අභිමානවත් ජයග්‍රහණ රාශියකට මං තැනූ මීගමුව ලොයොලා විදුහල

54

ක්‍රිස්තු වර්ෂ 1979 නවම් මස 02 වැනිදා මීගමුව පෙරියමුල්ල ග්‍රාමයේදී ආරම්භ කළ ලොයොලා විද්‍යාලය වර්තමානය වනවිට පවතින්නේ කොච්චිකඩේ දළුවකොටුව ග්‍රාමය තුළයි. එස්. වී. ෆොන්සේකා ගුරු විදුහල්පතිතුමා යටතේ ආරම්භ කළ ලොයොලාව විදුහල්පතිවරුන් හා අදියුරු පියතුමන් වහන්සේලා කිහිපදෙනෙක් යටතේ පැවතී ඇත. වර්තමානයේ අදියුරු පියතුමන් වන කෙනඩි පෙරේරා පියතුමාගේ ආගමනයත් සමග නව පෙරළියක් ඇති කිරීමට ලොයොලාව සමත් වූයේ කාගේත් සිත් සතන් මවිතයට පත් කරවමිනි.

අධ්‍යාපනය මල්ඵල දරා සිසු දරු දැරියන්ගේ අනාගතය ජය ගැනීමට ලොව දෙසට දෑත් දිගුකර හඬ තලද්දී ක්‍රීඩාව තුළින් නොසිතූ ආකාරයට පාසලේ නාමය රන් පතක ලියා තැබීමට පාසලේ දරු දැරියන් සමත් විය. දරුවන්ගේ දක්‍ෂතා හඳුනාගත් අදියුරු පියතුමන් ජ්‍යෙෂ්ඨ පුහුණුකරුවන් යටතේ දරුවන් මෙහෙයවා සමස්ත ලංකා වොලිබෝල් තරගාවලියේ වයස අවුරුදු 17න් පහළ පිරිමි කාණ්ඩයේ ශූරතාවය දිනාගැනීමට හැකියාව ලබා ගත්තේය. මීට පෙර කිසිදු වසරක වොලිබෝල් ක්‍රීඩාවේ ශූරයන් නොවූ ලොයොලාව මේ වනවිට රටම හඳුනන පාසලක් වී හමාරය.

දරුවන්ගේ දස්කම් දිනෙන් දින දියුණුවේ මංපෙත් කරා ඇදී යන්නේ ඇසි පිල්ලමක් සැලෙන නිමේෂයකින්මය. එතරම් හැකියා සමුදායක් ලද සිසු දරු දැරියන් හට මනා පුහුණුවකින් යුක්ත වූ කැපවීමෙහි හිනිපෙත්තටම පියගැට තබන ධෛර්යවන්ත වූද කාරුණික වූද පාසලේ ක්‍රීඩා අංශ භාර ප්‍රවීන් දුලංජය පියතුමා, ප්‍රිම්රෝස් නෙරිස් ඇතුළු ජ්‍යෙෂ්ඨ පුහුණුකාරවරුන් සහ වරියන් එකතුව ගෙත්තම් කරන ලද දරුවන්ගේ හෙට දවස ගැන වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැක. මන්ද දරුවන්ගේ අනාගතය වර්තමානය තුළදීම සියසින් දැක ගැනීමට කාටත් අවස්ථාව ලැබුණු හෙයිනි. පාසලේ සියලුමදෙනාගේ නෙත් පියන් තුළට සතුටු කඳුළු ගලා එන්නේ නොදැනුවත්වමය.

වොලිබෝලයෙන් නොනැවතුණු ලොයොලාව පාසල් රාශියක් අභිබවා ආධුනික පිහිනුම් ශූරතාවය ලබාගැනීමට ද සමත් වූ හෙයින්, මේ සඳහා කැපවී ක්‍රියාකළ චම්පික විජේසිරි හා අනෝමා පතිරණ ගුරු මහත්ම මහත්මීන්ගේ කැපවීම හා රංජිත් එදිරිසිංහ පියතුමාගේ මග පෙන්වීම අප ස්තූතිපූර්වක සිහිපත් කරමු. එදා මෙදාතුර කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව පාසල තුළ තිබුණද දරුවන්ගේ නිසි දස්කම් මෙවර පෙන්වීමට ඔවුන් සමත් වූයේ තෙවන කාණ්ඩයේ ක්‍රිකට් කුසලානයද පාසලට අත්කර දෙමිනි. වසරක් තුළ ජයග්‍රහණ රැසක් ලද ලොයොලාව වත්මන් කාලය තුළ යහපත් හා ගුණාත්මක බවින් ඔද වැඩුණු ගුරු මණ්ඩලයක් හා සිසු දරු දැරියන් පිරිසක් සමග සිය අඩිතාලම ගොඩනගයි.

පසුගිය ජුනි මස 24, 25, 26 යන තෙදින තුළ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති සමස්ත ලංකා දිවීමේ ඉසව් තුළින් වයස අවුරුදු 14න් පහළ පිරිමි කාණ්ඩයේ දිනුක තිනේෂ්, දිනුර ඉදූෂ, විශ්මිණ ප්‍රනාන්දු, මිෂෙන් කුරේරා යන සිසුන් සිව් දෙනාගෙන් යුත් කණ්ඩායම සමස්ත ලංකා සහය දිවීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ලොයොලාවට තවත් ශූරතාවයක් තිළිණ කළහ. පුහුණුකරු අමල් පෙරේරා මහත්මා, ධනංජය චන්ද්‍රසිරි සහ විදුහලේ ක්‍රීඩා අංශ පුහුණු ගුරුතුමිය වන ප්‍රිම්රෝස් නේරිස් ගුරු මහත්මියද සහය ගුරු තරිඳු කෝසල මහතාගේද දැඩි කැපවීම මධ්‍යයේ පෙරට ආ දරුවන්ගේ කුසලතා නිමක් නොවීය. ලබන වසරේදී සිය 75 වන ජුබිලි සංවත්සරය සමරන ආදරණීය ලොයොලාව වත්මන් අදියුරු පියතුමා පෙරදැරිව අභිමානනීයව ජයග්‍රහණ රාශියක සංකලනයක් දෝත දරා ගනිමින් ඉදිරියටම යාත්‍රා කරනු ඇත.

සටහන එච්. එම්. දිනේෂා නිරෝෂිණී හේරත්

advertistmentadvertistment
advertistmentadvertistment