ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි නවීන තාක්ෂණයට අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

93

ඉදිරි ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි හා නවීන තාක්ෂණය සමග අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් රටට හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලෝක ආර්ථිකය රඳා පවතින්නේ විද්‍යාව හා තාක්ෂණය මත පදනම් වූ අංශ කිහිපයක් මත වන අතර කෘත්‍රීම බුද්ධිය, රොබෝ තාක්ෂණය, බලශක්ති ගබඩාකරණය, බ්ලොක්චේන් තාක්ෂණය, ජෙනොම් විද්‍යාව වැනි අංශ අද ලෝක ආර්ථිකයට බලපෑම් කරමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම තාක්ෂණය සමග ඉදිරියට යාමට අපගේ අනාගත පරපුරද සූදානම් කළ යුතු බව සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ, නුගේගොඩ අනුලා විද්‍යාලයේ 2019/2020 වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට (16 දා) පස්වරුවේ එක්වෙමිනි.

පසුගිය උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කිරීම හා කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ඇගයීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

නුගේගොඩ අනුලා විද්‍යාලයට ජනාධිපතිවරයෙක් පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් විදුහල්පතිනි වයෝනි විශාඛා රාජපක්ෂ මහත්මිය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

නුගේගොඩ අනුලා විද්‍යාලය අද ලබා තිබෙන ප්‍රගතිය වෙනුවෙන් විදුහල්පතිතුමියගේ සිට ගුරු දෙගුරුන් හා ශිෂ්‍යාවන් සියලුදෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ඊ. ඩබ්ලිව් අදිකාරම් මහතා මෙම පාසල ආරම්භ කිරීමේ දී මෙවැනි තත්ත්වයකට පාසල පත්වනු ඇතැයි කිසිදිනක සිතන්නට නැතිව ඇති. නමුත් අද නුගේගොඩ අනුලා විද්‍යාලය මෙරට ප්‍රධාන පාසල් කිහිපය අතරට එක්ව තිබෙනවා.

එදා තිබුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ලබා දුන් පෙළපොත් පමණයි. නමුත් අද අධ්‍යාපනයට ජංගම දුරකථන සහ පරිගණක භාවිතය එක්ව තිබෙනවා. එදා විදුලි වාහන පිළිබඳ සිතා තිබුණේ නැහැ. නමුත් අද වන විට ඉලෙක්ට්‍රොනික් වාහන සමාජයට එක්ව තිබෙනවා. පසුගිය කාලය තුළ විද්‍යාව හා තාක්ෂණය වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙන බව එයින් පැහැදිලි වෙනවා. එවැනි පරිසරයකට නව අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යව තිබෙනවා.

අනාගතය පිළිබඳ සිතිය හැකි, අනාගතය පිළිබඳ අවබෝධයක් ඇති අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ නිර්මාණය කළ යුතුයි.

මෙම තාක්ෂණයන් සමග අනුගතවීමෙන් මෙම ශත වර්ෂය මැද භාගය වන විට ගෝලීය ආර්ථිකයට ඩොලර් ටි්‍රලියන 300ක් 700ක් අතර විශාල වටිනාකමක් එක් වන බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙනවා. මෙම ආර්ථිකය සමග තමයි ලෝකය ඉදිරියට යන්නේ. ඒ සඳහා අපත් සූදානම් විය යුතුයි.

ගෝලීය අභියෝගවලට මුහුණදිය හැකි නවීන තාක්ෂණයට අනුගත වූ අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙනවා - ජනාධිපති රනිල් වික්‍රමසිංහ

අපි 1970 සහ 80 දශකයේ ඇඟලුම් කර්මාන්තයට සූදානම් වු අන්දමින් අප දැන් එම තාක්ෂණයන් වැළඳ ගැනීමට සූදානම් විය යුතුයි. ඒ සඳහා සූදානම් වීමට නම් අප පළමුව මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. මෙම විෂයයන් සඳහා හැකි තරම් විශ්වවිද්‍යාල ඇති කළ යුතුයි. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව, චීන භාෂාව හා හින්දි භාෂාව ගැන දැනුමක් ලබා ගත යුතුයි. එසේ නම් මෙම විෂය පිළිබඳ දැනුම ලබාගත හැකි පාසල් හා උසස් අධ්‍යාපන ආයතන බිහි කළ යුතුයි. ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අමතරව රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. මුදල් නිසා අධ්‍යාපනය නවතා දමන්නේ නැතිව සිසුන්ට රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවල ඇතුළත්වීමට විදේශ රටවල මෙන් සහන ක්‍රමයකට ණය ලබාදීමේ වැඩසටහනක් අප ක්‍රියාත්මක කරනවා.

අද ඔබ Gen Z පරපුරේ දරුවන්. ඊළගට Gen Alpha කණ්ඩායමට සූදානම් විය යුතුයි. එහිදී ජංගම දුරකථනයෙන් අධ්‍යාපනය ලැබිය හැකියි. මෙලෙස අධ්‍යාපන රටාව සම්පූර්ණ වෙනසකට ලක් වෙනවා. ඒ සඳහා අප සූදානම් විය යුතුයි.

දේශපාලනඥයන් බොහෝ විට සිතන්නේ අතීතය ගැන පමණයි. ශිෂ්‍යයන් ලෙස සිතන්නේ වර්තමානය ගැනයි. නමුත් මා සහ රජය සිතන්නේ අනාගතය පිළිබඳවයි. ඉතින් අප මෙය ගලපාගෙන ඉදිරියට යා යුතුයි. අතීතය ගැන සිතන අය කෙසේ හෝ වර්තමානයට ගෙන ආ යුතුයි. වර්තමානයේ සිටින විට අනාගතය ගැන හැදෑරිය හැකියි.

මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකළහොත් අපට අනාගතයක් නැහැ. අපට ඉදිරියට යා හැක්කේ නව අධ්‍යාපන ක්‍රමයක් සමග පමණයි. කර්මාන්ත ශාලා, ගොඩනැඟිලි, මං මාවත් ඉදි කළ හැකි වුවත් අධ්‍යාපන දැනුම නොමැති නම් අනාගතයක් ළඟා කර ගත නොහැකියි. ඒ නිසා නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කර රටට හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට රජයක් ලෙස අප කැපවී සිටිනවා.

අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මේජර් ප්‍රදීප් උඳුගොඩ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්ම මහත්මීන් සහ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, සිසුවියන් ආදි සිසුවියන් හා දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment