අනුරාධපුර රෝහලේදී ඝාතනය කළ පුද්ගලයාටදින 2කට පෙර පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

763

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කපා කොටා ඝාතනයට ලක් කළ පුද්ගලයාට, ඊට දින දෙකකට පෙර පහරදී තුවාල සිදු කළ කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු පෙරේදා (1දා) අත්අඩංගුවට ගත් බව මැදවච්චිය පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ටෙලිකොම් පාර, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු සහ මැදවච්චිය ගොවිජන සේවා පාරේ පදිංචි 23 හැවිරිදි කාන්තාවකි. මෙම සැකකරු සහ සැකකාරිය ඉකුත් 26දා අයුතු ජනරාශියක සාමාජිකයන්ව සිටිමින් මරණකරුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවත්, එම පහරදීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහුගේ ඝාතනයට ද මෙම සැකකරු සහ සැකකාරිය සම්බන්ධ වී ඇත්දැයි දැනගැනීම සඳහා වැඩිදුර ප්‍රශ්න කරන බව ද පොලිසිය සඳහන් කළේය.

අනුරාධපුර රෝහලේදී ඝාතනය කළ පුද්ගලයාටදින 2කට පෙර පහර දුන් දෙදෙනෙක් අත්අඩංගුවට

ඉකුත් 26දා මැදවච්චිය මන්නාරම් පාර ප්‍රදේශයේදී පුද්ගලයන් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් ජේ.ඩබ්ලිව්. රුවන් ගීත් විජිත නමැත්තා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ පිහිටි 66 වැනි වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බවත් පසුගිය 28දා අලුයම 4:30ට පමණ එම වාට්ටුවට ඇතුළු වූ පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා එම රෝගියා ඝාතනය කර පලා ගොස් තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මෙම ඝාතනයට සම්බන්ධ වූවාද යන්න දැන ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරන බවත්, එම ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්. මංගල සමන්කුමාර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත මැදවච්චිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.

මිහින්තලේ – රංග චතූ සහ මැදවච්චිය – ගයාන්

advertistmentadvertistment
advertistmentadvertistment