සල්ලි ලැබුණේ නෑ ඡන්ද පත්‍රිකා 20 දාට පෙර දෙන්න බෑ

162

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලූ මුදල් තාම ලැබී නොමැති නිසා ලබන 20 වැනිදාට පෙරාතුව තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට භාරදීමට නොහැකි වනු ඇතැයි මුද්‍රණාලයාධිතිනි ගංගානි ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.

දැනට ලබාගත් භාණ්ඩවල පවා මුදල් ගෙවාගත නොහැකිව ඇතැයි ද ඉල්ලා තිබෙන මුදල් ලැබෙන තෙක් කිසිදු දෙයක් කරගත නොහැකි තත්ත්වයක් මතුවී ඇතැයි ද ඒ මහත්මිය සඳහන් කළාය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපි යොමු කරමින් මුදලින් රුපියල් මිලියන 125ක් ඉල්ලා ඇතැයි ද එම මුදල ද ලැබී නැතැයි ද ඇය පැවසුවාය.

යම් හෙයකින් මුද්‍රණාලය ඉල්ලා තිබෙන මුදල් ලැබුණත් තැපැල් ඡන්ද පත්‍රිකා ටික මුද්‍රණය කිරීමට දින හතක කාලයක් යන බවද කී ඒ මහත්මිය අනෙකුත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දින 25ත් 30ත් අතර කාලයක් ගතවන බවද සඳහන් කළාය.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් වනතෙක් මුද්‍රණාලයේ ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් හැටදෙනකු ඉල්ලා තිබුණත් එම නිලධාරීන් ලබාදීමට දින හතරක පහක කාලයක් ගතවන බව පොලිස්පතිවරයා මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දී ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment