තරුණ අසහනය හමුවේ තරුණ සේවා සභාව මොනවද කරන්නේ…

798

අපිට හැම විටම අපේ තාරුණ්‍ය වෙනුවෙන් අනාගතය ගොඩනගන්න බැහැ. නමුත් අපිට අපේ තරුණ පරපුර අනාගතය වෙනුවෙන් ගොඩනගන්න පුළුවන්. මේ ප‍්‍රකට කියමන ෆ්රෑන්ක් ඞී රූස්වෙල්ට්ගේය. ඔහුගේ මේ දර්ශනය තුළ ගැබ්ව ඇත්තේ කුමක්ද. කිසියම් නිෂ්පාදනයක අවසානය වඩා හොඳ වන්නේ නිෂ්පාදන ක‍්‍රියාවලියේ තත්ත්වය වඩා ඉහළ තැනකට ඔසවා තැබීමෙන්ය. ස්වකීය දේශයේ තරුණ ප‍්‍රජාව බලගැන්විය යුතු ආකාරය රූස්වෙල්ට් දුටුවේ එහෙමය. ඔහුගේ මේ ප‍්‍රකට කියමන හිටි හැටියේ මතකයට ආවේ ජාතික තරුණ සේවා සභාව අපේ රටේ තාරුණය වෙනුවෙන් කුමක් කරන්නේදැයි ඇතිවූ ප‍්‍රශ්නයට පිළිතුරු සොයා ගිය ගමනේදීය. ඒ සඳහා අපේ අවධානය යොමු වූයේ මේ රටේ තරුණ පරපුර නිවැරදි දිශානතියකට හැරවීමේ නිශ්චිත වගකීමක් ඇති ආයතනයක් වන ජාතික තරුණ සේවා සභාව දෙසටය. අපි ප‍්‍රවේශය ගත්තේ මේ රටේ සෑම කාලයකම අඩු වැඩි වශයෙන් පැවති තරුණ අසහනය නමැති ගැටලූවට ඇති පිළියම කුමක්ද යන පැනයත් සමගය. ජාතික තරුණ සේවා සභාවේ වත්මන් සභාපති දමිත වික‍්‍රමසිංහ මහතා එය විග‍්‍රහ කළේ මෙසේය.

”තරුණ අසහනය කියන දේ තරුණ විරැකියාවත් එක්ක ඇතිවෙන දෙයක්. මමත් අපේ නාමල් රාජපක්ෂ ඇමැතිතුමත් මේ ප‍්‍රශ්නය දකින්නෙ අපිට තියෙන ලොකු අභියෝගයක් විදියට. රටේම විරැකියා අගය තනි අගයක තිබුණත් තරුණ විරැකියාවේ අගය සියයට විසිතුනක ඉහළ අගයක තියෙන්නෙ. හැබැයි ඒකට හේතුවක් තියනවා. විරැකියාව ගණනය කරනකොට ස්ථිර රැකියාවල ඉන්න අය ගණනය කරන්නෙ. නමුත් තරුණ ප‍්‍රජාව අතර ත‍්‍රිරෝද රථ රියදුරන් වගේ කෙටි කාලීන රැකියාවල නියුතු වූ බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් ගණනය නොවීම මේ සංඛ්‍යාව වැඩියෙන් පෙන්වීමට හේතුවක්. ඒත් මේ අභියෝගයට පිළියමක් තියෙන්න ඕන. මමවත් ඇමැතිතුමාවත් පිළිගන්නෙ නෑ රජයේ රැකියාවලට තරුණ තරුණියන් පිරවීමේ සංකල්පය මේකට පිළියමක් කියල. රජයේ රැකියා කියන මානසිකත්වයෙන් අයින් වුණේ නැත්නම් මේ රටවත් මිනිස්සුවත් දියුණු වෙන්නෙ නෑ. දැනටමත් ලක්ෂ දහ අටක් වගේ සංඛ්‍යාවකට මහා භාණ්ඩාගාරය වැටුප් ගෙවන්න ඕන. රාජ්‍ය අංශයට ආදායම ලැබෙන්නෙ පුද්ගලික අංශයෙන් එන බදු ආදායමෙන්. වෙන ක‍්‍රමයක් නෑනෙ. ජනගහනයෙන් සියයට දහයකට කිට්ටු ප‍්‍රමාණයක් රාජ්‍ය සේවයෙන් යැපෙන්න ගියොත් රටකට මොකද වෙන්නෙ. ඒත් ජපානයෙන් පටන් අරන් කොරියාව, චීනය වගේ පසු ගිය අවුරුදු පනහ තුළ දියුණු වුණ රටවල් ගත්තොත් ඒ හැමදේම පිටිපස්සෙ තියෙන්නෙ ව්‍යවසායකත්වය කියන එක. ඒ හේතුව අවබෝධ කරගෙන තමයි නාමල් ඇමැතිතුමාගේ සංකල්පයක් අනුව අපි ‘‘හෝප් ෆෝ ශ‍්‍රී ලංකා’’ නමින් ව්‍යවසායකත්ව වැඩපිළිවෙළක් ආරම්භ කළේ. එතනදි අපි බලාපොරොත්තු වෙනවා සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් ඇති කරන්න. හැබැයි මේක මේ ස්වයං රැකියා සඳහා අත දීමක් නෙමෙයි. අපි ලක්ෂ විස්ස දක්වා ව්‍යාපෘති සඳහා ණය ලබා දෙනවා. මේක විශේෂත්වය තියෙන්නෙ ලංකා ඉතිහාසයේ වෙච්ච නැති දෙයක් මෙතනදි අපි කරනවා. ඒ කියන්නෙ අපි ව්‍යාපෘතිය ලබා දෙනවා. ඒකට අවශ්‍ය තාක්ෂණය ලබා දෙනවා. ඊට අවශ්‍ය ප‍්‍රාග්ධනය ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි, ඒකට අවශ්‍ය වෙළෙඳපොළත් ලබා දෙනවා. එතකොට ව්‍යවසායකයට තියෙන්නෙ මේ වැඬේ හරියට මැනේජ් කරගන්න එක. මේ තාක් මේවා වැරදුණේ රජයෙන් ව්‍යාපෘති ප‍්‍රතිපාදන ණය මුදල් දුන්නට වෙළෙඳපොළ උපායමාර්ගයකට යන්න ඒ ව්‍යවසායකටත් ශක්තියක් නෑ. ලංකාවේ ව්‍යවසායකත්ව සංස්කෘතියේ ඇති දුර්වලතාවය ඒය බව’’ ඔහු පැහැදිලි කරන්නේය.

තරුණ අසහනය හමුවේ තරුණ සේවා සභාව මොනවද කරන්නේ…

ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන පහත් හයත් අතර ප‍්‍රමාණයක් ආදායම් උපයන්නන්ගේ ගණයට වැටෙති. ඉන් ව්‍යවසායකයන් සිටින්නෙ ලක්ෂ දෙකකටත් අඩු සංඛ්‍යාවකි. ඒ තුළම ප‍්‍රශ්නයක් තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටක් සංවර්ධිත මට්ටමට ළඟා වීමට ව්‍යවසායකයන් සියයට විස්සත් විසි පහත් අතර සංඛ්‍යාවකට ළඟා විය යුතුය. දමිත වික‍්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ හෝප් ෆෝ ශ‍්‍රී ලංකා ව්‍යාපෘතියේ බලාපොරොත්තුව එම ඉලක්කයට ළඟා වීම යන්නයි. කෙසේ වුවද පසුගිය අගෝස්තු මාසයේදී ජාතික තරුණ සේවා සභාව ආරම්භ කළ එම ව්‍යාපෘතිය කොරෝනා වසංගතය නිසා රට වසා දැමීම හේතුවෙන් තාවකාලිකව නතර වී තිබිණ.

‘‘දැන් ලොක් ඩවුන් එක ඉවර නිසා දිස්ත‍්‍රික්කයකින් පන්සියයක් ව්‍යවසායකයන් තෝරගෙන ඔවුන්ට ණය දීම ලබන 12 වෙනිදා ඉඳල අපි ආරම්භ කරනවා. ඒත් එක්ක 2022 වසර අවසන් වෙද්දි අපේ ඉලක්කය නව ව්‍යාපෘති තිස් දහසක්. මම හිතන්නෙ ව්‍යවසායකයන් පනස්දහසක් ඇතිකිරීම තුළින් රටේ ආර්ථිකයට අපි තව ඩොලර් බිලියනයක් එකතු කරනවා.’’

එම පැහැදිලි කිරීමත් සමග ඔහුගේ අවධානය යොමු කළේ තරුණ ප‍්‍රජාව රට හැරයෑමේ ප‍්‍රවණතාව වැඩි වී ඇතැයි යන මෑතකදී සමාජජාල ඔස්සේ වේගයෙන් ප‍්‍රචාරය වූ තොරතුර වෙතය. මේ ඔහු ඊට දුන් පිළිතුරය.

‘‘ඒ දිගු පෝලිම් තිබ්බෙ රට අතහැරල යන මිනිස්සුන්ගෙන් නෙමෙයි. කාලයක් රට වහල තිබ්බා. ඒ වෙනකොට රටට පැමිණි සිටි විදේශ රැකියාවල නියුතු පුද්ගලයින්ට නැවත ඒ කාලයේ විදේශගත වීමට ඉඩකඩක් තිබුණේ නැ. අපි ඒ දැක්කෙ රට රැකියාවල නියුතු පුද්ගලයින් නැවත විදේශ ගතවීම සඳහා තිබුණ පෝලිම්. නමුත් සමාජජාලාවල මේක ජනතාව මුලා කරන්න ඉතා සූක්ෂමව යොදාගෙන තිබ්බා, රට අතහැරල යනවා කියල පෙන්වන්න. එහෙම හිතුන ගමන් රටකට යන්න ක‍්‍රමයක් කොහෙද තියෙන්නෙ. රැකියාවකට විදේශ ගතවීම රට අතහැරල යනවා කියන විදියට නෙමෙයි අපි දකින්නෙ. තරුණ සේවා සභාව යූත් ටු වර්ඞ් නමින් තවත් එක ව්‍යාපෘතියක් කරනවා. අපි බලාපොරොත්තු වෙන්නෙ විදේශ රැකියා සඳහා නිපුණතා ඇති තරුණයන් යොමු කරන්න. අපිට තව විසිපන්දහසක් පුහුණුවක් ලද අය වසරකට යවාගන්න පුළුවන් වුණොත් තව ඩොලර් බිලියනයක ආදායමක් මේ රටට ගේන්න පුළුවන්. අපි අඳුනගෙන තියෙනවා රුමේනියාව වගේ රටක ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ විශාල ඉල්ලූමක් තියනවා. කටාර්වල ලබන වසරෙදි ෆුට්බෝල් වර්ල්ඞ් කප් එක තියනවා. ඒ සඳහා රැකියා පනස්දහසක අවශ්‍යතාව අපිට ලැබිල තියනවා. අපි තරුණ පිරිසට අවශ්‍ය පුහුණුව සහ භාෂා දැනුම දීල මේ රැකියා සඳහා යොමු කිරීම නුදුරේදීම ආරම්භ කරනවා.’’

තරුණ අසහනය හමුවේ තරුණ සේවා සභාව මොනවද කරන්නේ…

මාගේ ඊළඟ ප‍්‍රශ්නය වූයේ පසුගිය කාලයේ රැල්ලක් සේ රට පුරා ව්‍යාප්ත වූ පුරන් කුඹුරු අස්වැද්දූ, තාප්පවල සිතුවම් කළ තරුණ පිරිස ගැනය. අලූත් වෙනසකට උද්යෝගයෙන් සැරසුණු මේ පිරිස දැන් ඒ මානසිකත්වයෙන් මිදෙන්න නොදී සිටීමට තරුණ සේවා සභාව කුමක් කරන්නේදැයි සභාපතිවරයාගෙන් විමසුවෙමි.

‘‘ තරුණයන් තුළ තිබුණ ඒ ජවය වැටිල නෑ. මම තරුණසේවා සභාවේ සභාපති විදියට රට වටේම යද්දි අපේ වැඩසටහන් එක්ක ඕනම තැනක හාර පන්සීයක් තරුණ තරුණියන් එකතු වෙනවා. ලොක්ඩවුන් කාලේ වැටිල හිටිය ජනතාවගේ මානසික තත්ත්වය හදන්න ‘‘බී හැපී විත් යූ’’ කියල සංගීතමය වැඩසටහනක් කළා. එතනදි අපි දැක්කා ඒ අයගේ උද්යෝගය. ඔබ දන්නවද නාමල් රාජපක්ෂ ඇමැතිතුමා කොවිඞ් රෝගීන් සඳහා ඇඳන් දස දහසක් හැදුව ව්‍යාපෘතියෙදි ඇඳන් පන්දහසක් හැදුවේ මේ රටේ කොල්ලො කෙල්ලෝ ටික. හැබැයි මේ වෙලාවේ හැමෝටම ප‍්‍රශ්නයක් තියනවා. නැත්තෙ නෑ. මේක ලෝකයේම තියෙන තත්ත්වයක්. නමුත් දැන් ජනගහනයෙන් සියයට හැත්තෑපහක් එන්නත්කරණය කරල ඉවරයි. සංචාරක ක්‍ෂේත‍්‍රයේ ලොකු පිබිදීමක් ඉදිරියේදි ඇතිවෙනවා. තරුණ වගා සංග‍්‍රාමය ඉදිරියේදී අපි ආරම්භ කරනවා. නාලක සේනාධීරත් අපිත් එක්ක එකට අත්වැල් බැඳගෙන ඉන්නෙ. ලාභය බෙදා ගැනීමේ ක‍්‍රමවේදය යටතේ පළාත්වල තියෙන ඉඩම් හිමියන්ගෙ කුඹුරු යෞවන සමාජ හරහා අස්වැද්දීම මේ වැඩසටහනේදි සිදුවෙනවා. අපිට ඉදිරිය සුබවාදීව බලන්න පුළුවන්. තරුණ සේවා සභාවේ තුරුණු ශක්ති වැඩසටහන අපේ රටේ රියැලිටි ෂෝ අතරින් ගුණාත්මක බවින් ඉහළ තැනක පැවති වැඩසටහනකි. එයින් බිහි වූ කලාකරුවන් අදටත් නොනැසෙන ජනප‍්‍රියත්වයකට හිමිකම් කියමින් තිබේ. කලාව සහ තාරුණ්‍යය එක්තැන් කරන එවැනි වැඩසටහන් අතරමග නැවැත් වූ විට සෙස්සෝ දැන් එක රැයෙන් දිලී පසුදා බැස යන තරු බිහි කරමින් සිටිති. අවසානයේ අපේ සංවාදය යොමු වූයේ එකී ප‍්‍රශ්නයටය. මේ ඊට ඔහුගේ අදහසය.

‘‘එළඹෙන විසිහය වෙනිදා අපේ යෞවන සමාජ සම්මාන උළෙල පැවැත්වෙනවා. ඒකට සමගාමීව කාලයකට පස්සෙ තුරුණු ශක්ති නෙක්ස් ජෙනරේෂන් අනිවාර්යෙන් පටන්ගන්න ඉන්නෙ. ලංකාවේ හැම දිස්ත‍්‍රික්කයකම අපි මේ තරගය පවත්වනවා. වෘත්තීය පුහුණු වගේ දේවල් තරුණයන්ට දෙන අතරේ ඔවුන්ට මානසික ආස්වාදය කියන දේත් ලබා දෙන්න ඕන. තුරුණු ශක්ති රට වටේම අරගෙන යන්න ඒකත් එක හේතුවක්. ජාතික රූපවාහිනිය තමයි මෙවරත් අපේ සහකරුවා වන්නෙ.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment