මෝටර් රථයක් එකවර මුදල් ගෙවා මිලදීගත හැකි පිරිසක් අද සමාජයේ නැත. ඒ සඳහා ඔවුනට වසර ගණනාවක සිට පිහිටවූයේ කල්බදු සමාගම් සහ බැංකු පද්ධතියයි. එසේ මිලදී ගන්නා වාහනය ඔබේ සිහිනයක් සැබෑ වීමකි. එහෙත් එම සිහිනය අදාළ වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් බිඳී යන අවස්ථා ඕනෑ තරම් වේ. එනම් ලීසිං ඇරියස් වීම මත සීසර්ලා විසින් වාහන උස්සාගෙන යෑමය. එම තත්ත්වය මත ඕනෑම අපහසුවක් විඳගෙන හෝ කුසට අහරක් නැතිව හෝ ලීසිං වාරික ගෙවන්නට වෙර දරන්නෝ අප අතර වෙති. එහෙත් ණය වාරික ගෙවා ගැනීමට නොහැකි වූ කල ඒ රථ වාහනය අපෙන් ඈතට යයි. එසේ අපට වාහනය නැතිවන්නේ හොඳින් හෝ නරකින් එය ගෙන යෑමට පැමිණෙන තාඩයන් පිරිසකගේ අඩත්තේට්ටම් මධ්‍යයේය.

එනම් සීසර්ලා නම් මැර කොට්ඨාසයක් විසින් වාහන හිමිකරුට පහර දී හෝ හොඳින් හෝ නරකින් වාහනය රැගෙන යන බව සමාජයේ පොදු මතයකි. ඒ අවස්ථාවන්වලදී සිදු වූ ජීවිත අනතුරු තුනක් පිළිබඳවද අපේ රටේ තවම කතා වේ. ඉන් ප්‍රධාන වන්නේ ත්‍රීවිල් රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති සුනිල් ගුණවර්ධන ඝාතනයයි. එමෙන්ම තම ලොරි රථය සීසර්ලා විසින් රැගෙන යද්දී එහි එල්ලී සිටීමෙන් තවත් තරුණයකුගේ ජීවිතයක්ද විනාශ විය. මෙම තත්ත්වයන් යළි ඉස්මතු වූයේ පසුගියදා බොරලැස්ගමුවේදී සිදුවූ සිදුවීමත් සමගය. බොරලැස්ගමුවේදී සිදුවූයේ ලීසිං ඇරියස් වූ වාහනයක් අයිතිකරුට පහරදී රැගෙන යෑමයි.

ඒ අනුව සීසර් මාතෘකාව භීතිකාවක් ලෙස යළිත් සමාජයේ උඩට මතු වෙද්දී මේ පිළිබඳව විමසීමට අපිද සීසර් කෙනකු මුණගැසුනෙමු. ඔහු සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ වේ. ඔහු පවසන්නේ රටේ සීසර්ලා ගොඩක් සිටියද ඒ සම්බන්ධයෙන් ඇති එකම නිල සංවිධානය සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමය බවයි. සීසර්ලා අතින් සිදුවන තාඩන පීඩන පිළිබඳව ද අපි ඔහුගෙන් විමසුවෙමු. එහෙත් අප ඉහතින් සඳහන් කළ කිසිදු ඝාතනයකට හෝ පහරදීමකට තම සංගමය සම්බන්ධ නොමැති බව ඔහු සඳහන් කර සිටී. කොරෝනා වසංගතයෙන් පසුව රටේ ලීසිං ප්‍රශ්නය ඉතා දරුණු තත්ත්වයකට පත් වූ අවධියේ බිහි වූ තමන්ගේ සංගමය රටේ සීසර්ලා පිළිබඳව පවතින දුර්මත බිඳිමින් ඉදිරියට ගමන් කරන බවද ප්‍රියන්ත ලියනගේ සඳහන් කරයි.

“සීසර් වෘත්තියට අදාළව නිල වශයෙන් පිළිගැනෙන එකම සංවිධානය අපියි. සංගමය පටන් ගත්තේ සාමාජිකයන් 117 දෙනකුගෙන්. ඒත් අපේ සංගමයේ සාමාජිකයන් දහසකට අධික සංඛ්‍යාවක් දැන් ඉන්නවා. ඒ හැම දෙනාම අපි විධිමත් සම්මුඛ පරීක්ෂණයක් තියලා පොලිස් සහතික, ග්‍රාම සේවක සහතික සහ අධ්‍යාපන සුදුසුකම් බලලා තමයි බඳවා ගන්නේ. මේ වෘත්තිය ආවාට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම දැන් අවුරුදු තිහකට වැඩිය මේ වෘත්තියේ නිරත වෙනවා. ඒත් කවදාවත් අපි මිනිස්සුන්ට පහර දීලා මිනිස්සු මරලා වාහන අරන් යන්නේ නැහැ. හැබැයි මනුස්සකමින් වාහන ගේන්න ගිහිල්ලා අමනුස්සයන් අතින් මං වෙඩි කාලත් තියෙනවා. දෙමටගොඩ ප්‍රදේශයේදී එසේ වාහනයක් ගන්න ගිහින් මට වෙඩි තුනක් වැදුණා. ඉන් දෙකක් මගේ බඩ පසාරු කරගෙන ගියා. අපි නිරායුධව තමයි මේ රස්සාව කරන්නේ. ඒ නිසා අපිට අපේ ජීවිත පිළිබඳවත් ලොකු අවදානමක් තියෙනවා.

ඒත් ඒ අවදානමටත් වඩා හිතට වේදනයි අපි ගැන මිනිස්සු නරක විදියට හිතන එක.

117 දෙනකුගෙන් පටන් ගත්ත අපේ සංගමයේ ජාලය දැන් හරි ප්‍රබලයි. ලංකාවෙ කොහේ තිබුණත් අපි වාහනය හොයා ගන්නවා. තවත් දෙයක් කියන්න ඕනා අපි වාහන ගන්න යන්නේ තනිවම නොවේ. පොලිසියත් අරගෙනම තමයි යන්නේ. පොලිස් නිලධාරීන් ඒ සඳහා සහභාගි කරවා ගැනීම අනිවාර්ය නැහැ. හැබැයි සාමය කඩවීමක් වෙයි කියන බයෙන් තමයි අපි පොලිසියෙන් ඒ සඳහා රැගෙන යන්නේ.

සීසර්ල කියන මේ රස්සාව අපේ රටේ අවුරුදු 80කට වඩා පැරණි රස්සාවක්. ඒ සඳහා 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත හඳුන්වා දී තිබෙනවා. අපිට සහ අපේ වෘත්තියට රැකවරණය තියෙන්නේ ඒ පනතින්.

ලීසිං සමාගම් සහ බැංකු ආයතන තිස් හතක් සමග අපි සම්බන්ධයි. වාහන 6000 කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට ඇරියස් ලේඛනයේ ඉහළින්ම තියෙනවා. සමහරවිට ඒ වාහන කෑලි ගලවලා විකුණලා තියෙන්නත් පුළුවන්.”

ඇයි ඔබලා මේ විදිහට සංගමයක් හදා ගන්න තීරණය කළේ?

2019 කොවිඩ් වසංගතයෙන් පස්සේ අපේ රටේ ආර්ථිකය බින්දුවටම වැටුණා. මිනිස්සුන්ට ෆිනෑන්ස් ගෙවා ගන්න බැරි වුණා. ඒ අනුව 2020 නොවැම්බර් මාසේ 24 වැනිදා අපි අපේ සංගමය ස්ථාපනය කළා. පළාත් 9 ම අපේ නියෝජිතයන් ඉන්නවා. ඒ වගේම රටේ සියලු පොලිස් ස්ථානවලට අපේ සාමාජිකයන් පිළිබඳව අපි දැනුවත් කර තිබෙනවා. අපි බොහොම නම්‍යශීලීව තමයි අපේ කාර්ය ඉටු කරන්නේ. අපේ සංගමයේ සාමාජිකයෝ හැම දෙනාටම වෙනම හැඳුනුම්පතක් පවා අපි සකස් කර තිබෙනවා.”

ඒත් සීසර්ලාගේ යුගය අවසන් බව ප්‍රකාශ කරමින් ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමය රට තුළ අලුත් මතයක් හදල තියෙනවා. මොකක්ද මේ ඔබ කියන කතාවයි ඔවුන් කියන කතාවයි අතර තියෙන ගැටුම?

ඒ සංගමයේ සභාපති කරන්නේ අපි වාහනයක් ගත්තහම වාහන හිමිකරුව උසිගන්වනවා. බලහත්කාරයෙන් පැහැර ගැනීම කරා කියලා පැමිණිල්ලක් දාන්න කියනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ සංගමයට බඳවා ගන්නවා. ඊට ලියාපදිංචි මුදලක් ගන්නවා. පොලිසියට සහ නීතියටත් බලපෑම් කරනවා. ඔහු වගේ අය සිදු කරන්නේ අහිංසක මිනිස්සු රවට්ටලා ඔවුන්ගේ සල්ලිවලින් තමන්ගේ වාහනවල ෆිනෑන්ස් ගෙවීමයි. ඒ නිසා ඒ වගේ අය කියන දේවල් අපි එච්චර ගණන් ගන්න හොඳ නැහැ. හැබැයි අහිංසක දුප්පත් මිනිස්සු රවට්ටන එක එතරම් හොඳ වැඩක් නෙවෙයි. අපිට ඔහු සමග තිබෙන අමනාපය එයයි. ඒ නිසා අපව එයාලට හිසරදයක් වෙලා”

ඔවුන් කියන එක අපි පැත්තකට දාලා බැලුවත් සමාජයෙත් ඔබලා පිළිබඳව තිබෙන්නේ හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. සීසර්ලා කියන්නේ මැරයෝ. සීසර්ලා කියන්නේ පාතාල අපරාධකරුවන්. මේ ගැන ඔබ මොකද හිතන්නේ?

අපිට පාතාල අපරාධකරුවන් කිව්වොත් අපි නඩු දානවා. කොහේද අපි ඒ විදිහෙ අපරාධ කරලා තියෙන්නේ. ලීසිං සමාගමකින් හෝ මූල්‍ය ආයතනයකින් වාහනයක් ඇරියස් වෙලා තියෙනවා ඒක අරන් එන්න කියලා අපිට දැනුම් දුන්නාම අපි ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒක බොහෝම නීත්‍යානුකූල විදිහට තමයි අපි කරන්නේ. අපි පොලිසියේ පැමිණිල්ලකුත් දාලා තමයි යන්නේ. අපේ කිසිම නිලධාරියකු මූල්‍ය සමාගමේ නියෝගය නැතිව වාහන ගේන්න යන්නේ නැහැ. ඒ වගේම උදේ 6.00 යි හවස 6යි අතර තමයි අපි වාහන ගේන්න යන්නේ. ඒක මේ පනතෙ තියෙන නීතියක් නෙවෙයි. අපේ විනිවිදභාවය වෙනුවෙන් අපිම හදාගත්ත සම්ප්‍රදායක්. ඒ විදිහට ගිහින් වාහන හිමිකරුවා මුණගැහිලා අපි අපේ අවශ්‍යතාවය කියනවා. අපි කියන විදියට කටයුතු කරන වාහන හිමිකරුවන්ට ලීසිං ආයතනවලින් සහන පවා අරන් දෙන්න අපි කටයුතු කර තිබෙනවා.

බොරලැස්ගමුවේ පසුගියදා සිදුවුණේ මොකක්ද? ඒ සිද්ධියට ඔබලා සම්බන්ධයි නේද?

ඒක අපි කරපු දෙයක් නෙවෙයි. දෙපාර්ශ්වයක් අතර සිදුවුණු ආරවුලක්. බාහිර පාර්ශ්වයන් දෙකක් අතර සිදුවුණු දෙයක් අපේ පිට පැටවීම කොතරම් වැරදිද? ඔබ කලින් සඳහන් කළ ත්‍රීවිල් සුනිල් ඝාතනය සිදු වුණෙත් සීසර්ලා අතින් නොවේ. උසාවියේ ඒ ගැන තවම නඩුවක් විභාග වන නිසා ඒ ගැන මම වැඩිය කියන්න යන්නේ නැහැ. අපි කවදාවත් මිනිස්සුන්ට පහර දීලා නැහැ. හැබැයි වාහනයක් ගන්න ගිහිල්ලා පාතාල මැරයෙක් අතින් තුන් පාරක් වෙඩි උණ්ඩ කාපු මිනිහෙක් මම.

ලීසිං ගෙවා ගැනීමට නොහැකිව අසරණ පිරිස් ඔබේ සංගමය සමග සම්බන්ධ වෙන්නේ කොහොමද?

අපේ හොට්ලයින් එකට කතා කරන්න පුළුවන්. (0704660660) කවුරුන් හෝ ඔබේ වාහනය ලීසිං ගෙවන්න බැරි වුණා කියලා අරන් ගියොත් මේ නම්බර් එකට කතා කරන්න. අපිට අනිවාර්යෙන් ඔබලාට සහයෝගයක් දෙන්න ශක්තිය තියෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment