ඉන්ධන බෙදාහැරීම  කඩිනම් හා  විධිමත් කරන්න – ජනාධිපතිගෙන් බලධාරීන්ට උපදෙස්

136

දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කඩිනම් හා විධිමත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (23 දා) උපදෙස් දුන්නේය.

ඉන්ධන ගැටලුව සහ එහි ඉදිරි පියවර පිළිබඳ පෙරේදා පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් දීම සිදුකර තිබේ. අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදා හැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

සඳුදා සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදි පාසල් දරුවන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය. ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා පෙරේදා ප. ව. 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපතිවරයා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.

ධීවර, සංචාරක හා පොහොර බෙදාහැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර ක්‍රමවේදයට අනුව ලංගම ඩිපෝ මගින් සහ දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරුවලදී ඉන්ධන නිකුත් කිරීමට තීරණය කෙරිණි.

ඉන්ධන පෝලිම්වල සිට වාහනවලට ලබා ගන්නා ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම් කෙරෙහි ද අවධානය යොමු කෙරුණු අතර ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දුන්නේය.

හඳුන්වා දුන් ූඍ කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි ද සාකච්ඡා විය. ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, අලි සබ්රි, කංචන විජේසේකර, ටිරාන් අලස්, පා. ම. නිමල් ලාන්සා, ජනාධිපති උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment