අනෙක් ආගමික සභ්‍යත්වයන් සමග නොගැටෙන එකම සභ්‍යත්වය සිංහල බෞද්ධ දැක්මයි

104

මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර

අනෙක් ආගමික සභ්‍යත්වයත් සමග නොගැටෙන එකම සභ්‍යත්වය සිංහල බෞද්ධ සභ්‍යත්වය බවත්, අපේ අනන්‍යතාව වූ එය සමග බියවිය යුතු නැති බවත් මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා පැවැසීය.

76 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මව්බිම ජනතා පක්‍ෂයේ ජාතික විරු සමරුව බොරැල්ලේ පිහිටි පක්‍ෂ මූලස්ථානයේදී පැවැත්විණි. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දේශපාලන අංශාධිපති මහාචාර්ය එම්. එම්. ෆාසිල් මහතා සහභාගිවූ අතර මව්බිම ජනතා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර, ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර සහ සේනාරත්න සිල්වා මහතා ඇතුළු සමාජ ක්‍රියාකාරිකයන් රැසක් එක්ව සිටියහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා

“වසර 76ක් එකදිගට ආපු ගමනේ වැදගත්ම කාරණය වන නව අදහස් සහිත සංවිධානයක් බිහිවීමයි. පරණ දේවල් නැවත නැවත කිරීමෙන් සාර්ථකත්වය කරා යන්න බෑ, ඒක අද ඔප්පු වෙලා තියෙනවා. මේ රටේ සභ්‍යත්වය ප්‍රමුඛ කාරණයක් විදිහටම අපි පිළිගන්නවා. ඒක සිංහල බෞද්ධ සභ්‍යත්වයයි. අනෙක් ආගමික සභ්‍යත්වයන් එක්ක නොගැටෙන එකම සභ්‍යත්වය සිංහල බෞද්ධ සභ්‍යත්වයයි. මේ වචනයට බයවෙන්න ඕන වචනයක් නෙමෙයි, මේක අපේ අනන්‍යතාවය. ඒක සමරන්නයි අද වගේ දිනක ඕන කරන්නේ. වසර 75 තිස්සේ අපි දුක්විඳින්නේ දේශපාලනයේ අවංක කමක් නොමැති කම නිසා. ඔය කියන කිසිම කෙනෙක් අවංක වුණේ නෑ ජනතාවට. ඒ අවංක භාවය අපි ඉදිරියට ගෙනාවා. අන්න ඒකයි ඔබ අපි කියන වචන කෙරෙහි විශ්වාසය තියන්න ඕනෑ. එලෙසම තම පක්‍ෂය සිදුකරන්නේ බෙල්ට් එකක්, ව්‍යාපාරික පන්තියේ ටිකට් එකක් ගන්න කරන සහෝදරවරුන්ගේ දේශපාලනයක් නොව ජන සහභාගීත්වයෙන් ජන විශ්වාසය මත කරන දේශපාලනයක් පමණක් බවද ඔහු සඳහන් කළේය.

“අපි මේ කරන්නේ එකතුවෙලා කරන දේශපාලනයක්. කලින් ජනතාව බලාපොරොත්තු වී සිටි දෙයක් ඉෂ්ට නොවුණා වෙන්න පුළුවන්. අන්න අපි ඒ දේ දෙනවා” යැයිද හෙතෙම අවධාරණය කළේය.

උත්සවය අමතමින් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා මෙසේ පැවැසීය.

“පෘතුගීසිකාරයා ලංකාවට ආවේ කුළුබඩු වල සුවඳට ඉව වැටිලා. ලන්දේසි, පෘතුගීසි, ඉංග්‍රීසි එක්ක අපේ තරහක් නෑ. අපිට අවශ්‍ය මේ සියලුම ජාතීන් එක කොඩියක් යටට ගෙන ඒම තමයි. මේ පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා ප්‍රධානව අපි මේ ගමන යන්නෙ සිනාමුසු මුහුණකින් යුතු ජනතාවක් බිහිකිරීමටයි.”

advertistmentadvertistment
advertistmentadvertistment