තාරුකාට මුළු ආත්මයම පිදුවා

198

ජනාධිපති සිනමා සම්මාන උළෙලේ හොඳම නැඟී එන නිළිය කියන වෙනස්ම කතාව
වේදිකාවට නැග් ගේ කඳුළු පුරෝගෙන
සම්මානය අර ගෙන විනාඩි පහළොවට ගෙදර ආවා
ජීවිතයේ පළමු වතාවට කෑ ගහල ඇඬුවා

ඇය චරිතයක් හින්දා සමාජයෙන් මොන තරම් කයි කතාන්දර, අවලාද අහන්න ඇති ද? තාරුකා වනිගසේකර හින්දා ඇය මොනතරම් ගින්දරක් හිතේ තදකරගෙන තැවි තැවී ඉන්න ඇති ද? ඒත් තාරුකාට මේ සමාජයෙන් අත්විඳින්න වුණ ඉරණම මොන තරම් ඛේදජනක ද? මිනිස්සු කතාවට කියනවානේ මැරිලවත් ඉන්න නැහැනේ කියලා. ඇත්තට ම තාරුකාටත් ඒකමනේ සිද්ධ වුණේ. තාරුකාට අත්වුණු ඉරණම මේ රටේ මොනතරම් දුවලාට, තරුණියන්ට ගැහැනුන්ට හෝ අම්මලාට අත්විඳින්නට සිදුවී ඇති ද? එය කථා කර මේ ලෝකයට කීමට හැකියාවක් ද ඔවුන්ට නැත. මොකද මළමිනීවලට කථා කිරීමට බැරි නිසාය.

තාරුකාට මුළු ආත්මයම පිදුවා

තාරුකා එළියට එන්නේම මේ අසාධාරණය ලොවට හඬගා කීමට ය. ඒත් ඇයට අවසානයේ ලේබල් වැදීමට සිදුවෙයි ද? චකිතය පසෙක තබා ඇය අභියෝගය භාරගත්තාය. අවසානයේ තාරුකා ඇයට කළ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කිරීමට වගබලා ගත්තා ය. ඒ වසර පහකට පසු මෙරට පත්වත්වනු ලැබූ 2023 ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී වසරේ හොඳම නැඟී එන නිළිය සම්මානය චමත්කා ලක්මිණීගේ දෝතට තුරුලු කර දීමෙන් දැන් ඉතිං චමත්කාට මේ සමාජය ආමන්ත්‍රණය කිරීමට ඉඩකඩ අවැසි ම මොහොතක්ය.

● ‘හුස්ම’ චිත්‍රපටයේ තාරුකා 2023 ජනාධිපති සිනමා සම්මාන උළෙලේ දී හොඳම නැඟී එන නිළියට හිමි සම්මානය ලබාගන්නවා. මොකද චමත්කා හිතෙන්නේ?

ඇත්තටම සතුටුයි. මම කරපු කැපවීමට මට ලැබුණු සම්මානය ගැන නිහතමානී සතුටක් තිබෙනවා. මට විතරක් නෙමෙයි හුස්ම කණ්ඩායමේ කාටහරි රඟපෑම වෙනුවෙන් සම්මානයක් ලැබෙනවාට මම කැමැතියි. මොකද අපි හතර දෙනාම මේ නිර්මාණය වෙනුවෙන් අපේ පෞද්ගලිකත්වය, ආත්මයම දීලා තමයි වැඩ කළේ.

● ඔබේ මුළු ආත්මයම තාරුකා වෙනුවෙන් පිදුවාට ඒ කාලේ සමාජයෙන් ලැබුණේ හොඳ ප්‍රතිචාර නෙමෙයිනේද?

ඔව්, හැබැයි දැන් සමාජයට උත්තරය හම්බවෙලා තිබෙනවා. මොකද මේ සම්මානය හම්බවුණේ හොඳම රංගනයක් වෙනුවෙන්, හොඳම පිටපතක්. හොඳම චිත්‍රපටය වෙනුවෙන් නෙමෙයි මේ සම්මානය හම්බවුණේ රංගනය වෙනුවෙන්. මේක මට හම්බවුණත් අපේ හුස්ම ටීම් එකේ දස්සා, ඉසුරු, පුබුදු අයියලට හම්බවුණත් හම්බවෙන්නේ රංගනය වෙනුවෙන්. අනික රංගනය කියන දෙය කොපි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

අපේ ටැලන්ට් එකටයි අපිට මේක හම්බවුණේ. ඉතිං මම දැන් හිතනවා මාව ඒ කාලේ විවේචනයට ලක්කරපු අයට උත්තර හම්බවෙලා ඇති කියලා.

තාරුකාට මුළු ආත්මයම පිදුවා

● සම්මානය අතට ගන්නකොට මොනවගේ හැඟීමක් ද ආවේ?

වේදිකාවට නැග්ගෙත් කඳුළු පුරවගෙන. මොකද මම සෑහෙන කැපකිරීමක් කළා ඒ චරිතය වෙනුවෙන්. ඉදිරියේදී මොන නිර්මාණයක් කළත් එවැනි කැටගරියක් යටතේ යළිත් එවැනි කැපකිරීමක් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ. මගේ ජීවිතයම දීලා තමයි තාරුකා වනිගසේකර චරිතයට හුස්ම දීලා තියෙන්නේ.

● ජනාධිපති සිනමා සම්මාන උළෙලේ ඇගයීමට ලක්වීම සුවිශේෂියි?

ඔව්. මට අනුව ලංකාවේ පිළිගත හැකි සම්මාන උළෙලවල් කිහිපයයි තියෙන්නේ. ඒ අතුරින් මම හිස් මුදුනින් පිළිගන්න සම්මාන උළෙලවල් දෙකක් තමයි ජනාධිපති සිනමා සම්මාන උළෙල සහ සිග්නීස් සිනමා සම්මාන උළෙල. මොකද අපේ රංගන ජීවිතයේ අපි හරිම ඇගයීමකට ලක්වෙනවා නම් අපි ඇගයීමකට ලක්වෙන්න ඕනෑ. ඒ සම්මාන උළෙලවල් දෙකේදී මේවා මෑත කාලයේ පටන්ගත්තු සම්මාන උළෙලවල් නෙමෙයි ලංකාවේ පැරණි ම සම්මාන උළෙල දෙක තමයි සිග්නීස් සහ ජනාධිපති සම්මාන උළෙල. ඉතිං මේ දෙකේදී අපි නිර්දේශ වෙනවා කියන්නේම පොඩි තල්ලුවක් නෙමෙයි ලොකු තල්ලුවක්.

තාරුකාට මුළු ආත්මයම පිදුවා

● සම්මාන උළෙලට ආරාධනා පත්‍රය ලැබෙනකොට ඔබ දැනගෙන හිටියා ද ඔබ නිර්දේශ වෙලා කියලා?

මගේ ආරාධනා පත්‍රයේ නොමිනේෂන් කියලා සඳහන් වෙලා තිබුණ හින්දා ඒ ගැන දැනගෙන හිටියා. ඒ අවුරුද්දේ තිබුණ නිර්මාණත් එක්ක මම බලාපොරොත්තුවෙන් හිටියේ රංගනය වෙනුවෙන් මේ නිර්මාණය ඇතුළේ කාටහරි මේ සම්මානය ලැබෙන්න ඕනෑ කියන එක විතරයි. නැතුව බොරුවට කියන්න ඕනෑ නැහැ. මම බලාපොරොත්තු වුණේ නැහැ. මට හම්බවෙයි කියන එක. මම ඇත්තට ම බලාපොරොත්තුවුණා හම්බ වෙයි කියලා. මගේ රංගන ජීවිතයේ කිසිම අවැඩක් මගේ ක්‍ෂේත්‍රය වෙනුවෙන් මම කරලා නැහැ. මම හරි අවංකයි මේ රස්සාවට.

මගේ ජීවිතයේ බොහොම සුළු දේවල් ටිකක් තමයි අවංකත්වයට තිබෙන්නේ. ඒ දේවල් අතර ප්‍රධාන දෙයක් තමයි මගේ රංගන ජීවිතය කියන්නේ.

● “තාරුකා” ගැන මොකද හිතෙන්නේ?

තාරුකා වගේ චරිතයක් ජීවත්වෙලා හිටියා නම් මම ඇත්තට ම කථා කරන්න කැමැතියි. ඒ වගේ අත්දැකීමක් ලබපු කෙනෙක් ඉන්නවා නම් කථාකරන්න ආසයි. අපි ඇනා ෆෙක්ස් කියන ප්‍රංශ චිත්‍රපටය තමයි අපි ලංකාවේ ප්‍රතිනිර්මාණය කරන්නේ. තාරුකා කියන චරිතය මට ජීවිත කාලයම මතක තියේවි.

● ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්?

බොරු කියන්න ඕනෑ නැහැ. දැන් මට මං ගැන පොඩි ආඩම්බරයක් තියෙනවා. මොකද මම කාල තියෙන කට්ටත් එක්ක මම කරපු කැපකිරීමට ප්‍රතිඵල ලැබුණා කියලා හිතෙනවා. මගේ ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත් බොහොම සුන්දර කාලයක් නැහැ. අසුන්දර කාලයක් තියෙන්නේ. හැබැයි මගේ ජීවිතයේ සුන්දර කාලය රංගන ජීවිතය පටන්ගත්තු දවසේ පටන් ගත්තා. රංගන ජීවිතයේ මම මොන කටුක විදිහේ වැඩක් කළත් අන්තිමේ මට ඒක හම්බ වෙන්නේ ඉතාම හොඳ මගේ මානසික සුවය උඩින්ම තියන්න පුළුවන් නිර්මාණයක් විදිහටයි. මගේ හැම නිර්මාණයක්ම එළියට දාගෙන තියෙන්නේ. ප්‍රේක්‍ෂකයා සතුටුවෙන්න කලින් මම මගේ නිර්මාණයෙන් ඇතුළේ සතුටුවෙලා ඉන්නවා.

● ජනප්‍රිය නිළිය වෙන්න හැමෝම උත්සාහ කරනවා චමත්කාට ඒ ආසාව නැතිද?

ජනප්‍රිය නිළිය කියන කැටගරියට කොහොමවත් මාව සූටබල් වෙන්නේ නැහැ. මොකද මම ඕඩියන්ස් එකක් ඇතුළේ ලොකුවට ප්ලේ වෙන චරිතයක් නෙමෙයි. අනික මගේ පුද්ගලික ජීවිතය බොහොම පෞද්ගලිකව ගෙනියන චරිතයක්. මම සෝෂල් මීඩියාවල ඉන්නවා හරි අඩුයි. ඒ වගේම තමයි මම ඩේලි ටීවී එකකවත් දකින් තියෙන චරිතයක් නෙමෙයි. බොහොම අතළොස්සක විතරයි මම වැඩකරලා තියෙන්නේ. මගේ වෙලාවට මට හම්බවුණ හොඳ අධ්‍යක්‍ෂවරුන්ගේ හොඳ නිර්මාණ හින්දා මම දායක හැම නිර්මාණයක්ම හොඳම ගණයේ නිර්මාණ බවට පත්වෙලා තිබෙනවා.

● මේ දවස්වල මොනවද කරන්නේ

මේ දවස්වල සුදේශ වසන්ත පීරිස් මහත්මයාගේම අලුත් ටෙලි නිර්මාණයක වැඩ කරනවා. බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි නිර්මාණයේ නම. මම දසුන්, බුද්ධික අයියා ඇතුළු හොඳ නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා. ඔය අතරේ වර්ණ සිනමා නිර්මාණය තිරගතවීමට නියමිතයි.

● චමත්කාව දකින්න හම්බවෙන්නේ වෙනස්ම හැඩයේ චරිතවලින්?

මගේ වාසනාවට හොඳම කියන ඝනයේ තිර පිටපත් මගේ අතට හම්බ වෙනවා. මම කරන චරිත ගැන යම්කිසි මනුස්සයෙක් ඒ කාලේ හිතාගෙන හිටියා නම් චමත්කා නිරුවත් කියන එකට ම කොටුවෙලා වැඩකරනවා නම් කථාවට උත්තරයක් දීලා තිබෙනවා. මම එහෙම කොටුවෙලා වැඩකරන චරිතයක් නෙමෙයි. අනික මම චරිතාංග නිළියක් විදිහට ඉස්සරහට එන්න ආසයි. පියාඹන්න ආසයි, හියුමන් එරස් වගේ නිර්මාණ ඊට හොඳ උදාහරණ.

● සරාගී චරිතවලට කොටුවෙන්න සූදානම් නැහැ

නැහැ. කොටු වෙන්න සූදානම් නැහැ. මම චරිතාංග නිළියක් මිසක් චරිතයකට කොටුවෙලා වැඩ කරන්න කැමැති නැහැ.

● ඔබට ලැබුණු සම්මානය ගැන ගෙදරින් මොනව ද කිව්වේ?

සම්මානය අරගෙන මම විනාඩි 15 න් ගෙදර ආවා. මට දරුවා බලන්නයි වුවමනාව තිබ්බේ. මොකද හැමෝම අහපු ප්‍රශ්නයක් තිබුණා.

● ඒ මොකක්ද?

හැමදාමත් රූපවාහිනී වැඩසටහනකට හෝ පුවත්පත් සාකච්ඡාවකට ගියෙත් අහන්නේ “චමත්කා දරුවා ලොකු වුණහම හුස්ම නිර්මාණය ගැන කථා කරද්දී දරුවාට මොනවාද කියන්නේ කියලා. දරුවාට කවදාහරි දවසක එයාගේ යාළුවෝ හරි විහිළු කරාවි නේද? හැබැයි මම දරුවටත් ඔප්පු කරලා ඉවරයි පුතේ ඔයාට කවදාවත් කාටවත් වචනයක් කියන්න බැහැ. ඔයාගේ අම්මා හුස්ම නිර්මාණය වෙනුවෙන් සම්මානයක් ගත්තා. මට දරුවා බලන්නයි ඕනෑකම තිබුණේ.

● සම්මානය අරගෙන ඇවිත් දරුවාගේ අතට දෙන්නද වුවමනාව තිබුණේ?

ඔව්. මම එද්දී එයා නිදි. හැබැයි මම එයාව බදාගෙන විනාඩි දහයක් විතර ඇඬුවා. ජීවිතයේ පළමුවතාවට කෑගහලා ඇඬුවා. වාහනයට නැඟලා ගෙදර එනකම්ම ඇඬුවා. ඒ මගේ ජීවිතයම හුස්ම වෙනුවෙන් කැපකරපු නිසා වෙන්න ඇති.

● ඔබේ ගමන සාර්ථකයි කියලා හිතෙන්නේ නැතිද?

මොකද නැත්තේ. සාර්ථකයි. මම අඬන්නෙත් දුකට නෙමෙයි මම අඬන්නෙත් මම කාපු කට්ටට මට ලැබුණු ඇගයීමට. ජීවිත කාලයම සතුටුවේවි.

● මිනිසීරියස් ඇතුළේ චමත්කා කියන්නේ හරි හිට් චරිතයක්?

මිනි සීරියස් හරියට ම පටන් ගත්තේ අපි කිව්වොත් හරි.

● ඒ සඳහා ඔබට හරියට ආරාධනාවන් ලැබෙනවා නේද?

ඔව්. මිනි සීරියස්වලට ආරාධනා ලැබෙනවා මොකද මමත් කැමැතියි මිනි සීරියස් එක්ක වැඩ කරන්න. මොකද මම ගොඩ කාලයක් එක චරිතයකට ගොඩවෙලා. කොටුවෙලා ඉන්න බැහැ. මම එක කාලයකට එක වැඩයි භාරගත්තේ. ඒ අතරතුර මම කිසිම වැඩක ෂූටින්වත් ආපහු දාගන්නේ නැහැ. මම ආසයි එක වැඩක් ඉවර කරලා ආපහු අලුත් වැඩක් පටන් ගන්න. උදේ ෂූටින් ගිහිල්ලා හවස ආපහු වෙන වැඩකට ෂූටින් යන්න පුළුවන් රංගන ශිල්පිනියක් නෙමෙයි මම. ඒක මගේ දුර්වලතාවයක් වෙන්න ඇති. එහෙම කරන රංගන ශිල්පිනියන් ලංකාවේ ඕනෑ තරම් ඉන්නවා. මම අනෙක් රංගන ශිල්පිනියන්ට දොස් කියනවා නෙමෙයි. ඒක ඔවුන්ගේ දක්‍ෂතාවය. හැබැයි මට ඒක කරන්න ටිකක් අමාරුයි. මොකද මම හරි කැමැතියි මගේ ඔළුව එක චරිතයක තියාගෙන වැඩක් කරන්න. මම හිතනවා ඒ නිර්මාණ එතකොට සාර්ථකයි කියලා.

● සම්මානය අතට ගත්තු වෙලේ සැමියා මොනවද කිව්වේ?

මම හිතන්නේ මට පස්සේ දෙවැනියාට සතුටු වෙන්නේ මගේ මහත්තයා. එයා මට නොකිව්වට සමහර තැන්වලදී එයත් ප්‍රේක්‍ෂකයන්ගෙන් සහ යහළුවන්ගෙන් එන ප්‍රතිචාරවලදී මම හින්දා තැලිච්ච පොඩිවෙච්ච තැන් ඇති. හැබැයි ඒ හැමෝට ම එයාට දැන් උත්තර දෙන්න පුළුවන් කාලය ඇවිත් තිබෙනවා. මගේ ගමන ගැන. මගේ නිර්මාණ ගැන එයා හරියට සතුටුවෙන මනුස්සයෙක්.

● ලංකාවේ සම්මාන උළෙලවල් ගැන මොනවද කියන්න තියෙන්නේ?

මෙහෙමයි. මම තවම මේ ක්‍ෂේත්‍රයේ අවුරුදු හතක් නැතිනම් අටක් තමයි පළපුරුද්ද තිබෙන්නේ. හැබැයි මම ඒ හතට අටට දැක්ක දේවල් බොහෝයි. මොකද මේ ක්‍ෂේත්‍රයේ දැවැන්තයින් සමග වැඩ කරන්න ලැබුණු හින්දා ඔවුන් සමග ගනුදෙනු කරන්න ලැබුණ හින්දා මේ ක්‍ෂේත්‍රය ගැන දැනගත්තු දේවල් ඉගෙන ගත්තු දේවල් බොහෝයි. මම මට වාරණයක් දාගෙන ඉන්නවා. මම ලංකාවේ තෝරාගත් සිනමා උළෙලවල්වලට විතරයි සහභාගි වෙන්නේ කියලා.

● දිනේෂ් විතාන

ඡායාරූප – බුද්ධිමා නියුනි මලේපතිරණ
ඇඳුම් – නුවන් කහපොළආරච්චි
හැඩගැන්වීම – නවෝදි වෙඩික්කාර

advertistmentadvertistment
advertistmentadvertistment