ඇන්ටිජන් සහ ඔක්සි මීටර් මගඩියට 2ක් අල්ලයි

290

රුපියල් ලක්‍ෂ හැටතුනකට අධික වටිනාකමින් යුත්, මෙරට ලියාපදිංචි නොකළ ක්‍ෂණික ප‍්‍රතිදේහ කට්ටල සහ ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් තොගයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් පෙරේදා (04දා) රාත‍්‍රියේ කොළඹ 12, සහ දෙමටගොඩ යන ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගන්නා ලදී.

ඇන්ටිජන් සහ ඔක්සි මීටර් මගඩියට 2ක් අල්ලයි

ක්‍ෂණික ප‍්‍රතිදේහ කට්ටල 480ක් සහ ඔක්සි මීටර් 1768ක් සමග පුද්ගලයන් දෙදෙනකු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් පෙරේදා රාත‍්‍රි අත්අඩංගුවට ගත් බව එම අධිකාරියේ විමර්ශන හා නීති බලගැන්වීම් අංශ ප‍්‍රධානී, ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා ඊයේ (05 වැනිදා) ‘දිවයින’ට පැවසීය.

ක්‍ෂණික ප‍්‍රතිදේහ කට්ටල ඔන්ලයින් ක‍්‍රමයට අලෙවි කරන බවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට පෙරේදා ලැබුණු පැමිණිල්ලකට අනුව ඒවා අලෙවි කළ පුද්ගලයකු කොළඹ 12 ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගේ නිවසේ තිබී ක්‍ෂණික ප‍්‍රතිදේහ කට්ටල සහ ඔක්සි මීටර් 196ක්ද ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයාගෙන් ප‍්‍රශ්න කිරීමේදී වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පුද්ගලයකුගෙන් තමන් මේවා අලෙවි කිරීමට ලබා ගන්නා බව ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට පවසා තිබේ. ඒ අනුව වැල්ලම්පිටිය පොලිසියේද සහාය ඇතිව එම පුද්ගලයා සොයා ගොස් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු අතරමැදියකු බවට තොරතුරු අනාවරණය කර ගැනීමට ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමත්වී ඇත. එම පුද්ගලයාගෙන් ලබාගත් තොරතුරු අනුව දෙමටගොඩ ප‍්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කළ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් විසින් එහි තිබී ලියාපදිංචි නොකළ ක්‍ෂණික ප‍්‍රතිදේහ කට්ටල 420ක් හා ලියාපදිංචි නොකළ හා ප‍්‍රමිතියෙන් තොර ඔක්සි මීටර් 1570ක් අත්අඩංගුවට ගෙන ඇත.

සුවඳ විලවුන් පෙට්ටි තුළ ඉතා සූක්‍ෂම ලෙස සඟවා මෙම ක්‍ෂණික ප‍්‍රතිදේහ කට්ටල සහ ඔක්සි මීටර් මෙරටට ගෙන්වා තිබෙන බව මේ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව අමිත් පෙරේරා මහතා කියා සිටියේය.

මෙම ක්‍ෂණික ප‍්‍රතිදේහ කට්ටල නෙදර්ලන්තයේ සමාගමක් මගින් චීනයේ නිෂ්පාදනය කර ඇති බවත් දෙමටගොඩ ප‍්‍රදේශයේ පුද්ගලයා විසින් මේවා රසායානාගාර වෙත අලෙවි කර තිබේදැයි ඉදිරියේදී විමර්ශන කටයුතු ආරම්භ කරන බවත් ඒ මහතා ප‍්‍රකාශ කළේය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා විමර්ශන කටයුතු අවසන් වූ වහාම මාලිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය රසිත විජේවන්ත, ප‍්‍රධාන විධායක නිලධාරි, අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය කමල් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත විමර්ශන හා නීති බලගැන්වීම් අංශ ප‍්‍රධානී සහ ප‍්‍රධාන ආහාර හා ඖෂධ පරීක්‍ෂක අමිත් පෙරේරා, ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් වන මහින්ද සිරිකුමාර, චන්දන ගුරුසිංහ, සහායක ප‍්‍රමෝද වීරකෝන් යන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලදී.

ප‍්‍රභාත් විතාන සහ සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment