ඔට්ටු සහ සූදු බද්දත් ඉහළට

73

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද වහාම රුපියල් කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් වැඩි කර ඇත.
මේ අනුව පසුගිය අගෝස්තු 01 වැනිදා සිට මේ දක්වා කැසිනෝ ශාලාවක් සඳහා තිබූ වාර්ෂික රුපියල් කෝටි 20ක් වූ බදු මුදල රුපියල් කෝටි 50 දක්වා මෙසේ වහාම වැඩි කළ බව මුදල් අමාත්‍යංශය පවසයි.
මීට අමතරව තවත් ඔට්ටු සහ සූදු සඳහා ද බදු කිහිපයක් වැඩි කිරීමේ අරමුණෙන් ඔට්ටු සහ සූදු පනත කඩිනමින් සංශෝධනය කරන බව ද මුදල් අමාත්‍යංශය කියයි. එම යෝජිත බදු සංශෝධන මෙසේය.
කැසිනෝ සඳහා මෙතෙකේ නොතිබූ ඉහළ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම සහ ශ්‍රී ලාංකිකයකු කැසිනෝ ශාලාවක් තුළට ඇතුළුවීමේ දී ඩොලර් 200ක ගාස්තුවක් අය කිරීමට යෝජිතය. වෙනත් ඔට්ටු හා සූදු සඳහා අවම වශයෙන් සජීවී ඔට්ටු මධ්‍යස්ථාන සඳහා රුපියල් ලක්ෂ 6ක් වූ වාර්ෂික බද්ද අවම වශයෙන් රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට සහ පිරිවැටුම මත අය කෙරෙන සියයට 10 ක බද්ද අවම වශයෙන් සියයට 15 දක්වා වැඩි කිරීමට නියමිතය.එසේම ඔට්ටු උප නියෝජිතයන් සඳහා වූ වාර්ෂික බද්ද රුපියල් මිලියන 4 සිට අවම වශයෙන් රුපියල් මිලියන 5 දක්වා වැඩි කෙරෙන අතර සජීවී නොවන ඔට්ටු පොළවල් සඳහා වාර්ෂික බද්ද රුපියල් 50000 සිට රුපියල් 75000 දක්වා වැඩි කිරීමට ද නියමිතය.
මේ බදු වැඩි කිරීම් සියල්ලට ම පසු එම ව්‍යාපාරවල ආදායමෙන් නැතහොත් ලාභයෙන් සියයට 40 ක ආදායම් බද්දක් අය කෙරෙන බව ද එම අමාත්‍යංශය කියයි.
මීට අමතරව සුරා සහ දුම්කොළ බදු ගතගොත් මධ්‍යසාර බෝතලයකින් අවම වශයෙන් සියයට 75 ක බද්දක් ද දුම්වැටියකින් සියයට සියයට 85 කට ආසන්න බද්දක් අය වේ. අවසානයේ ඒ ආයතනවල ලාභයෙන් ද සියයට 40 ක ආදායම් බද්දක් අය කරනු ලබන බව ද මුදල් අමාත්‍යංශය කියයි.
බදු රාජ්‍ය ආදායමේ ප්‍රධාන ප්‍රභවයක් වන්නා සේම, සමාජ මග පෙන්වන්නෙක් ලෙස ද, අධෛර්යමත් කළ යුතු අංශ අධෛර්යමත් කිරීම සඳහා ද යොදා ගැනේ. වර්තමාන රාජ්‍ය ආදායම උපයා ගැනීමේ අභියෝගයේ දී ද රජය උපරිම ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති බව ද මුදල් අමාත්‍යංශය තවදුරටත් සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment