුල් තැනකි. තමන් ගේ පාරම්පරික සමාජ ආර්ථිකයේ අක් මුල් සිඳ ගැනීම සිය ලෞකික ජීවිත සම්බන්ධ විජයග්‍රහණයේ මාවතක් සේ සිතන ඔවුහු තම ජීවිතවල සෑම අංගයකින්ම මෙම නවතාවය අපේක්ෂා කරති.

ආහාර පාන, ඇඳුම් පැළඳුම්, ගේ දොර, වාහන ඇතුළු භෞතිකමය උපයෝග-පරිභෝග සම්පත් වලින් මෙම නවතාවය අපේක්ෂා කරන බොහෝ දෙනා ආධ්‍යාත්මික කටයුතු වලදී ද එය එපරිද්දෙන්ම ප්‍රාර්ථනා කරනු පෙනේ. අතීත සරල ගැමි සමාජය තුළ පැවැති බුද්ධ පූජා ක්‍රමය නූතන පරිභෝජනවාදී ආර්ථිකය තුළ අවිචාරාත්මක ලෙස ඉහළ නැංවී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුද්ධ පූජාවේ රස මසවුළු සීමාව අතික්‍රමණය කරමින් මස්-මාංශ වලින් ආකූල වූ ඇතැම් නරුම බුද්ධ පූජාවන් හි ඒවා බුදුන් වහන්සේට වැළඳීම පිණිස හැඳි ගෑරුප්පු ද තබා ඇති අයුරු අපි දැක ඇත්තෙමු. සැබැවින්ම මෙය වත්මන් පරිභෝජනවාදී සමාජය තුළ පවත්නා පුහු ආටෝපයන් සංකේතනය කරන්නකි. එනිසාම සාම්ප්‍රදායික බුදු සමය තුළට එවැනි ආටෝපකාරී නවතාවයන් පිවිසුවමින් එම සමාජ කොටස් තමන් කෙරෙහි නතු කර ගැනීමට සමත් ජාවාරම්කාර භික්ෂු පැලැන්තියක් ද මේ වන විට බිහිව සිටිති. මූලික බුදු සමයේ එන ඇතැම් ඉගැන්වීම් තුළම මූලික ධර්මය විනයට එරෙහි අත්තනෝමතික අර්ථකථන දෙමින් එය සැබෑ බුදු දහම ලෙස හඟවමින් සමාජය තමන් කෙරෙහි යොමු කර ගන්නා මෙම ජනකාන්ත භික්ෂු පැලැන්තිය වර්තමානය තුළ ශීඝ්‍ර ප්‍රවර්ධනයකට ලක් වනු පෙනෙයි. පොදු සමාජය තුළ බුදු සමය සම්බන්ධ අති මහත් විස්මයක් දනවන නරුම මත පතුරුවන්නෝ ද ඔවුහුම ය. නිසැක ලෙසම දැක්විය හැකි අන්දමට එය කූට වාණිජෝපායකි. එහෙත්, මේවා හුදෙක් එම භික්ෂුන්ගේ හුදු කේවල ක්‍රියාකාරකම් වලට වඩා ඔවුන් දෙස් විදෙස් ගිහියන් ගේ ආධාර උපකාර සහ අනුග්‍රහයන් මත සංවිධානාත්මකව සිදු කරන ඒවා බවට පිළිගත හැකි සාක්ෂි මේ වන විට ඉස්මතු වෙමින් තිබේ. ඔවුන් වටා නිරන්තරයෙන් ගොනු වන්නා වූ අති මහත් ධනස්කන්ධයන් මේ සඳහා වන දෘශ්‍යමාන සාක්ෂියකි. ඇතැම් විට ඔවුන් මෙකී කියුම් කෙරුම් හා පදනම්ව දෙස් විදෙස් වශයෙන් විශාල ධන ලාභ ලබනු ඇත.

සාමාන්‍ය වශයෙන් ගත් කල අප රටේ වැඩ වෙසෙන භික්ෂුන්ගේ සංඛ්‍යාව තිස් දහසක් පමණ වේ. එම පිරිස අතුරින් ඉහත පරිභෝජනවාදී සමාජයේ පවත්නා ආධ්‍යාත්මික පාපිපාසාවට මිරිඟු දිය බෙදෙන භික්ෂුන්ගේ සංඛ්‍යාව ඉතා සුළුතරයක් බව අප අවිවාදයෙන් පිළිගත යුතු ය. නමුදු මේ වන විට ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාවෙන් තවත් සැලකිය යුතු කොටසක් හුදෙක් ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කෙරෙන ශ්‍රමණ ප්‍රතිපදාවන්ගෙන් මුළුමනින්ම බැහැරව සමාජ, දේශපාලනික අරගලවල යෙදෙන බව ද ප්‍රකට කරුණකි.

ඒ හැරුණු කොට තවත් භික්ෂු පිරිසක් සමාජ සංවිධාන, ව්‍යාපාරික සහ වෘත්තීය වශයෙන් කටයුතු කරමින් ශ්‍රමණ ප්‍රතිපදාවන්ගෙන් බැහැරව හුදෙක් ලෞකිකත්වයෙහි ඇලී ගැලී හිඳින බව ද රහසක් නොවේ. මේ සියල්ල හුදු මගේ උපකල්පනයන් නොවන බවත් නූතන සමාජයේ පොදු පිළිගැනීම් වශයෙන් සම්මත වූ ඒවා බවත් ඒකාන්ත වශයෙන්ම කිව යුතුය.

ආගමික කල්ලි පිහිටුවා ගන්නා ආගමික නායකයෝ

ඒ අතරේ ඉහත සඳහන් අන්තයන් කෙරෙහි යොමු නොවූ නූතන සමාජ, ආර්ථික ප්‍රවාහයන් තුළ පවා තමන් ගේ ශ්‍රමණ ප්‍රතිපදාවන් ආරක්ෂා කරගැනීම කෙරෙහි මූලිකත්වය දෙන යම් භික්ෂු ප්‍රජාවක් ද අප සමාජයේ වැඩ වෙසෙන බව අවිවාදයෙන් පිළිගන්නට සිදුව තිබේ.

නමුදු වර්තමාන පරිභෝජනවාදී ආර්ථික ක්‍රමය තුළ ශීඝ්‍රයෙන් පිරිහී යන බෞද්ධ සාරධර්ම හමුවේ දරුණු නාය යෑමකට නතු වූ බිමක විපිළිසරව දිවි ගෙවන්නවුන් මෙන් ජීවත් වීමට එම සිල්වත්, ගුණවත් භික්ෂුන්ට සිදුව ඇති බව ද පැහැදිලිව පෙනෙන කරුණකි. එම මධ්‍යස්ථ භික්ෂු ප්‍රජාවේ නිහඬ නිසොල්මන් බව මැද නූතන ජනකාන්ත බුදු සමය තුළ විශේෂයෙන් කැපී පෙනෙන ජාවාරම්කාර භික්ෂුන් ධර්ම විනය සම්බන්ධ එකිනෙකට වෙනස් බුදු දහමින් බැහැර විෂමාකාර මති මතාන්තර දරනු පෙනෙයි. එනිසාම ඔවුන් අතරේ අසමඟිකම් පැවතීම සේම එකිනෙකා අතරේ ඇනුම් බැනුම් නින්දා අපහාස ආදිය හුවමාරු වන බව ද ප්‍රසිද්ධ රහසකි. එකම ධර්ම විනය සම්ප්‍රදායක් පිළිගන්නා සහ අනුගමනය කරන භික්ෂුන් දෙදෙනකු අතරේ මෙවන් ගැටුම් අර්බුද ඇති වීම පිළිබඳව මැදහත්ව සිතන්නකු හට ඉතා හොඳින් වැටහෙන කරුණක් තිබේ. එනම් ඔවුන් අතරේ ව්‍යාපාරික ජාවාරම් තරගයක් පවතින බව ය. ඒ අතර මෙම ශාසනික අර්බුදය, ඛේදවාචකය හමුවේ නිරන්තරයෙන් මුණිවත රකින බහුතර ශ්‍රී ලාංකේය භික්ෂු ප්‍රජාව පිටු දකින මෙම සමාජමය පැළැන්තිය ද එක් එක් ජනකාන්ත භික්ෂුව විසින් තනා ගත් කඳවුරු තුළට ගාල්වනු දක්නට ලැබේ. මෙය සමාජ මානව විද්‍යා ක්ෂේත්‍රයන් හි නියුක්ත වූවන් ඇතුළු වත්මන් සමාජයේ බොහෝ විද්වතුන් ගේ මෙතෙක් අවධානයට ලක් නොවූ ; එහෙත් සංතීක්ෂණ අවධානයට යොමු විය යුතු බැරෑරුම් අර්බුදකාරී තත්ත්වයකි. මෙලෙස වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජයේ යම් යම් කොටස් එක් එක් ආගමික කඳවුරු වලට ගාල් වීමෙන් සාමයික සහජීවනය සුණු විසුණු කරන ආගමික කල්ලි (Cult) නමින් හඳුන්වන ප්‍රජා ඒකක හට ගැනීමේ පැහැදිලි අවදානමක් පැන නඟී.

එහි දී බුදු දහමේ මූලික හරයන් සම්බන්ධ අනවබෝධය ඔස්සේ එම භික්ෂුව ගේ මතවාද සහ ප්‍රකාශ පමණක් නියම දහම ලෙස පිළිගන්නා අන්ධ භක්තිකයෝ එම කල්ලිවාදයට නතුව එම භික්ෂුවට අනියමින් ශාස්තෘත්වයක් ද ප්‍රදානය කරනු දක්නට ලැබේ. එමෙන්ම ඔහුගේ මතවාද සහ ප්‍රකාශ පමණක් සත්‍ය වශයෙන් පිළිගන්නා එම අනුගාමිකයෝ එම භික්ෂුව සහ ඔහුගේ අතවැසි භික්ෂුන් සමඟ මිස පිටස්තර භික්ෂුන් සමඟ පවත්නා සියලු සහ සම්බන්ධතා අතහැරීම ද පෙළඹෙති. මේ වන විට මෙම තත්ත්වය අප සමාජය තුළ කොතෙක් ඔඩු දුවා තිබේද? යත් මේ වන විට එලෙස එක් එක් භික්ෂුන්ගේ ආගමික කල්ලි තුළම ගාල් වීම මත ඉන් බැහැර වූ බුදු සමයක් දැකීමට නොහැකි වූවන් ඔබට ද හමු වී තිබෙන්නට පුළුවන. මෙවැනි ආගමික කල්ලි පිහිටුවා ගන්නා ලොව පුරා බොහෝ ආගමික නායකයෝ මනෝ විද්‍යාත්මක සිද්ධාන්ත හදාරා නොමැති මුත් මානසික වශයෙන් තම අනුගාමිකයන් තමන් කෙරෙහි ආශක්ත කර ගැනීමේ කලාව සහජයෙන්ම දැන ඉගෙන සිටිති. ඒ අතරේ මානසික හා පෞරුෂ විෂමතා වලින් පෙළෙන්නෝ ද වෙති. අප සමාජයේ වෙසෙන ඉහත ගණයට අයත් ජනකාන්ත භික්ෂුන්ගේ කියුම් කෙරුම් අනුව ඔවුන් අතරේ ද එවැන්නවුන් හිඳින බවට සහේතුකව අනුමාන කිරීමට අපට පුළුවන. එසේ ඔවුන් තම අනුගාමිකයන් තමන් කෙරෙහි කෙතරම් දැඩිව ආකර්ෂණය කර ගන්නේ ද යත් එම තමන් දක්වන මතයට එරෙහි වන්නවුන් සමඟ ගැටුම් ඇති කර ගැනීමට පවා එම අනුගාමිකයන් පෙළඹෙනු ඇත. මෙය ලොව පුරා ආගමික කල්ලි තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එමෙන්ම මෙම බොහෝ ආගමික කල්ලි තුළ ඒවාට පමණක් පොදු වූ ආවේණික ව්‍යවහාරයන්, චාරිත්‍ර වාරිත්‍ර සේම සන්නාමකරණ ප්‍රවර්ධනයන් (Brand promotion) ද නොමඳව සිදු වනු දක්නට පුළුවන. මෙම වාතාවරණය තුළ මූලික බුදු සමයෙන් අනියමින් උකහා ගැනුණු ඇතැම් කොටස් මුල් කොට තම අනුගාමිකයන් ව්‍යුහගත කිරීම ඔස්සේ මෙම කණ්ඩායම් ලොව පුරා සමාජයට දැඩි අනර්ථයක් සිදු කෙරෙන මූලධර්මවාදී කල්ලි (Fundamentalist cult) ලෙස ප්‍රවර්ධනය වීමේ හැකියාවක් ද පවතී. ඒ අනුව වර්තමානයේ ජනකාන්ත බුදු සමය තුළින් කුළුගැන්වෙන ආගමික කල්ලි වැටී ඇති දිශානතියේ ගමනාන්තය අප බොහෝ දෙනකු සිතනවාට වඩා ඉතා අඳුරු සහ අභාග්‍ය සම්පන්න වීමට ඉඩ තිබේ. නමුත් ඒ සම්බන්ධයෙන් අප සමාජයේ ගිහි පැවිදි විද්වතුන් මෙසේ නිහඬ නිසොල්මන් බවක් පළ කිරීම එම ඛේදවාචකයක තවදුරටත් තීව්‍ර කරවන්නකි. තමන් වහන්සේ ගේ ශිලාමය චීවරයට උඩින් කහ රෙදි පෙරවීම ගැන අවුකන පිළිම වහන්සේ විසින් කරනු ලබන මෙම නිහඬ අනතුරු හැඟවීම සමස්ත ජාතියේම අවධානයට යොමු විය යුත්තේ එවන් පසුබිමක් යටතේ ය.

මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

advertistmentadvertistment
advertistmentadvertistment