හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට එරෙහි අධිචෝදනා බල රහිත කරන්නැයි ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අනිද්දා

970

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ගොනුකර නඩු පවරනු ලැබුවේ එකී අධි චෝදනා සනාථ කිරීමට ප‍්‍රමාණවත් සාක්ෂි ඇති බවට තීරණය කිරීමෙන් අනතුරුව බැවින් හිටි හැටියේ එම අධිචෝදනා ඉවත් කර ගැනීමට තීරණය කිරීම පක්‍ෂග‍්‍රාහී කි‍්‍රයාවක් වන්නේ යැයි නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (29 දා) අභියාචනාධිකරණයට පෙන්වා දුන්නේය.

එබැවින් නීතිපතිවරයාගේ එම තීරණය බල රහිත කරනා ලෙසද නීතිඥ නුවන් බෝපගේ මහතා, සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඬුල්ලෙන් ඉල්ලා සිටියේය. 2008 – 2009 වසරවලදී සුදු වෑන් භාවිත කරමින් තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු අධි චෝදනා යටතේ කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවේ 14 වැනි විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ඇති අධි චෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීම හෝ නොදීම සම්බන්ධයෙන් නියෝගය ලබන 01 වැනිදා නිකුත් කිරීමට විනිසුරු මඬුල්ල තීරණය කළහ. එකී පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති නීතිපතිවරයාට හා වසන්ත කරන්නාගොඩ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නොතීසි නිකුත් කිරීම සම්බන්ධයෙන් නියෝගය එදින නිකුත් කිරීමටද විනිසුරු මඬුල්ල එහිදී නියෝග කළේය. නීතිඥ අචලා සෙනෙවිරත්න මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නුවන් බෝපගේ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment