ඔය කියන සිරප්  ලංකාවට ගෙන්වා නැහැ – සෞඛ්‍ය ඇමැති

235

අප්‍රිකාවේ ගැමීබියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගියේ යැයි කියන සිද්ධියට අදාළ ඉන්දියානු ඖෂධ සමාගමේ එම ඖෂධ නිෂ්පාදන මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

 ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එම ඖෂධ වර්ග ඉදිරියේදීත් කිසිසේත් මෙරටට ගෙන්වීමක් සිදුනොකෙරෙන බව ද අමාත්‍යවරයා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී රඹුක්වැල්ල මහතා මේ බව කීය. රටට ඖෂධ ගෙන්වීමේදී ඒ සඳහා වන නිසි නියාමන ආයතන පවතින බවත් ඒ අනුව අදාළ ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බවත් අදාළ අංශයන්ගෙන් කළ සොයාබැලීමකදී තහවුරු වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 මෙරට ඖෂධ ලියාපදිංචි කෙරෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රට තුළට ඖෂධ ගෙන්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඖෂධ බෙදාහැරීම් කෙරෙන ඖෂධ සැපයුම් අංශය යන අදාළ ආයතනයන්ගෙන් මේ පිළිබඳ සොයා බැලූ අතර එයට අමතරව පසුගිය වකවානුව තුළ මෙරටට ලැබුණු පරිත්‍යාග පිළිබඳ සොයා බැලීමේදී ද එම ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහවුරු කරගෙන තිබේ.

 ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම ඖෂධ සම්බන්ධයෙන් අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකාව තවදුරටත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ පිළිබඳව කිසිදු සැකයක් ඇති කරගත යුතු නොමැති යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment