හිස් රටක් වෙනුවට උසස් රටක්!

81

“මම රටට සේවය කරන්න කැමැතියි. නමුත් අපේ ව්‍යවස්ථාව අනුව මට ආපසු පාලනය කරන්න බැහැ. මම ඇත්තටම හිතනවා මම හොඳ ජනාධිපතිවරයෙක් කියලා. මට ඕන නම් ආපහු බලයට එන්න පුළුවන්. ඒත් මට බැහැ. ඇමරිකාව සංවර්ධනය කරන්න පුළුවන් ගොඩක් අදහස් මට තියෙනවා. නමුත් නීතිය නීතියමයි. කිසිම කෙනෙක් නීතියට උඩින් නැහැ. අඩුම තරමේ ජනාධිපතිවත්.

මම අවංකව දෙයක් කියන්නම්. මම බලාපොරාත්තු වෙන්නේ මගේ විශ්‍රාම දිවිය ගැන. මට මේ තරම් ලොකු ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉන් අදහස් වන්නේ මට නිදහසේ ඇවිදින්න පුළුවන් කියන එක. මට මගේ පවුලේ අයත් එක්ක නිදහසේ ගත කරන්න පුළුවන්. මගේ රටට සේවය කරන්න පුළුවන් වෙනත් විදිහක් ගැන හිතන්න පුළුවන්. ඒත් මට තේරෙන්නැත්නේ ඇයි මින්ස්සු මේ තරම් බලයට කෑදර කියලා. විශේෂයෙන් ඔවුන්ට විශාල ධනස්කන්දයක් තිබියදීත්. ඔබ දැකලා ඇති සමහර නායකයෝ කියනවා මම තමයි මේ රට ගොඩ නගන්න සුදුසු එකම කෙනා කියලා. අවාසනාවට ඔවුන් කවදාවත් ඒ රට ගොඩ නගලා නෑ. නෙල්සන් මැන්ඩෙලා, ජෝර්ජ් වොෂින්ටන් වැනි නායකයෝ ගතහොත් ඔවුන් රටට කළ සේවය අති මහත්. ඒ වගේම තමන්ගේ සේවය අවසන් වූ පසු ඔවුන් බලය අත හැරියා.

“කවුරුවත් ජීවිත කාලෙටම ජනාධිපති විය යුතු නැහැ. රටකට සෙතක් වෙන්නේ අලුත් අදහස් වලින් විතරයි. මමත් තරුණයෙක් වුණත් මම දන්නවා මට වඩා තරුණ හොඳ දැක්මක් ඇති අයෙක් ඇති කියලා. ඔහු මගේ රටට සේවය කරාවි”

මෙහෙම කීවේ බැරැක් ඔබාමා. ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරුණු වාර දෙකක ජනාධිපති ධුරය හිමි කර ගැනීමෙන් පස්සේ ජනතා ප්‍රසාදය මැද ඔහු දේශපාලනයෙන් සමු ගත්තා. ඉන් අනතුරුව ඔහු ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ නොවී රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරමින් ඉන්නවා.

දේශපාලනඥයකුගේ සිහිනයේ ඉහළම ඉලක්කය වන්නේ රටේ නායකයා බවට පත්වීම. ඒ සිහිනය ජය ගැනීමෙන් අනතුරුව විවිධ උපක්‍රම භාවිත කරමින් නැවත බලය උදෙසා දේශපාලනය කිරීම මොන තරම් අමනෝඥ ක්‍රියාවක් ද කියලා ඉතිහාසයේ ඕනෑ තරම් පාඩම් තිබෙනවා.

නිදහසෙන් පසු ඉක්ම ගිය දශක හතකට වැඩි කාලය තුළ අපේ රට අද සිටින තත්ත්වය පිළිබඳව හෘද සාක්ෂියක් ඇති ඕනෑම කෙනෙකුට ඇත්තේ බලවත් කනගාටුවක්.

ඉන්දියන් සාගරයේ අපූර්ව මුතුඇටය අද වන විට සහමුලින්ම කඳුළු සලන පාරාදීසයක් බවට පත්ව ඇත්තේ බලලෝභී දේශපාලනය අවාසනාවන්ත ඛේදවාචකය නිසයි.

අවස්ථාවාදී දේශපාලනය තුළ පක්ෂ පාට විතරක් නෙමේ ජාති ආගම් කුල මල ලෙස බෙදීමේ ඉරණම අද වන විට ලියැවී ඇත්තේ බංකොලොත් වූ රටක් කියන නාමකරණය ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් සටහන් වීමෙනුයි.

ජනගහනයට සාපේක්ෂව දකුණු ආසියාවේ ඉහළම මන්දපෝෂණය පවතින රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ‘ලෝකයේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය 2017’ වාර්තාවල සඳහන් වෙනවා. ඔවුන්ගේ වාර්තා අනුව ළමයින්, කිරි දෙන මව්වරුන් ගර්භනී කාන්තාවන් මන්දපෝෂණ තත්ත්වයන්ට ගොදුරු වූ පිරිස අතර ප්‍රමුඛ ස්ථානය ගන්නවා.

අධ්‍යාපනය, සෞඛ්‍ය, ඇතුළු සියල්ල අද ඉතාම අවාසනාවන්ත ලෙස කඩාගෙන වැටිලා. මෑත යුගය තුළ බංකොලොත් වෙච්ච රටවල් තුනක් දිහා හැරිලා බැලුවම රටක් බංකොලොත් වෙන්නේ කොහොමද කියන එක ගැන ඉතාම අපූරුවට නිදර්ශන ගන්න පුළුවන්.

රොබට් මුගාබේ ජනාධිපතිවරයා දශක 4කට ආසන්න කාලයක් පුරා ගෙන ගිය දූෂිත පාලනය නිසා සිම්බාබ්වේ බංකොලොත් වුණා. 1980 සිම්බාබ්වේ මහා මැතිවරණයේ දී සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික එකමුතුව, දේශප්‍රේමී පෙරමුණ නම් පක්ෂයෙන් සටනට පිවිසි රොබට් මුගාබේ වැඩි ආසන ප්‍රමාණයක් ලබා ගෙන අගමැති තනතුරට පත් වුණා. 1987 දී සිම්බාබ්වේ ව්‍යවස්ථාව වෙනස් කළ මුගාබේ විධායක බලතල සහිත ජනාධිපති තනතුරක් ඇති කළා. 1987 දෙසැම්බර් 30 වැනිදා මුගාබේ එම තනතුරට පත් වුණා.

එතැන් සිට ඔහු ඒ මනරම් රට බංකොලොත් කළා. සිම්බාබ්වේ ආණ්ඩුව තව තවත් මුදල් අච්චු ගැසුවා. අයහපත් කළමනාකරණය හේතුවෙන් නිෂ්පාදන අඩපණ වුණා. ඩොලර් ටි්‍රලියන 100 මුදල් නෝට්ටුවක් පවා අච්චු ගැසීමට ඔවුන්ට සිදු වුණා.

චාවේස් 2013 දී මරණයට පත්වීමෙන් පසු ගෙවුණු වසර 9ක කාලය තුළ වෙනිසියුලාවේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. අද ඒ රට බංකොලොත්.

1975 වන විට ආජන්ටිනා ආර්ථික අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළ සෙලෙස්ටිනෝ රොද්‍රිගෝ හඳුන්වා දුන් දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ආර්ථිකය කඩා වැටුණා. අද ආජන්ටිනාව බංකොලොත්.

අවාසනාවකට මෙන් ලංකාව අද මුහුණ දී සිටින්නේත් මේ අතිශය බිහිසුණු අවාසනාවන්ත තත්ත්වයට.

තායිලන්තය, කොරියාව වගේ රටවල් අවුරුදු 57කට පසු දැවැන්ත ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තියෙනවා.

ඒ වගේම සිංගප්පූරුව, ස්පාඥ්ඥය, ජපානය වැනි රටවල් විශාල ආර්ථික වර්ධනයක් ඇති කරගෙන තියෙනවා.

නමුත් අපේ රට බරපතළ කඩාවැටීමකට පත්වෙලා තියෙනවා. හැමදාමත් අපේ රටට තිරසාර ජාතික වැඩපිළිවෙළක් අහිමි වුණා. පටු දේශපාලන අවස්ථාවාදය නිසා බොහෝ ව්‍යාපෘති ලොප් වුණා.

නිදහසින් පසු වැඩිම කාලයක් අපි ගත කළේ යුද්ධ සහ බලහුවමාරුවේ අරගල එක්ක. තුන් කල් දකිමින් ඉදිරිපත් වූ වැඩසටහන් නොතිබුණා නොවේ. එහෙත් ඒවා සාක්ෂාත් කරගැනීමට පැමිණි පටු බාධාවන් අපමණයි.

එදා අපට නිදහස හිමිවනවිට ඩී. එස්. සේනානායකයන් කී ප්‍රකාශය උදාරයි. සිංහල දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කාටත් උරුම රට ලෙස ඔහු ඉතාම පවිත්‍ර අදහසක් ගෙනාවා. එහෙත් ඒ අනභිභවනීය ප්‍රකාශය යථාවක් කිරීමේ ඉඩහසර අවස්ථාවාදය විසින් අහිමි කළා.

රටකට මෙහෙම ඉදිරියට යන්න බැහැ කියන සත්‍ය අද ඔප්පු වෙලා තියෙනවා. අපි හැමෝම ජීවත් වන කෙටි කාලය ඇතුළේ බෙදී වෙන් වෙලා කිසිම ජයග්‍රහණයක් අත්පත් කරගන්න බැහැ. මතු පරම්පරාව වෙනුවෙන් රටක් අපිට එහෙම නිර්මාණය කරන්න බැහැ.

යල්පැනපු, පුස්කාපු, ගල් යුගයේ අදහස් වලින් මේ රට අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බැහැ. ඒ ඇත්ත දශක ගාණක් තිස්සේ ඔප්පුවෙලා තියෙනවා.

උප්පත්තියෙන් කිසිම කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වෙන්නෙ නෑ කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. අසල්වැසියාට ප්‍රේම කරන්න කියලා ජේසුස් වහන්සේ දේශනා කරලා තියෙනවා. නබිනායකතුමා ගත්තත්, හින්දු ආගමික ශාස්තෘවරුන් ගත්තත් එය සෑම ධර්මයකින්ම කියන්නේ සෑම මනුස්සයෙක්ම එක හා සමානයි කියන එක. නමුත් ප්‍රායෝගිකව ඒක එහෙම සිද්ධ වෙනවද ?.

හැම ආගමකින්ම කියලා දෙන සහනශීලී පිළිවෙත මිනිස්සු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවද ?. ප්‍රතිවිරුද්ධ මත වලට පිබිදෙන්න අපේ රටේ ඉඩක් තිබෙනවා ද ?

සමහර නායකයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීම වෙනුවෙන් අවස්ථාවාදී තීන්දු ගත්තා. සමහර නායකයෝ තමන් තුළ තියෙන ජාතිවාදී ගති ලක්ෂණ නිසාම අවස්ථාවාදී තීන්දු ගත්තා. සමහර නායකයෝ තමන්ගේ බලය තහවුරු කරගැනීම වෙනුවෙන් අවස්ථාවාදී තීන්දු ගත්තා. සමහර නායකයෝ තමන් තුළ ඇති මුග්ධ, මෝඩ උද්දච්චකම නිසා අවස්ථාවාදී තීන්දු ගත්තා.

ඒ හැම තීන්දුවකින් ම රටක් හැටියට අපි ජීවිත දහස් ගාණකින් වන්දි ගෙවන තැනට පත්වුණා. නිදහස ගත්ත දවසේ ඉඳලා අද දවස දක්වාම අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට ජීවත්වෙන්න බැරි වෙලා තියනව.

වෛවර්ණ මිනිස්සුන්ගේ එක එක සංස්කෘතීන්ට ගරු කරමින් ඔවුන්ගේ අනන්‍යතාවට ඉඩ දෙමින් එකම රටක් ඇතුළේ ශ්‍රී ලාංකිකයෝ විදිහට හිට ගන්න අපිට තාමත් බැරිවෙලා තියෙනවා.

අපි ඉදිරියේ තිබෙන අභියෝගය කුමක්ද ?

වෙන කිසිවක් නෙවේ, සියලු මිනිසුන් ශිෂ්ටසම්පන්න අරමුණක් උදෙසා එකට එක් කර ගැනීමයි.

● ඉම්තියාස්  බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment