අයි.එම්.එෆ් ගැරන්ටිය හරියට පාවිච්චි නොකොළොත් ආයෙත් අර්බුදයක්!

1144

ගොඩයන්න නම් ආණ්ඩුව වැඩ ගොඩක් කරන්න ඕන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා අපේ පිළිවෙළ ගැන යමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියමකරන ලද රාමුව ශ්‍රී ලංකාව අනුගමනය කර ඇති බව නිවේදනය වී තිබේ. අරමුදලේ යුතුකම ඉටුකරන තෙක් බලා සිටින බව දැක්වේ. පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරන ලද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට පත්ව සිටින ඉරණම පැහැදිලි කරන අතර වෙනත් විකල්පයක් රහිත තැනක පසුවන බව අඟවයි. මෙහි දී අවධාරණය කරන එක වැදගත් කරුණක් තිබේ. දහසය වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සංචිත පහසුකම ලබාගෙන ඇත. මෙම වතාවේ දී එකඟතාවය පරිදි සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නට සිදුවනු ඇත. එකඟ වී ඇති කරුණු මොනවා ද යන්න ඉදිරියේ දී පාර්ලිමේන්තුවේ දී හෙළිවන බව දැක්වේ. පසුගිය වතාවල දී මූල්‍ය අරමුදලට එකඟ වූ නමුත් එම එකඟතා අනුව කටයුතු කරන්නට ශ්‍රී ලංකාව අසමත් වූ බව ද අනාවරණය වන වැදගත් කරුණකි.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු, ආර්ථිකය බිඳ වැටුණු ලෝකයේ රටවල් සඳහා සහාය වන වැඩපිළිවෙළෙහි එක කොටසක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්මාණය විය. ශ්‍රී ලංකාව, එහි කොටස් හිමි ආරම්භක සාමාජිකයෙකි. කොටස් හිමි, ඕනෑම සාමාජිකයකුට ඇති අයිතිය පරිදි, අවශ්‍ය අවස්ථාවක තාවකාලික විදේශ මුදල් සංචිත පහසුකමක් ලබා ගැනීමට අපට ද අයිතියක් ඇත. එය හුදෙක් රටට ලැබෙන මුදලක් නොවේ. එම සංචිත පහසුකම ඇපයට තබා වෙනත් රටකින් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ ක්‍රමයකි.

● හැත්තෑ පස් වසරකට පසු නරක තැනක

නිදහස අත්පත් කරගෙන වසර හැත්තෑ පහකි. මෙම කාලය තුළ පැමිණි ගමන් මග හා ආර්ථිකය දැන් පවතින තැන ගැන අප සියලු දෙනාටම හොඳ අවබෝධයක් තිබේ. ලෝකයේ සෑම රටකම උස් පහත්වීම් ඇත. නරකම තැන දක්වා පිරිහී ගිය රටවල් අද ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරියෙන් සිටී. සැලැස්මකට අනුව නිෂ්පාදනය නංවන අතර අපනයන අංශ දියුණු කර ගැනීම දියුණු රටවල සාර්ථකත්වය තුළ තිබේ. අභ්‍යන්තර ආර්ථිකය හා ජාත්‍යන්තර වෙළඳාම යන අංශ දෙක තුළිත කරගැනීම අවශ්‍ය කෙරේ. වාර්ෂික ආදායම හා වියදම අභ්‍යන්තර තත්ත්වයයි. අය වැය මගින් එය ජනතාවට ඉදිරිපත්වේ. වැඩි වැටුප්, සහනාධාර, රජයේ රුකියා අවස්ථා සම්පාදනය කරන ආණ්ඩු ජනප්‍රියත්වයට පත් වන අතර ඊළඟ ඡන්දයෙන් ද බලයට පත් වේ. ඡන්ද දිනන්නට පොරොන්දු දෙන දේශපාලනඥයෝ රජයේ ආදායමට වඩා වියදම් කරති. දේශීය වශයෙන් ගන්නා ණයවලින් ඒවා පියැවේ. ණය පියැවීම සඳහා මුදල් මුද්‍රණය කරන අතර එය උද්ධමනයට හේතුවකි.

ජාත්‍යන්තර වෙළෙඳාම ද මෙයට දෙවැනි නැත. අපනයන ආදායම ඉක්මවා ආනයන සඳහා වැය කෙරේ. ආනයනය සඳහා වියදම සලකා අපනයන වර්ධනය කළහොත් විදේශ වෙළෙඳාම සමබර කළ හැක. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන ජනතාව එවන මුදලින් ශ්‍රී ලංකාව වැඩිම විනිමය ප්‍රමාණයක් උපයන අතර එය තේ අපනයනයෙන් ලැබෙන ආදායම මෙන් හය ගුණයකි. එම සම්පූර්ණ මුදල රටට අවශ්‍ය ඉන්ධන ආනයනයට ප්‍රමාණවත් නැත. සංචාරක කර්මාන්තයෙන් ලැබුණ ආදායම කඩාවැටීමට පාස්කු ඉරිදා ප්‍රහාරය හේතු වූ අතර කොවිඩ් වසංගතය සමග සංචාරකයන් ගේ පැමිණීම පමණක් නොව අපනයන අංශය ද දුර්වල විය. ආනයන හා අපනයන අතර පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක පමණ පවත්වාගෙන යන අතර සංවර්ධන අවශ්‍යතා සහ විදේශීය මිල දී ගැනීම් සඳහා ජාත්‍යන්තර වශයෙන් ණය වී සිටි රටට එය මහත් ගැටලුවක් ඇති කළේය.

● නියමිත මොහොතේ තීන්දු නොගැනීම

විචාරකයන්ට, විවේචකයන්ට ඕනෑ තරම් අදහස් තිබේ. බලයට පත්වන ආණ්ඩු සහ ඒවායේ නායකයන් තීරණ ගත යුතුය. රට තුළ ධනය උත්පාදනය කරන අතර විදේශ සම්පත් වැඩිපුර ඉපැයිය හැකි අලුත් මාර්ග සම්පාදනය කරගත යුතුව තිබේ. පටු ජනප්‍රියවාදී ආදේශ කරා යොමු වූ පසු අරමුණු අත හැරේ. වගකීම් ගිලිහේ. විරුද්ධ දේශපාලන බලවේග, වෘත්තීය සමිති හා ආගමික නායකයන්ට ආර්ථිකයක හැඩය ගැන අවබෝධයක් නැත.

සංවර්ධනය සඳහා විදේශ ණය නොගැනීමට ගෝඨාභය ආණ්ඩුව තීරණය කළේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඉක්මන් ප්‍රතිලාභ අත්පත් කරන්නට අසමත් සුදු අලි ව්‍යාපෘති සඳහා උවමනාවටත් වඩා ණය ගැනීමෙන් පසු මෙම තීරණය ගැනීම ප්‍රතිඵලදායී වූයේ නැත. විශේෂයෙන් අඩු පොලියට ලබාගත හැකි ව්‍යාපෘති ආධාර වෙනුවට ජාත්‍යන්තර සංවර්ධන බැඳුම්කරවලින් සියයට හයක වාර්ෂික පොලියකට ණය ගැනීම ඉතාම අහිතකර විය.

ලෝකය පුරා උද්ගත වූ ආර්ථික පීඩනය ශ්‍රී ලංකාවට විශාල විනාශයක් කැඳවන ලද අතර ධනය උපයන මාර්ග අවහිර කළේය. සංචාරක කර්මාන්තය විශාල පිරිහීමකට ලක්විය. විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ අඩු වූ අතර රටට ලැබෙමින් තිබුණ ආයෝජන පහත වැටිණ. අපනයන ඉලලුම ද සීමා සහිත වූ අතර වසර දෙකක පමණ කාලයක් ලෝකය පුරා පැතිරී තිබුණ ලොක්වඩුන් තත්ත්වය ශ්‍රී ලංකාව සමතලා කරන්නට සමත්විය. විදේශ සංචිත පිරිහීම ආනයන පාලනය කරන තීරණ ගැනීමට හේතුවිය. නිසි කළමනාකරණයකින් පසු අසීරු අඩියෙන් ගැළවෙන්නට අවස්ථා තිබුණි. ජාත්‍යන්තර මූලය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන ලෝකයේ සෑම රටකටම අලුත් ණය සංචිත පහසුකම් සපයන විශේෂ වැඩ පිළිවෙළක් යෝජනා කළේය. ආධාර වෙනුවට ජනතාව භුක්ති විඳින පහසුකම් අඩු කිරීම ශ්‍රී ලංකාව තෝරාගෙන තිබුණි. ආනයන නතර කළේය. ඉන්ධන, ගෑස්, කිරිපිටි පමණක් නොව ආහාර හා ඖෂධ ආනයනයට පවා ප්‍රශ්න මතුවිය. රසායනික පොහොර ආනයනය නතර කළ අතර ගොවියන් කාබනික පොහොර භාවිතා කළ යුතු බවට හදිසි තීරණයකට එළැඹිණි. විනිමය පාලනය කරන අදූරදර්ශී යෝජනා රට ඇවිලවීය. තෙල් හා ගෑස් පෝලිම්වල දින ගණන් ගත කළ ජනතාව පැය පහළොවක් දක්වා විදුලිය කපන විට පාලකයන්ට ශාප කළහ. නිසි අවස්ථාවේ දී මූල්‍ය අරමුදලේ සංචිත පහසුකමක් ලබාගැනීම වළක්වන ලද දේශපාලකයන් මෙහි වගකීම දැරිය යුතුය.

● සිස්ටම් වෙනස් කරන අරගලය ආයෙත් පැරණි ව්‍යුහයට

සිස්ටම් වෙනස් කර අලුත් ව්‍යුහයක් ඉල්ලා අරගලයක නිරත වූ ජනී ජනයා තාවකාලික වෙනස්කම්වලට මුහුණ දෙමින් සිටී. ශ්‍රී ලංකාවේ බිඳ වැටීම ගැන අවධානයක සිටි ඉන්දියාව කුලුනු හතරකින් යුතු වැඩසටහනකට යටත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන හතරක් දක්වා ඛනිජ තෙල්, පොහොර, ආහාර හා ඖෂධ සැපැයීය. ලෝක බැංකුව ගෑස් මිල දී ගැනීමට ඩොලර් ණයක් නිකුත් කළ අතර ඇමෙරිකාව, චීනය, ජපානය, යුරෝපා ප්‍රජාව ඇතුළු නන් දෙසින් ශ්‍රී ලංකාවට හදිසි ආධාර ලැබුණි.

ආධාරවලින් යැපීම දිගටම කළ නොහැක. පසුගිය අවුරුද්දේ අප්‍රේල් මාසයේ මැද ශ්‍රී ලංකාව සිය විදේශ ණය ආපසු ගෙවීම කළ නොහැකි බව නිල වශයෙන් නිවේදනය කළ අතර අලුතින් පත්කරගත් ආණ්ඩුව මූල්‍ය අරමුදලේ තාවකාලික ණය සංචිතයක් ඇයැදුම් කළේය. අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල එකඟතාව පරිදි වසර හතරක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක තාවකාලික සංචිතයක් අනුමත කරන ලදී. එම පහසුකම සපයා ගැනීමට ශ්‍රී ලංකාව ඉටුකළ යුතු කොන්දේසි මාලාවක් ප්‍රකාශයට පත්ව තිබුණි.

මෙම කොන්දේසි අලුත්ම ඒවා නොවේ. 16 වතාවක් නියම කරන ලද එහෙත් මූල්‍ය පහසුකම් ලබාගැනීමෙන් පසු අමතක කරන ලද කාරණා බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැක. ශ්‍රී ලංකාවේ දේශපාලනය වටහා ගෙන ඇති මූල්‍ය අරමුදල මෙම වතාවේ දී යොජනා ක්‍රියාවට නංවන තෙක් සංචිත නිදහස් කිරීම නතර කර ඇත. මූල්‍ය අරමුදල දක්වන පරිදි රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට පහළොවක් විය යුතුය. එය දැනට පවතින මටට්ම අනුව දළ වශයෙන් දෙගුණයකි. වැට් බද්ද හා ආයතනික බදු සංශෝධනය කරන අතර උපයනවිට ගෙවන බදු කළමනාකරණ මටට්මේ වැඩ කරන ජනතාවට දරාගත නොහැකි පරිදි නැංවීම මෙහි ප්‍රතිපලයකි. ඉන්ධන, විදුලිය, ගෑස් හා ජලය යනාදී අංශවල පිරිවැය ආවරණය වන ගාස්තු අය කළ යුතුය. මුදල් අච්චු ගැසීම නතර කළ යුතුය. ආණ්ඩුව එම නියමයන්ට අනුව කටයුතුකර ඇත. අධික බදු හා විදුලිය ගාස්තු ඇතුළු පිරිවැය දරාගත නොහැකිව මහජනතාව පාරට බැස තිබේ. මගේ යුතුකම ඉටුකරන ලද බව ප්‍රකාශ කරන ආණ්ඩුව ජනතාව වේදනාවට පත් කර මූල්‍ය අරමුදලේ සංචිත දෙස බලා සිටී. දුප්පත් ජනතාවගේ සහන ක්‍රමාණුකූලව ගෙවිය යුතු බව තවත් කොන්දේසියකි. එයට අනුව අලුත් ලියාපදිංචියක් සිදුවෙන අතර එයට ඇතුළත් නොවන ආධාර ලාභීන් කපා හැරෙනු ඇත. රාජ්‍ය ආයතනවල පාඩු අවම කිරීම, මහ බැංකුව අලුත් පනතකින් ශක්තිමත් කිරීම හා බැංකු පද්ධතිය නවීකරණය ද කොන්දේසි අතර ඇත. නම්‍යශීලී විනිමය ප්‍රතිපත්තියක් නියම කර ඇත. වංචා හා දූෂණ වළක්වන හා දූෂණ විරෝධී නෛතික රාමුවක් හඳුන්වාදීම ද කොන්දේසි අතර තිබේ.

● රුපියල ශක්තිමත්වීම හා ඉන්දියාවෙන් රුපියල් ලැබීම

මූල්‍ය අරමුදලේ කොන්දේසි සාක්ෂාත් කිරීමත් සමග ශ්‍රී ලංකාව නැවතත් පැරණි ‘සිස්ටම් එකට’ ඇතුළත්වනු ඇත. එහි මූලික අංග දැනටමත් අප ඉදිරියේ ඇත. විනිමය සීමා ලිහිල් කිරීමේ පියවරක් වශයෙන් ආණ්ඩුව මෙතෙක් බැංකු සමග කරගෙන ගිය පාලනය යම් ප්‍රමාණයකින් අත්හැර දමා තිබේ. වානිජ බැංකුවලට ලැබෙන විනිමය ප්‍රමාණයේ සියයට විසිපහක් අනිවාර්යයෙන් මහ බැංකුවට ගෙවිය යුතුව තිබුණ සීමාව සියයට පහළොව දක්වා අඩුකර ඇත. එම විදේශ මුදල් සංසරණය සමග තාවකාලික ලිහිලක් පවතී. රුපියල ශක්තිමත්වීම එහි ප්‍රතිඵලයකි. ඉල්ලුම වැඩිවන විට මෙම අගය පවත්වා ගැනීම අභියෝගයක් විය හැක. විදේශ සංචිත ශක්තිමත් බව ප්‍රකාශ කරමින් සිටින ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණ පවත්වන්නට මුදල් නැත. රුපියලේ අගය අනුව පාන්පිටි, සීනි ඇතුළු ඇතැම් ආනයනික ද්‍රව්‍යවල මිල අඩු කර ඇත. දේශීය හා විදේශීය වශයෙන් ආර්ථිකයේ හැසිරීම එකම කාසියේ දෙපැත්ත හා සමානය.

මූල්‍ය අරමුදලේ කොන්දේසි සාක්ෂාත් කරමින් අවුරුදු හතරක ණය සංචිතයකට ගමන් කරන ආණ්ඩුව අනෙක් පැත්තෙන් ඉන්දියාව සමග ගනුදෙනුවක් අරඹා ඇත. ඉන්දීය මහ බැංකුව පසුගිය දා නිවේදනය කළ පරිදි එරට මුදලින් ගිණුම් ලංකාවේ අරඹන්නට අවසරය ප්‍රකාශයට පත් කර තිබේ. රුසියාව, බංග්ලාදේශය, නේපාල්, මියන්මාර්, කියුබා, ලක්සම්බර්ග් වැනි රටවල් දැනටමත් ඉන්දීය රුපියල් භාවිතා කරයි. ශ්‍රී ලංකාවේ ද අනුගමනය කිරීම විශාල හානියක් නොවේ. සංචාරක, වෙළෙඳ කටයුතුවලට දෙරට අතර එක විනිමය හුවමාරු මාධ්‍යයක් තිබීම එක්තරා ආකාරයක වාසියකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට ඉන්දීය රුපියල් උපයා ගැනීමේ වගකීමක් ඇත. ඉන්දීය මුදල් සංචිත රහිතව ගනුදෙනු ඇරඹුවහොත් ඩොලර් අවප්‍රමාණයවීම හා සමානව රුපියල ඉන්දීය රුපියල ඉදිරියේ අව ප්‍රමාණය වන අවදානමක් තිබේ. ඉන්දියාවට අපනයන වැඩිකළ යුතු අතර සංචාරකයන් කැඳවා ගැනීමේ සැලැස්මක් අවශ්‍යය. ඉන්දියාව ලෝකයේ විශාල ආර්ථියක් හා විශාලතම ජනගහනය සහිත රට බවට පත්ව ඇත. ආහාර, ඛනිජ තෙල්, විදුලිය වැනි අංශවල දැවැන්ත ඉල්ලුමක් ඇති වී තිබේ. මෙයින් වාසි ලබාගැනීම සඳහා ද්වීපාර්ශ්වික වෙළෙඳාම දියුණු කිරීම අවශ්‍යය. මේවාට ඇති බාධා ඉවත් කිරීම අවශ්‍ය කෙරේ.

● නිෂ්පාදනය වැඩි කරන වේගවත් සැලසුම්

ශක්තිමත් ආර්ථික පරිසරයක් ගොඩනැඟෙන තෙක් බලා සිටින්නට ජනතාව සූදානම්ද? රට තුළ උණුසුම තව තවත් වැඩි වෙමින් තිබේ. මධ්‍යම ආදායම් පැලැන්තිය වැඩිම පීඩාවට පත්ව ඇත. මූල්‍ය අරමුදලේ කොන්දේසි රට කැළඹීමකට පත් කර තිබේ. අවුරුදු හතරකට ඩොලර් බිලියන 2.9 ක තාවකාලික ණය සංචිතයක් ලබාගැනීම සඳහා ජනතාව තලා පෙළා මිරිකා බදු අය කරගත යුතුද? මෙම සංචිතය සාමාන්‍යයෙන් වසරකට ඩොලර් මිලියන 500 ක් පමණ වේ. මාස එකහමාරකට ඉන්ධන ආනයනයට ප්‍රමාණවත්ය. මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත ඉන්දියාව, චීනය, ජපානය හා සංවර්ධන බැඳුම්කර ලබාගත් ප්‍රජාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවරක් අරඹා ඇත. ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන තිස් පහකි. අවුරුදු තුනක අපනයන ආදායම එකතු කළ ද ණය ගෙවා අවසන් කළ නොහැක. දැනට ප්‍රකාශ වන පරිදි අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන හතක් පමණ ණය
ගෙවීමට වෙන් කළ යුතුය. මැද පෙරදිග ඇතුළු රටවල සේවය කරන මිලියන දෙකකට අධික ශ්‍රී ලාංකිකයන් එවන සම්පූර්ණ විදේශ විනිමය ප්‍රමාණය පවා එක අවුරුද්දක ණය ගෙවීමට ප්‍රමාණවත් නොවේ. තේ අපනයනයෙන් වසරකට ලැබෙන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක් පමණ වන අතර එය මෙන් හත් ගුණයක් ණය අවුරුද්දකට පියවන්නට ඇති රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා මිලියන පන්සියයකින් ආරක්ෂා කළ හැකිද?

විනිමය ඉපැයීම සඳහා රටට ඇති එකම ඉක්මන් මාර්ගය සංචාරක කර්මාන්තයයි. ඉතාම හොඳ ප්‍රගතියක් තිබුණ කාලයේ පවා එයින් උපයාගෙන ඇති වැඩිම ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකි. ශ්‍රී ලංකාව අපනයනය කරන රටක් බවට හැරවිය යුතුය. අපනයනය ඉලක්ක කරගෙක කර්මාන්ත ඇති කළ යුතුය. ආයෝජන අවශ්‍යය. ව්‍යවසායකයන් දිරිගැන්වීම වැදගත්ය. ආයෝජන ලබාගන්නට, දේශීය ආයෝජකයන්ට ශක්තිමත්ව ඉදිරියට යන්නට සැලැස්මක් අවශ්‍යය. එයට අවශ්‍ය කෙරෙන නීති රීති හා පසුබිම ඇති කිරීම වැදගත්ය. එයින් නිෂ්පාදනයක් ඇති කෙරේ. අපනයන අවස්ථා ඇති කරනු ඇත. එයින් බැහැර වෙනත් විකල්පයක් රටට නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය මෙහි ලා වැදගත් අත්තිවාරමකි. කඩාවැටෙමින් තිබුණ රටක් වශයෙන් සනිටුහන්ය තිබුණ ශ්‍රී ලංකාව නිසි ප්‍රතිසංස්කරණවලට පසු ආයෝජනයට, වෙළෙඳාමට ගැළපෙන රාජ්‍යයක් බව අරමුදල සමග කරන ගනුදෙනුව සහතිකයකි. ඉතිහාසයේ සිදුවූ පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් ගෙන ඒවා ක්‍රියාත්මක නොකර සිටින්නට අපට අයිතියක් තිබේ. ඉතිහාසයේ අප ගේ පාඩම එයයි. රාජ්‍ය සේවයේ ප්‍රමාණය, සහනාධාර ක්‍රම, අය වැය පරතරය, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ගැන උවමනා උපදෙස් ලැබී තිබේ. කිසිම දෙයක් කරන්නට ඉඩ නොදෙන, කිසිම තීරණයකට ඉඩ නොතබන විපක්ෂ දේශපාලනයක් ද අපට සිටී. ආගමික නායකයන්, වෘත්තීය සමිති විදේශ බලපෑම්වලින් රට බේරා ගැනීම සඳහා මරාගෙන මැරෙන්නට සූදානම්ය.

අයි.එම්.එෆ් ගැරන්ටිය හරියට පාවිච්චි නොකොළොත් ආයෙත් අර්බුදයක්!

● කවුරු බලයට ආවත් උත්පාදනය අවශ්‍ය කෙරේ

හඳෙන් හාල් ගෙනැවිත් දුන් යුගයක් පසුකර අද සිටින තැනට පැමිණ තිබේ. දූෂිතයන් ගාලු මුවදොර එල්ලා ඔවුන්ගේ ධනයෙන් පාන් ගෙඩියක් රු. තුනයි පනහකට දෙන පොරොන්දුව විශ්වාස කර ඇත. වචනවලට රැවටෙන ඡන්ද දායකයෝ ආර්ථික දර්ශනයක හැඩය තේරුම් ගන්නට අපොහොසත්ය. ඉන්දියාව පසුගිය වසරේ ඔවුන්ගේ ජාතික ගුවන් සේවය පුද්ගලීකරණය කළ අතර එය මිල දී ගත් සමාගම අද ලෝක වාර්තාවක් තබමින් ගුවන් යානා 470 ක් එකවර ඇනැවුම් කරයි. යානා එකොළහක් ලීසිං පදනමට ගෙන එයින් දෙකක් අමතර කොටස් නැතිකම හෙයින් අබලන්ව ඇති ශ්‍රී ලංකන් අපේ ජාතික සම්පතකි. රුසියාව, චීනය, වියට්නාමය, කියුබාව ඇතුළු රටවල පුද්ගලීකරණය සිදුවේ. ශ්‍රී ලංකාවේ ජාතික සම්පත්වලට මහජනතාව වන්දි ගෙවමින් සිටී. මෙම රාමුව වෙනස් නොවන තෙක් ඕනෑම ආණ්ඩුවකින් බෙදන බත් හැන්ද කුඩා එකකි.

සිංගප්පූරුව, මැලේසියාව, බ්‍රසීලය, දකුණු කොරියාව දියුණුවට පත්වීම තුළ ආර්ථික සැලැස්මක් ඇත. පටු දේශපාලනය පරාජය කරන තද නායකත්වය අලුත් සැලැසුම් ගොඩනැඟීය. මිථ්‍යා මතවාදවලට සංවර්ධන සැලැසුම් පරාය කළ නොහැකි විය.

එකම තෙල් ලිඳක් හෝ නැති සිංගප්පූරුව ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කරන ලෝකයේ තුන්වැනි දැවැන්තයාය. ශ්‍රී ලංකාව ෆාම් ඔයිල් තහනම් කරන නමුත් මැලේසියාවේ වැඩිම ආදායම් උපයන අංශයකි. තායිලන්තය, මාලදිවයින සංචාරක කර්මාන්තය සඳහා ගැළපෙන සංස්කෘතික සබඳතා ඇති කරගෙන තිබේ. ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ අවමානයට ලක්විය. දැනට අවුරුද්දකට උපයන විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන පහකි. බංග්ලාදේශයේ වසරකට ඇඟලුම් කර්මාන්තයෙන් උපයන විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හතළිහකි. අපේ හිරු එළිය අපේ හුළඟ පිටරටකට දෙන්නට නොහැකි බවට මතයක් පැන නැඟෙමින් තිබේ. සුළං හා සූර්ය බලාගාරවලට ආයෝජනයට ඉන්දියාව සූදානම්වීම එයට හේතුවකි. ඔස්‌ට්‍රේලියාවේ කාන්තාරවල නිපදවන සූර්යතාප විදුලිය මිල දී ගැනීමට සිංගප්පූරුව ගිවිසුමක් අත්සන් කර ඇත. මුහුද යටින් සැතපුම් අටදාහක කේබල් මගින් විදුලිය සැපයේ. ශ්‍රී ලංකාව සම්පත් ආකරයක් තුළ අන්තවාදී ක්‍රමයක පසුවේ. මෙම අවස්ථාවේ දී මෙරට සියලු දේශපාලන නායකයන්ගේ සම්බන්ධතා වැදගත්ය. ඔවුන් අතර සංවාදයකින් පසු රට ඉදිරියට ගැනීම සඳහා ඉක්මන් තීරණ ගැනීම සුදුසුය. හෙට බලයට එන පක්ෂයකට පවා දැන් පවතින අභියෝග නොවෙනස් බව මතක තබාගත යුතු එක වැදගත් කරුණකි.

ගාමිණී එස්. කන්දෙගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment