CID පිරිසක් ඇතුළු කල්ලියක් – දෙමටගොඩ රුවන්ට ඇප ගන්න කෝටි 1 1/2ක් අල්ලස් අරන් – කල්ලිය අල්ලන්න විමර්ශන

1505

බන්ධනාගාර ගත කර සිටි දෙමටගොඩ රුවන් නමැති ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට ඇප ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 150 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් යොදවා වහාම විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

මෙම අල්ලස් මුදල ලබාගත් සංවිධානාත්මක කණ්ඩායමේ ප‍්‍රධානියා රජයේ ප‍්‍රධාන පෙළේ අමාත්‍යවරයකුගේ සමීපතමයකු වන අතර එම පුද්ගලයා අමාත්‍යවරයා සමග පසුගියදා විදේශ සංචාරයක පවා නිරතවී ඇති බව වාර්තා වෙයි.

ආරංචි මාර්ග පවසන්නේ එම සංචාරයේදී අමාත්‍යවරයාට විනෝදවීම සඳහා අත දිගහැර වියදම් කර ඇත්තේ කුඩු රුවන්ගේ පුත‍්‍රයාගෙන් ලබාගත් අල්ලස් මුදල්වලින් කොටසක් බවයි.

දෙමටගොඩ රුවන්ගේ පුත‍්‍රයා ඉකුත් දා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේදී ලබා දුන් ප‍්‍රකාශයකදී මෙම අල්ලස් මුදල් ලබාදීම සම්බන්ධයෙන් කරුණු හෙළිදරව් වී තිබිණි.

මේ අතර අදාළ අල්ලස් මුදල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඇතුළු සංවිධානාත්මක කණ්ඩායමක් වෙත ලබා දෙන ලෙස කුඩු රුවන්ගේ පුත‍්‍රයාට උපදෙස් ලබාදී ඇත්තේ රාජ්‍ය ආයතනයක සභාපතිවරයකු ලෙස මෑතකදී පත් කෙරුණු ආන්දෝලනාත්මක සිදුවීමකට මුල්වූ පුද්ගලයකු විසින් බව ද වාර්තාවේ.

කුඩු රුවන්ගේ පුත‍්‍රයා ලබාදුන් කටඋත්තරයේ මෙම ආන්දෝලනාත්මක චරිතය පිළිබඳව හැඳින්වීමක් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

බත්තරමුල්ල ප‍්‍රදේශයේ සුපිරි හෝටලයකදී සහ කොළඹ ගාලූ මුවදොර ප‍්‍රදේශයේ අවන්හලකදී මෙම කෝටි එකහමාරක මුදල් කොටස් වශයෙන් ලබාදී ඇති බව ද අනාවරණය වී ඇත.

මෙම මුදල් ලබාදී ඇත්තේ කුඩු රුවන්ගේ පුත‍්‍රයා විසින්ය.

භාරත ලක්ෂ්මන් මහතා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වැරදිකරුවී මරණ දඬුවම ලබාදී සිටින දෙමටගොඩ චමින්ද නමැති පාතාල සාමාජිකයාගේ වැඩිමහල් සොහොයුරු වන වන කුඩු රුවන් කොළඹ ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව පොලිසිය පවසයි.

මීට මාස කිහිපයකට උඩදී කුඩු රුවන්ගේ දෙමටගොඩ පිහිටි නිවස වැටලූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් එහි තිබී රුපියල් කෝටි ගණනක වටිනා වාහන රන් ආභරණ ඇතුළු දේපොළ සොයාගෙන තිබිණි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment