සියදිවි නසා ගැනීම හා ජනමාධ්‍ය අතර සම්බන්ධය

363

සියදිවි නසා ගැනීම තමන්ගේ ජීවිතය සිතාමතාම තමන් විසින්ම නැතිකර ගැනීමේ ක්‍රියාව ලෙස සරලව හැඳින්විය හැකිය. සමාජ විද්‍යාඥයන්ගේ නිර්වචනය වන්නේ එය පවුල් ව්‍යුහය හා අනෙකුත් සමාජ සාධකවලට බලපෑමක් ලෙස අවධානය කරයි. මනෝ විද්‍යාඥයන් එය පුද්ගල ගති ලක්ෂණ හා චර්යා රටාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස විග්‍රහ කරයි. මේ සියලු නිර්වචනයන්ගෙන් ගම්‍ය වන්නේ මෙය පුද්ගලයා තුළ ඇති වන ඉච්ඡාභංගත්වයේ උච්ඡතම අවස්ථාවක් ලෙසය. සියදිවි නසා ගැනීමෙන් සාමාජීය පුද්ගලයකු අහිමි වනවා පමණක් නොව එය තම පවුලේ සාමාජිකයන්ගේ හෝ වෙනත් සමාජ කණ්ඩායම්වලට ද පොදුවේ මුළු මහත් සමාජයට ද අහිතකර බලපෑම් ඇතිකරවන්නකි. පුද්ගලයා සමාජයත් සමඟ ගැටීමේදී මුහුණ දීමට සිදුවන මානසික අසහනයන්, ආර්ථික අපහසුතා, විරැකියාව, අඩු සමාජ තත්ත්ව, තරුණ වයසේ ප්‍රචණ්ඩත්වය ආදී භෞතික සාධක මෙන්ම සමාජීය සාධකද මෙම පීඩනයට හේතු වී ඇත. ජීවිතයට එල්ලවන අභියෝග දරාගනිමින් ජීවිතයට නොබියව මුහුණදෙන පිරිසක්ද සියලු බාධක සඳහා එකම විසඳුම තම දිවිය නසාගැනීම යැයි සිතන පිරිසක් ද ජීවත් වෙති.

1995-96 කාලයේ සියදිවි නසා ගැනීම් සම්බන්ධව ලෝකයේම පළමුවෙන් හා දෙවැනි ස්ථානවල සිටි ශ්‍රී ලාංකීය සමාජය අද වන විට රට තුළ සියදිවි නසා ගැනීම් වර්ධනය අඩු වුවද ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව තවමත් ඉහළ අගයක පවතී. ලාංකීය සමාජය තුළ වර්ෂයකට අවම වශයෙන් සියදිවි නසා ගැනීම් තුන් දහසක් පමණ නිල වශයෙන් වාර්තා වෙයි.

සියදිවි නසා ගැනීම සඳහා ප්‍රබල ලෙසම බලපානු ලබන්නේ තම සිතේ නැගෙන ඉවසාදරා ගත නොහැකි වෛරය, අපේක්ෂාභංගත්වය හෝ ඉඡ්චාභංගත්වය වැනි තත්ත්වයන්ය. එලෙසම තමාගේ ජීවිතය තව දුරටත් වැදගත් නොවේ යැයි යන හැඟීම, වේදනාකාරී රෝග, සබඳතා බිඳවැටීම, මානසික ආතතිය, කාංසාව වැනි තත්ත්ව මූලික වශයෙන්ම හේතුවෙයි. 19 වන සියවසේදී බොහෝවිට සියදිවි හානි කර ගැනීමේදී උපයෝගී කරගත් ජනප්‍රියම ක්‍රමය වූයේ ගෙල වැලලා ගැනීමයි. ගිනි අවි භාවිතා කිරීම, පිහි කඩු කිනිසි ආදියෙන් කපා ගැනීමත්, වස පානය කිරීම අනාරක්ෂිත වැව් ළිංවලට පැණීම සුලභ වශයෙන් යොදාගන්නා ක්‍රම වේ.

තමාට ලැබූ වටිනා ජීවිතය අහිමි කරගැනීමට කුමන උපක්‍රමයක් භාවිතා කළද එතුළින් සැනසිලිදායක මරණයක් පුද්ගලයාට අත්නොවේ. පුද්ගලයන් සියදිවි නසාගැනීම කෙරෙහි ජනමාධ්‍යයේ ඇති බලපෑම දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. වර්තමාන ග්‍රාහක ප්‍රජාව මාධ්‍යයේ ඉත්තන් බවට පත්ව ඇත. ජනමාධ්‍ය පාලනය කරනු ලබන්නේ පුද්ගලයා නොව, පුද්ගලයා පාලනය කරනු ලබන්නේ ජනමාධ්‍යය යි. ඔවුන් තමාට අවශ්‍ය අවශ්‍යතා පසෙකලා ජනමාධ්‍යයේ අවශ්‍යතා ඉෂ්ට කරන පාරිභෝගිකයන් පිරිසක් නිර්මාණය කර අවසන්ය. පුද්ගලයා සියදිවි නසා ගැනීම කෙරෙහි පුද්ගලයා වටා තිබෙන පරිසරයද බලපාන බව වෛද්‍යවරුන් මනෝ වෛද්‍යවරුන්ගේ අදහසයි. ඒ අනුව ජනමාධ්‍යයේ හැසිරීම හා සියදිවි නසා ගැනීමට පෙළඹවීම සඳහා ඇති ඉඩකඩ පිළිබඳ පුද්ගලයාට අවබෝධයක් ලබාදීම ඉතා වැදගත් වේ.

ජනමාධ්‍ය යන්නට පුද්ගලයා නිතර තොරතුරු ලබාගන්නා මාධ්‍යයන් අයත් වෙයි. රූපවාහිනිය ගුවන්විදුලිය, පුවත්පත, අන්තර්ජාලය, දුරකථනය ආදී මාධ්‍ය ග්‍රාහකයාට සන්දේශ සම්ප්‍රේෂණය කරයි. මේ කියන්නා වූ සියලු මාධ්‍ය සංදේශ ඉදිරිපත් කරනුයේ කිසියම් බලපෑමක් සිදුකිරීමටය. එහිදී එය ධනාත්මක බලපෑමක් සහ ඍණාත්මක බලපෑමක් විය හැකිය. මිනිසා නිරායාසයෙන්ම ඍණාත්මක දෑ අනුකරණය කිරීමට පෙළඹෙයි. තාක්ෂණික ලෝකයේ පුද්ගලයා තම තමන්ගේ ලෝක තුළ හුදකලා වී සිටිති. ඔවුන් මාධ්‍යයෙන් ලබාදෙන සෑම සංදේශයක්ම ග්‍රහණය කරගනුයේ තමාගේ මතයේ සිටය. සියදිවි නසාගැනීම් බොහෝවිට සිදුවන්නේ එක් පුද්ලගයකු විසිනි. ඇතැම් විට පුද්ගලයන් දෙදෙනකු කතාබහ කොට සියදිවි නසා ගන්නා අවස්ථාද නැත්තේ නොවේ. මේ කුමන අවස්ථාවකදී හෝ අනුකරණය නිසා සිදුවීමට ඇති ප්‍රවණතාවය අධිකය. සාමූහික වශයෙන් අනුකරණය කිරීමේ ක්‍රියාවලියක් ලෙස ඇතැම් සියදිවි නසා ගැනීම් සිදුවීමේදී එයට වඩාත් බලපා ඇත්තේ ආගමික විශ්වාස කල්ලි හෝ ජනමාධ්‍යයේ බලපෑමය. විශේෂයෙන්ම තරුණ තරුණියන් බාලවයස්කාර ළමුන් සියදිවි නසා ගැනීම් ලැයිස්තුවල ඉහළින්ම සිටියි. එහිදී ජනමාධ්‍ය තුළින් සියදිවි නසා ගන්නා දර්ශනයක් ප්‍රවෘත්තියක් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමේදී යථා ජීවිතයේදී එවැනි කිසියම් මානසික පීඩනයක් ගැටලුවක් ඇති අයෙක් සියදිවි නසා ගැනීමට පෙළඹීමට ඉඩතිබේ.

බොහෝ විදේශීය චිත්‍රපට තුළ මෙම දර්ශන අපේ නෙත ගැටෙයි. එවැනි සියදිවි නසා ගැනීම් සමාන්‍ය සිද්ධියක් සේ දක්වයි. එයින් පසුව දුක්වන මුහුණු කිසිදු වේදනාවක් නොමැතිව මියගිය බවක් වීරත්වයක් වැනි හැඟීමක් ග්‍රාහකයා තුළ රෝපණය කිරීමට කටයුතු කරයි. යථාර්ථයේ සිදුවන සියදිවි නසා ගැනීම් හා නාට්‍ය චිත්‍රපටවල ඇති ප්‍රබන්ධක කථා වස්තූන්හි ඇති සියදිවි නසා ගැනීම් අතර වෙනස පිළිබඳ පුද්ගලයාට එතරම් අවබෝධයක් නොමැත. වත්මන් තරුණ පරපුර ජනමාධ්‍ය අන්තර්ජාලය හමුවේ සොම්බියන් බවට පත්වී ඇත. දෙමාපියන්ට තමාගේ දරුවාට හරි වැරැද්දක් කියා දීමට උපදෙසක් දීමට නොහැකි වී තිබේ. තම දරුවා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඔවුන්ගේ ජීවිතයට කුමන හෝ අනතුරක් කරගනීවි යැයි බියකින් බහුතරයක් දරුවන් ඉදිරියේ දෙමාපියන් නිහඬය. මීට මසකට පමණ පෙර තම මිත්තණිය බාලවයස්කාර දියණියගේ දුරකථනය තමා සන්තකයෙහි තබාගත්තා යැයි මිත්තණිය සමඟ සිත කලකිරී වෛරයෙන් තම නිවසේ ගෙල වැලලාගෙන තම ජීවිතයෙන් වන්දි ගෙවූ දියණියක් පිළිබඳ වාර්තා විය. නිමවූ සතිය තුළ මහරගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු දහසයක බාලවයස්කාර දියණියන් දුම්රියට පැන සියදිවි හානි කරගැනීමේ සිද්ධියක් වාර්තා විය. මේ සියල්ල පිටුපස අදිසි බලවේගයක් ලෙස ජනමාධ්‍යයේ මැදිහත්වීම තිබීම නොරහසකි.

පුද්ගලයා සියදිවි නසා ගන්නා ආකාරය හා ස්ථානය පිළිබඳ උනන්දුවක් ඇතිකරවන ආකාරයේ තොරතුරු වාර්තාකරණයට ජනමාධ්‍ය පෙළඹෙයි. එමගින් එවැනි ක්‍රම පිළිබඳව ස්වල්ප දැනුමක් හෝ නැති අයෙක්ට පවා උනන්දුවක් නිරායාසයෙන්ම ඇති වෙයි. චමත්කාර ඡායාරූප හෝ කථා වස්තූන්ට මුල් තැන දීම එවැනි තත්ත්වයකට තමාද පත්වීමේ ආශාව ඇති වීම ආදී මානසික තත්ත්යක් පුද්ගලයාට ඇති විය හැකිය. චිත්‍රපට, ටෙලිනාට්‍ය, ගීත ප්‍රේක්ෂකයා ජීවත්වන සමාජයේ යථාර්ථය නිරූපණය කිරීමට කටයුතු කරයි. ඒ පෙන්වන චිත්‍රපටයක් තුළ තම ජීවිතයට පැමිණෙන සියලු ප්‍රශ්න සඳහා ඇති එකම විසඳුම තම දිවි අහිමිකර ගැනීම බව හුවා දක්වයි. එලෙසම ප්‍රවෘත්ති වාර්තාකරණයේදී මාධ්‍ය සදාචාරාත්මක ලෙස පුවත් වාර්තාකිරීම කළයුතුය. මරණය සිදුකරගත් ආකාරය වීඩියෝ මගින් පෙන්වීම, එය සිදුකරගත් ආකාරය සවිස්තරාත්මකව වාර්තා කිරීම. සියදිවි නසාගත් පුද්ගලයා වෙත වීරත්වයක් ආරෝපණය කිරීම වැනි පාඨකයාගේ ආකර්ෂණයක් ඇති වන ආකාරයට වාර්තාකිරීම් සිදුකිරීමට මාධ්‍ය පෙළඹේ.

වර්තමාන ආර්ථික තත්ත්වය සමාජ තත්ත්වය හමුවේ පුද්ගලයා සිටිනුයේ වේදනාකාරී පීඩනයකිනි. තරුණ තරුණියන් ගැටලු හමුවේ ක්‍රියාකරන ආකාරය අභියෝගයන්ට අභියෝග කරන ආකාරය පිළිබඳ කුසලතාවය කෙමෙන් කෙමෙන් ඔවුන්ගෙන් දුරුවී ඇත. මිනිසාට අවශ්‍ය කරනුයේ සැනසීමත් නිදහසත් සතුටත්ය. යමෙක් ජීවිතය නැති කිරීම තුළින් ප්‍රශ්න සඳහා විසඳුම් සොයනවා නම් පුද්ගලයා පමණක් සියදිවි නසා ගැනීමෙන් වැළැක්වීම ප්‍රමාණවත් නොවේ. එවැනි පිළිකුල් සහගත සිදුවීම් තවමත් පවතින්නේ නම් එවැනි සියදිවි නසා ගැනීමට ඇති ප්‍රවණතාවය අධික විය හැක. එම නිසා ජනමාධ්‍යයේ කාර්යය භාර්යය වන්නේ සෑම විටම පුද්ගලයාගේ මානසික මට්ටම ධනාත්මක සිතිවිලි තුළින් පෝෂණය කිරීමය. එය පුද්ගලයා නැවත ජීවත්කරවීමේ අභිප්‍රේරණයක් විය හැකිය. එය සමාජ වගකීමක් ද වේ.

සත්‍යාංජලී ජයසිංහ
කැලණිය විශ්වවිද්‍යාලය
සංස්කරණය – වසන්ත ලියනගේ

advertistmentadvertistment
advertistmentadvertistment