අභාවප‍්‍රාප්ත සුනිල් මාධව පුවත්පත් කලාවේ ස්වර්ණමය සලකුණක්

149

ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්‍ෂ කියයි

අභාවප‍්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලක පුවත්පත් කලාව තුළ නොමැකෙන ස්වර්ණමය සලකුණක් සටහන් කළ බව ශෝක පිනිවුඩයක් නිකුත් කරන අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කරයි.

ජනහද දිනූ විප්ලවවාදී පුවත්පත් කලාවේදියෙක් ලෙස සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතා රටම හඳුනා ගන්නේ තරුණ පරපුර ඉලක්ක කරගත් දිවයින පුවත්පතේ ‘‘08 වැනි පිටුව’’ ඔස්සේය.

එතැනින් නොනැවතුණු සුනිල් මාධව පේ‍්‍රමතිලක නම් මෙම අසහාය පුවත්පත් කලාවේදියා මෙරට පුවත්පත් කලාවේ තීරු ලිපි කලාව නව මානයකට රැගෙන යමින් ‘‘සත්‍යවාදියෙකුගේ දිනපොත’’ ලියන්නට පටන් ගත්තේය.

දයාසේන ගුණසිංහයන් විසින් සුනිල් මාධව පේ‍්‍රමතිලකයන්ගේ චරිතය කේන්ද්‍ර කරගනිමින් ‘‘අවියක් නැති සෙනෙවියා’’ කෙටිකතාව නිර්මාණය කරන්නේද හඬක් නොමැති මිනිසුන්ට හඬක් වූ මෙම සත්‍යවාදියා වෙනුවෙනි.

‘‘හඬනු මැන නිදහස’’ ‘‘ඇමරිකා ඇමරිකා’’ ‘‘කැරොලයින්ගේ දිනපොත’’ ‘‘මොහොමඩ් අලී’’ ‘‘අන්දකාරයේ දරුවා’’ ‘‘මිනිසෙක්’’ සැබෑ කවියෙකුගේ කතාව’’ කෘති ඔස්සේ ද සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතා ජනතාව අතරට ගියේය.

සමාජයේ උන්නතිය උදෙසා ජනතා අයිතීන් වෙනුවෙන් සිය පෑන හැසිරවීම නිසාම ඔහු සිය මාධ්‍ය ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට ලක්වූ වාර ගණන බොහෝය. එවන් අවස්ථාවලදී සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතා පත්තර කන්තෝරුවලට සමුදුන්නේ සිය ප‍්‍රතිපත්ති පාවා නොදෙන සත්‍යවාදියෙක් ලෙසිනි. පුවත්පත් කලාව තුළ සුනිල් මාධව පේ‍්‍රමතිලක යනු නොමැකෙන ස්වර්ණමය සලකුණකි. සිය දිවිසැරිය නිමා වුවද සුනිල් මාධව පේ‍්‍රමතිලක නම් සත්‍යවාදියාගේ දිවි මං සලකුණු තවත් සුවහස් කල් මෙරට හදවත් තුළ සදා නොමියෙනු ඇත.

අවුරුදු 77ක් ආයු වළඳා අභාවප‍්‍රාප්ත වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව පේ‍්‍රමතිලක මහතාට උතුම් නිවන් සුව අත්වේවා යැයි ප‍්‍රාර්ථනා කරන අතර ඒ මහතාගේ අභාවයෙන් ශෝකයට පත් බිරිඳ මනෝරා ප‍්‍රශාන්ති, නන්ජිත මාධව පේ‍්‍රමතිලක පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන්ටත් ඥාති හිතමිත‍්‍රාදීන් ඇතුළු සහෘද මාධ්‍යවේදීන් හා ප‍්‍රදේශවාසී සැමටත් මාගේ බලවත් ශෝකය පුද කරමි.

advertistmentadvertistment
advertistmentadvertistment