සමාජ මාධ්‍ය මර්දනය කරන්න රූකඩ කොමිසමකට බලය දීලා – පුබුදු ජයගොඩ

87

සමාජ මාධ්‍යවල අදහස් දැක්වීම පාලනය කිරීම සඳහා සැප්තැම්බර් 15 දින ගැසට් කරන ලද මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත ආණ්ඩුව ජනතාවට කෙතරම් බියවී සිටින්නේද යන්න ප්‍රදර්ශනය කරවන්නක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය. ඊයේ නුගේගොඩදී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කීවේය.

ඔහු මෙසේ ද කීවේය.

මේ පනතට අනුව සියලු මාර්ග ගත ක්‍රමවේද සහ සමාජ මාධ්‍ය පිළිබඳ තීරණ ගැනීමට බලය සහිත කොමිසමක් පිහිටුවනු ලබනවා. ඒ කොමිසමේ සාමාජිකයන් පස් දෙනාම පත් කරන්නේ ජනාධිපති. ඒ අයව ඕන වෙලාවක අස් කරන්නත් ජනාධිපතිට පුළුවන්. ඒ කොමිසමේ සභාපති පත් කරන්නේත් ජනාධිපති. ඒ කියන්නේ මේ කොමිසම ජනාධිපතිගේ රූකඩයක්. ඒ වගේම පනතට අනුව කොමිසමේ රැස්වීම්වල ඝන පූරණය තුන් දෙනයි. ඒකෙන් දෙන්නෙකුට තීරණ ගන්න පුළුවන්. ඒ කියන්නේ ජනාධිපති පත් කරන දෙන්නෙකුට පුළුවන් සමාජ මාධ්‍ය ගැන තීරණ ගන්න.

මේ පනතේ ප්‍රධාන වචනය තමයි තහනම් ප්‍රකාශන. මොනවද මේ තහනම් ප්‍රකාශ? ඒ විස්තරය කෙටුම්පතේ 12,13,14 වගන්තිවල සිට 23 වගන්තිය දක්වා තියෙනවා. මේ කියන විදියට අසත්‍ය ප්‍රකාශ තහනම් වෙනවා. යම් ප්‍රකාශයක් සත්‍යයද අසත්‍යයද කියලා තීරණය කරන්නේ ජනාධිපතිගේ රූකඩ කොමිසම. මොකද ඒ ගොල්ලෝ දෙවියන් වහන්සේගේ දේව දූතයෝද?

අනෙක මේකේ තියෙනවා ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට, මහජන සාමයට හානිකර ප්‍රකාශ තහනම් කියලා. මෙපමණ කළක් ජාතික ආරක්ෂාවට හානිකර වුණේ පාස්කු ප්‍රහාරය දැන ගෙනත් ඒක වෙන්න ඉඩ ඇරපු දේශපාලකයෝ, රාජ්‍ය ඔත්තු සේවා නිලධාරීන් වගේ කොටස්ද, නැතිනම් සමාජ මාධ්‍යවල ඒ ගැන ලියපු තරුණ තරුණියොද? මහජන සෞඛ්‍යයට ලොකුම තර්ජනය බාල බෙහෙත් ගෙන්වා

රෝගීන් මරණ, ඖෂධ ගැන දත්ත මකන මාෆියාවද? නැතිනම් ඒ ගැන ෆේස්බුක් එකේ ලියන අයද? මේකේ තියෙනවා රජයට එරෙහිව කැරළි ගැසීමට තුඩුදෙන ප්‍රකාශන තහනම් කියලා. ඒ ප්‍රකාශය මත පදනම්ව කැරැල්ලක් ඇති වුණොත් අවුරුදු 5ක් හිරේ. කැරැල්ලක් ඇති නොවුණත් අවුරුදු 3ක් හිරේ. මේවා පුදුම විහිළු. මේ කියන විදියට ආණ්ඩුව කරන කිසිදෙයක් ගැන ලියන්න කියන්න බෑ.
අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment