39 වසරකට පසු මොස්කව් උළෙලට තේරුණු සිංහල චිත්‍රපටය ‘මාරියා’

394

වසර 39 කට පසු ශ්‍රී ලාංකික චිත්‍රපටයක් මොස්කව් අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබේ. අරුණ ජයවර්ධන විසින් තිර රචනයකොට අධ්‍යක්ෂණය කළ “මාරියා” එම චිත්‍රපටය යි. ලබන 26 වැනි දින සිට සැප්. 02 වැනි දින දක්වා රුසියාවේ මොස්කව්හි පැවැත්වෙන 44 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තරගකාරී අංශයෙහි “මාරියා” (ඕෂන් ඒන්ජල්) චිත්‍රපටය අන්තර්ජාතික මංගල දැක්ම ලෙස මෙම මස 30 වැනි දින තිරගත වේ. ලොව පැරණිතම හා ප්‍රධානතම චිත්‍රපට උළෙලක් වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට මීට පෙර සුදුසුකම් ලබා තිබූ ශ්‍රී ලාංකික චිත්‍රපට වන්නේ 1976 දී ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ “එයා දැන් ලොකු ළමයෙක්” හා 1983 වර්ෂයේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් අධ්‍යක්ෂණය කළ “යුගාන්තය” යන චිත්‍රපට දෙකයි.

39 වසරකට පසු මොස්කව් උළෙලට තේරුණු සිංහල චිත්‍රපටය 'මාරියා'
අරුණ ජයවර්ධන

ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ලෙස අරුණ ජයවර්ධනගේ “මාරියා” මොස්කව් ජාත්‍යන්තර උළෙලේ තරගකාරී අංශයේ තිරගත වන්නේ වසර 39කට පසුව වීම විශේෂත්වයකි. “එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපටයේ රඟපෑ මාලිනී ෆොන්සේකා එහි රංගනය වෙනුවෙන් එම උළෙලේදී ඩිප්ලෝමා සහතිකයක් දිනා ගැනීමට සමත් වූවා ය. තවද 1978 දී ධර්මසේන පතිරාජගේ “බඹරු ඇවිත්” හා 2013 දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “ඔබ නැතුව ඔබ එක්ක” යන චිත්‍රපට මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තරගකාරී නොවන අංශය නියෝජනය කොට ඇත.

මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, දසුන් පතිරණ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර හා සුරන් දසනායක මාරියා හි චරිත නිරූපණයේ යෙදෙති. චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් ද ඩිලන්ත පෙරේරා සංස්කරණයෙන් ද අසංක වික්‍රමසිරි වර්ණ සංයෝජනයෙන් ද මැක්ලේන් ඇඩම්ස් සහාය කැමරාකරණයෙන් ද දායක වන “මාරියා” සංගීතය චින්තක ජයකොඩි විසිනි. සශික රුවන් මාරසිංහ ශබ්ද සැලසුම් ශිල්පියා ය. කලා අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්න වන අතර අංග රචනය ප්‍රියංක රත්නායක ය. මුහුද මැද ට්‍රෝලර් යාත්‍රාවක සම්පූර්ණයෙන්ම රූගත කළ හා කිසිදු ස්ත්‍රී චරිතයක් නොමැති “මාරියා” චිත්‍රපටයට පාදක වන්නේ ඉන්දුනීසියානු ධීවරයන් පිරිසක් මුහුණ දුන් සත්‍ය සිදුවීමකි.

දේශීය හා අන්තර්ජාතික චිත්‍රපට උළෙල කිහිපයකදීම සම්මානයට පාත්‍ර වූ “නිකිණි වැස්ස” අරුණ ජයවර්ධනගේ ප්‍රථම සිනමා නිර්මාණය වන අතර “මාරියා” ඔහුගේ දෙවන නිර්මාණයයි. සම්මාන උළෙලට සහභාගි වීම පිණිස මාරියා චිත්‍රපටයේ නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වා සමග ලබන 28 වැනි දින මොස්කව් බලා දිවයිනෙන් පිටත්ව යන බව අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන දිවයින සිනමා කලා සංග්‍රහයට පැවසීය.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment