සුලෝහිත සංග්‍රාමය මාර්තු 2 සහ 3

98

කොළඹ ආනන්ද විදුහල සහ නාලන්දා විදුහල අතර 94 වැනි වරටත් සංවිධාන කරන සුලෝහිත සංග්‍රාමය මහා ක්‍රිකට් තරගය එළැඹෙන මාර්තු මස 2 සහ 3 දෙදින කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.

මීට සමගාමීව දෙවිදුහල් අතර එක්දින තරගය මාර්තු 17 වැනිදා එස්. එස්. සී. පිටියේදීම පැවැත්වීමට කටයුතු යොදා ඇත.

වසර 93ක් පමණක් මේ තරගය පැවැත්වුවද මේ තරගය අරම්භ වී මේ වසරට සියක් වසරක් සම්පූර්ණ වීම විශේෂත්වයකි. විවිධ හේතුන් මත වසර කිහිපයක් තරගය සංවිධාන කර නොමැති අතර, එසේ නොවන්නට මෙවර 100 වැනි තරගය පැවැත්වීමට අවස්ථාව තිබිණි.

මෙරට ක්‍රිකට් වංශකතාවේ පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස නාලන්දා විදුහල් පුත් බන්දුල වර්ණපුර ඉතිහාසයට එක් වන අතර, ලෝක කුසලානයක් දිනාගත් පළමු නායකයා ලෙස ආනන්ද විදුහල් පුත් අර්ජුන රණතුංග ඉතිහාසට එක්ව සිටී. එදා මෙදා ඉතිහාසයේ වැඩිම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් බිහිකිරීමේ ගෞරවය හිමිව තිබෙන්නේ ද ආනන්ද – නාලන්දා දෙවිදුහලටයි. 1996 වසරේ ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ වැඩිම පිරිසක් ආනන්දයෙන් හා නාලන්දයෙන් බිහිවූ ක්‍රීඩකයන් වීම සුවිශේෂ සිදුවීමකි. ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවති අතර, එම අවස්ථාවේදී 94 වැනි සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් දෙවිදුහල් ඒකාබද්ධ කමිටුවක් එක්ව එම කමිටුවට හා තරගාවලියට නව නිල ලාංඡනයක් එළි දැක්වීම සිදුවිය. මේ අවස්ථාවට ආනන්ද විදුහලේ විදුහල්පති ඩී. එම්. එල්. දිසානායක, නාලන්දා විදුහල්පති ඊයන් චම්පික සිල්වා මහත්වරු ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ආනන්ද – නාලන්ද ක්‍රිකට් ක්‍රීඩකයන් වන අරජුන රණතුංග, සිදත් වෙත්තමුණි, රොෂාන් මහනාම, බ්‍රෙන්ඩන් කුරුප්පු, චරිත් සේනානායක, මහේල ජයවර්ධන, කුමාර ධර්මසේන ඇතුළු ක්‍රීඩයකයන් රැසක් ද මේ අවස්ථාවට එක්වූහ.

ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment