පරසිදු ලකේගල සුන්දර මීමුරේ

547
මීමුරේට ලකේගල පෙනෙන අයුරු

අඩි 4300ක් උඩ ක්‍රියාදාම චාරිකාව – 01

අතීතයේදී කඳු නැගීම යනු සාමාන්‍යයෙන් ගම්බද ප්‍රදේශ ආශ්‍රිත මංපෙත්වල හෝ අඩි පාරවල්වල සිදුකෙරෙන දිගු සහ සැලකිය යුතු ශක්තියක් වැය වන ඇවිදීමක් ලෙස අරුත් ගැන්විණි. නමුත් විනෝදය සඳහා කඳු නැගීම ආරම්භ වූයේ දහ අට වන සියවසේ දී යුරෝපය ආශ්‍රිත ව ය. ආගමික වන්දනා ගමන් වශයෙන් කඳු නැගීම ඉන් බොහෝ කලකට පෙර දී ආරම්භ වුවත් එහි පැවතියේ හුදු විනෝදයකට එහා ගිය ආධ්‍යාත්මික අරමුණකි. මේ වන විට කඳු නැගීම ලොව පුරා ජනප්‍රිය විනෝදාත්මක ක්‍රියාකාරකමක් බවට පත් ව ඇති අතර අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ කඳු නැගීම සෑම අතින් ම යහපත් සෞඛ්‍ය ප්‍රතිලාභ ලබාදෙන්නක් බවයි.

යමෙකු විනෝදාස්වාදය සඳහා කඳු නගින ලද අවස්ථාවකට අදාළ මුල් ම නිදසුන අපට හමුවන්නේ පෙට්‍රාක් නම් කවියකු විසින් ලියන ලද ලිපියකිනි. 1336 වසරේ අප්‍රේල් 26 වැනි දින ඔහු සිය සහෝදරයා සහ තවත් සේවකයන් දෙදෙනකු සමඟ ප්‍රංශයේ මොන්ට් වෙන්ටොක්ස් (Mont Ventoux) නම් මීටර 1912ක් පමණ උසැති කන්ද තරණය කළ බවට පෙට්‍රාක් කවියා සිය ලිපියෙන් විස්තර කරයි. එය හුදු අවශ්‍යතාවයකට වඩා විනෝදාස්වාදය සඳහා ඔහු කරන ලද්දක් බවට සඳහන් වේ. කෙසේ වෙතත් ඇතැමුන් පවසන්නේ පෙට්‍රාක්ගේ කඳු නැගීම හුදෙක් ප්‍රබන්ධයකට පමණක් සීමා වන බවයි.

කඳු නැගීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී ලොව උසින් වැඩි ම කන්ද ලෙස සැලකෙන එවරස්ට් කන්ද තරණය පිළිබඳ කතා නොකර ම බැරි ය. 1885 දී ඇල්පයින් සමාජයේ සභාපති ක්ලින්ටන් තෝමස් ඩෙන්ට් එවරස්ට් කන්ද තරණය කළ හැකි බව ඔහුගේ Above the Snow Line කෘතියෙන් යෝජනා කළේ ය. ඉන් පසු ලෝක වාසීන් බොහෝ දෙනකු එවරස්ට් කන්ද තරණය කිරීමට ප්‍රයත්න දැරුව ද ඒ අතුරින් බොහොමයක් විවිධ බාධක හමුවේ අතරමග නතර කිරීමට සිදු වූ අතර තවත් අවස්ථාවන්හි දී අතරමග දී කඳු නගින්නන් මරුමුවට පත්විය. කෙසේ වෙතත් 1953 වසරේ මැයි 29 වැනි දින පෙරවරු 11.30ට පමණ නවසීලන්ත කඳු නගින්නෙකු වන එඩ්මන්ඩ් හිලරි සහ නේපාල කඳු නගින්නෙකු වන ටෙන්සින් නෝර් විසින් සාර්ථක ව එවරස්ට් කඳු මුදුනට පා තබන ලදි. 1953 වසරේ සිට 2012 වසරේ මාර්තු මාසය දක්වා ලෝකවාසීන් විසින් 5656 වතාවක් එවරස්ට් කන්ද තරණය කොට ඇති අතර ඒ සම්බන්ධ මරණ 223ක් වාර්තා වී ඇත.

2016 වසරේ මැයි 21 වැනි දා එවරස්ට් කන්ද තරණය කරමින් ජයන්ති කුරු . උතුම්පාල එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම සහ එක ම ශ්‍රී ලාංකිකයා බවට පත්විය.

සෑම වසරක ම නොවැම්බර් 17 වැනි දා ජාතික කඳු නැගීමේ දිනය ලෙස සැලකෙයි. මේ විශේෂ දිනය 2015 වසරේ සිට සමරනු ලබන අතර එය එළිමහනට සහ එහි ස්වාභාවික සුන්දරත්වයට ආදරයක් දක්වන්නන්ට ගෞරවය දැක්වීම සඳහා නිර්මාණය කරන ලද්දකි.

මහනුවර . මහියංගන පාරේ හුන්නස්ගිරියෙන් වමට හැරී කි.මී. 32ක් පමණ දුරකින් මීමුරේ ගමට ළඟාවිය හැකිය. මහනුවර සිට බැලුවොත් කි.මී. 64කි. මුහුදු මට්ටමේ සිට මීටර් 365ක් පමණ උසකින් මීමුරේ ගම්මානය පිහිටා ඇති අතර මීටර් 1500ක් පමණ උස කඳු වළල්ලකින් වටවී ඇත. දුම්බානාගල, කෙහෙල්පත්දෝරුවේගල, තෙළඹුගල කඳු වැටිය, ලකේගල, උඩපතන කඳුවැටිය, මීමුරේ ගම රැකවලක් සේ ගම මැදි කරමින් සිටී.

පරසිදු ලකේගල සුන්දර මීමුරේ

මීමුරේ ගම්මානය සහ ලකේගල රාවණා රජු කාලය දක්වා දිවයයි. ක්‍රි.පූ. 5000ක් පමණ අතීතයට දිවෙන රාවණා රජු රාම සමග යුද්ධයට පිටත් වීමට පෙර ලකේගල කඳු මුදුනට හීයක් යවා තම ඉලක්කය හා ශක්තිය ගැන විශ්වාසයක් ඇතිකර ගැනීම රාවණා රජුගේ චාරිත්‍රයක් බවට පත්ව තිබූ බවට ජනප්‍රවාදයේ පවතී. ප්‍රාග් ඓතිහාසික මිනිසා වාසය කළා යැයි විශ්වාස කරන අලුගල්ලෙන පිහිටා ඇත්තේද මීමුරේ ගමට ආසන්නයේය.

මෙවන් අතීතයක ඓතිහාසික, ආඩම්බර ඉතිහාසයක් ඇති ලකේගල, කලුපාන ඇඳිරිගල කඳුවැටි දෙකට සමීපව මීමුරේ ගම පිහිටා ඇත.

මීමුරේ නමට අර්ථ කීපයක් ඇත. මීගස් බහුලව ඇති ගම ලෙස අරුත වඩා ප්‍රකටය. මන්ද අදත් එහි මී ගස් බහුලව ඇත. ‘මුරේ’ යන්න ගොල්ල, කැටිය, ගමුව, රුප්පාව සහ ආණ යන අරුතින් සමූහයක් හෝ එකතුව යන වචනයට සමීප අර්ථයක් ගෙන දෙයි. මේ නිසා අතීතයේ මී ගස් බොහෝ ඇති අරුතින් මීමුරේ ගම නම් වන්නට ඇත. තවත් අදහසක් වන්නේ සෙංකඩගල රාජධානියට මීතෙල්, මීපැණි, මීකිරි රජවාසලට සැපයූ ගම ලෙසද මීමුරේ හඳුන්වාදිය හැක.

මහනුවර රජවාසලට අයත් ආරක්‍ෂිතම ස්ථානය මේ ගම යැයි කියැවේ. ආපදා අවස්ථාවන්වලදී රාජකීයන් සැඟව සිටි ගමක් ලෙස ද මීමුරේ ගම සඳහන් වේ. ඉතිහාසය සඳහන් කරන ආකාරයට මහනුවර රජවාසලට සම්බන්ධ වරදට දැඩි දඬුවම් දිය නොහැකි සමීපතම පුද්ගලයන් මීමුරේ එවූ බව කියැවේ. එබැවින් ගම්වැසියන්ගේ රාජපාක්‍ෂිකභාවය ඉතා ඉහළ මට්ටමක පැවතිණි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මැද මහනුවරදී ඉංග්‍රීසීන් විසින් අල්ලාගනු ලැබුවේ මීමුරේට යන අවස්ථාවේදී ය. තවද රාජසිංහ රජු අසුවීමට මාස කිහිපයකට පෙර දූ කුමරියන් දෙදෙනකු සහ බිසෝවරු දෙදෙනෙක් මීමුරේට යන අතරතුරදී අල්ලා ගැනීමත් සමග මේ ගම සෙංකඩගල රාජධානිය අතර තිබුණ සම්බන්ධතාවය ඉතා හොඳින් පැහැදිලි වේ.

ලංකාගිරි, ඉලක්කගල, ලංකා පබ්බත සහ සමුද්‍රගිරි ආදී විවිධ නම්වලින් හඳුන්වන ලකේගල, මීමුරේ ගමට ඇති ආශ්චර්යමත් ස්වභාවධර්මයේ නිර්මාණයක්ය. ත්‍රිකෝණාකාර හැඩයක් ගත් මේ යෝධ පර්වතය රාවණා රජු සමය සිට වර්තමානය දක්වා ඉතා සිත්ගත් දර්ශනයකි. මීමුරේ ගම වටකර දුම්බර කඳු වළල්ලේ ලකේගල හැඩය අනුවම විශේෂ ස්ථානයක් හිමිකර ගනී. මේ කඳු වළල්ලේ උසම කන්ද ගොම්බානිය වේ. (අඩි 6248ක් පමණ) ලෝකයේ සහ රටේ වැඩිපුර ප්‍රචලිත විවිධ ස්වභාව ධර්මයන්ගෙන් අනූන නකල්ස් කඳුවැටිය උසින් අඩි 6211ක් පමණ වේ.

ලකේගල මුහුදු මට්ටමෙන් අඩි 4329ක් උසින් පිහිටා ඇත. ලකේගල නැගිය හැක්කේ බටහිර බෑවුම දිගේය. මෙහි කටු පඳුරු මෙන්ම අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු වැනි ගස්ද දැකිය හැකි අතර අංකැන්ද, මීරිය, හණ, නහ, වරා, කරපිංච, පිහිඹිය, නෙලූ, ගැටපිච්ච, බූටියා, කීන, වල්වරකා, කිරිඳී, ගල්ඉද්ද සහ මල්දුංකල වැනි විවිධ පැළෑටිවලින් ද කටුවල, ඉරමුසු ද පොහොන්, මානා වැනි තෘණ ශාකයන් ගෙන්ද ගහණය. ලකේගල දකුණු සහ නැඟෙනහිර බෑවුම අඩි 3000ක් පමණ බෑවුම් වේ. අංශක 90ක් පමණ පහළට ප්‍රපාතයකින් බෑවුම් වේ.

ඉහත සඳහන් මීමුරේ යෑමට සහ ලකේගල කන්ද නැගීමට අවුරුදු ගණනක් සිත් තුළ පැළපදියම්ව තිබිණි. මා මීට මාස කිහිපයකට පෙර අලගල්ල කන්ද නැගීම ගැන ලිපිය ලිවීමේදී කඳු නැඟීම් පිළිබඳව කරුණු දැක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හිටපු අධිකාරිලත් නිලධරයකු වූද, උපදේශකයකු වූද ලෝජිත් රඹුක්වැල්ල සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ බලකායේ හිටපු පුහුණු උපදේශකවරුන් වූ ජගත් ගගනගෙදර, ශාන් රත්නායක, කරුණාසේන ජයලත්, කිත්සිරි කැටිවූ ‘ද බෝඩර් ඇඩ්වෙන්චර්’ කඳු නැඟීම පිළිබඳ හසල අද්දැකීම් ඇති ආයතනයකි. මේ ‘ද බෝඩර් ඇඩ්වෙන්චර්’ එෆ්බී හරහා පළ කළ ‘ලකේගල තරණය’ට මමද එක්වුණෙමි. ලංකාවේ විවිධ පළාත්වලින් පැමිණි 16 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙවර ලකේගල තරණයට තෝරාගෙන තිබිණි. යාපනෙන් පැමිණි ගෝල්ඩන් නිහාල් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කර ඇති අතර සුන්දර ශ්‍රී ලංකාවට පෙම් බැදි දමිළ තරුණයෙකි. නිශාදි වික්‍රමසිංහ, ශාන්ති පෙරේරා, පියුමි රණතුංග, පවිත්‍රා නිර්මාණි, අනුත්තරා ගුණසිංහ, ගිම්හානි කෞෂල්‍ය වැනි තරුණියන්ට අමතරව කසුන් විරන්ත, තිලිණ ගමගේ, තිලිණ ඒකනායක, ගිහාන් ඒකනායක, සමිත නිෂාන්, ලහිරු සමරසිංහ සහ චාමික සනෝජ් වැනි තරුණයන්ගෙන්ද සමන්විත විණි.

මහනුවර අනගාරික ධර්මපාල මාවතේ පිහිටි ‘ද බෝඩර් ඇඩ්වෙන්චර්’ මූලස්ථානය අසලින් උදේ 10.00ට පමණ අපි මීමුරේ දක්වා පිටත් වුණේ පොසොන් දවසේ සිල් සුවඳින් පිරී ඉතිරී ගිය දළදා මාලිගාවට නමස්කාර කරමිනි. සෙංකඩගල සිට හුන්නස්ගිරිය තෙක් පොසොන් දන්සල් 30කට අධික ප්‍රමාණයක් මගහරිමින් අපි මීමුරේ ආසන්නයේ තිබූ දන්සලක් වෙත නතර කළේ, දන්සලට ගොඩවුණේ බඩගින්න නිසාම නොවේ. නන්නාඳුනන මිත්‍රයන් සමග නන්නාඳුනන ගමක මිහිර, සතුට, එකමුතුකම බෙදා ගන්නයි.

හුන්නස්ගිරියේ සිට ලූල්වත්ත, එන අතරේ ‘කොබඩ්ස් ගැප්’හි නතරවී ඈත දුරින් පෙනෙන ලකේගල ගැන ලෝජිත් රඹුක්වැල්ල කතා කරන අතරේ වේගයෙන් හමා ආ සුළං වෙහෙසකර ගමනට අස්වැසිල්ලක් වුණා. දවල් 2.30ට පමණ මීමුරේ නවාතැනට එක්වුණ අපි අලුතින් හඳුනාගත් මිත්‍රයන් සමග පෙර සංචාරයන් එකිනෙකා අතර බෙදා ගත්තා. පසුව මීමුරේ ගමට ගිය අපි වෙහෙස නිවා ගන්නට පැයක, එකහමාරක කාලයක් ලකේගල හරහා එන සීතල පිරිසිදු වතුරේ කිමිදුණෙමු. හැන්දෑවේ 5.30ට පමණ නවාතැනට පැමිණියේ 6.00ට පමණ යොදාගෙන තිබූ ‘ලකේගල තරණය’ පිළිබඳ අපහට උපදෙස් කියා දීමේ සාකච්ඡාවටයි. අඩ කවයකට ඉඳගත් අපි මීමුරේ ගම සහ ලකේගල ගැනත්, ලකේගල නැඟීමත්, ඊට පරිස්සම් වීම තුළින් කාලය කළමනාකරණය කර

ගැනීම ගැනත්, ඒ සඳහා අප අනුගමනය කළයුතු පිළිවෙළ, ගමනේ දුෂ්කරතා, සුන්දර තැන් පිළිබඳව දීර්ඝ විස්තරයක් ‘ද බෝඩර් ඇඩ්වෙන්චර්’ මූලිකයා ලෝජිත් රඹුක්වැල්ල ඉතා පැහැදිලිව විස්තර කළා. ලකේගල තරණයේදී සියලුම දෙනා ආරක්‍ෂිතව පැළඳිය යුතු මෙවලම් හා ඒවා පැළඳිය යුතු ආකාරය පිළිබඳවත් ලෝජිත් කතා කළා. ඇඩ්වෙන්චර් ක්‍රියාකාරකම්වලට සහ කඳු නැගීම්වලදි භාවිතා කරන මෙම නවීන, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උපකරණ එකිනෙක ගැන විස්තර කළා. ඔහුගේ කණ්ඩායමේ ජගත් ගගනගෙදර අපට කඳු නැඟීමේදී කඹ රඳවා ගන්නා ආකාරය ගැනත් අපි ඔවුන්ට සහය දක්වන්නේ කෙසේද යන්න පිළිබඳවත් පැහැදිලි කළා. මේ තරණයේදී සියයට 25ක් ඔවුනුත් සියයට 75ක් අපිත් ලබාදීමෙන් ගමනේ අනතුරුදායක බව සහ කාලය කළමනාකරණය කර ගත හැකි බව පැවසුවා. කිත්සිරිට සියලු ආරක්‍ෂත ඇඳුම් අන්දවා එතැන තිබූ කණ්ඩිය ප්‍රයෝජනයට ගනිමින් ‘කඹ’ පාවිච්චි කරන ආකාරය පැහැදිලිව පෙන්වූයේ ඉහත කී සීයයට සීයක් ආරක්‍ෂාව සහ කාලය කළමනාකරණයටයි. විනාඩි 45ක දේශනයකින් පසු රාත්‍රි ආහාරයට ගියේ පසුවදා උදේ 4.00ට අවදි විය යුතු බව දන්වමිනි.

පසු වදන

2004 වර්ෂයේදී තිරගත වූ සූරිය අරණ චිත්‍රපටයත් සමග මීමුරේ ගමට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනයා ඇදී ආවේ මීමුරේ ගමේ පරිසරය දැක බලා ගැනීමටයි. මේ පැමිණෙන මිනිසුන් අතරේ පරිසරයට ආදරය කරන පරිසර හිතකාමීන්ට වඩා ‘ආතල්’ ගැනීමට පැමිණි පිරිස් එන්න එන්නම වැඩි විය. ඒ එන පිරිසට කෑම බීම නවාතැන් දීමට ගමේ පුද්ගලයන් නවාතැන් ඉදි කරන්නට විය. ඔවුන් ඉන් ආදායමක් ලබා ජීවිතය ශක්තිමත් කර ගත්තත් පිටතින් පැමිණෙන ආතල්වලට පමණක් සීමා කරගත් සංචාරයන් නිසා මීට අවුරුදු 15 කට 20 පෙර තිබූ ගැමි සුවඳ, ගැමි හදවත් දැන් දැන් තුරන් වී ඇති බවක් දැනුනී. (නවාතැන් දීම සඳහා තරගයක් ද පවතී.) පසුගිය ආණ්ඩුව මගින් හුන්නස්ගිරිය හන්දියේ සිට මීමුරේ දක්වා පාර කාපට් කර පාලම් තනා ගමන් පහසුව ඇති කළේ මීමුරේ ගම් වැසියන්ට ගමනාගමනයට බස්රථයක්ද එක්කරමිනි. එදා ගමෙන් සියලුම දෑ වගාකර වස විසෙන් තොර ස්වයංපෝෂිත දිවියක් ගත කළ මීමුරේ ගැමියන් එයිනුත් ඈත් වී ඇති බවක් දැනුනී. ගම් වැසියන්ගේ ඉල්ලීම සහ අවශ්‍යතාවය පරිදි ලැබුණු දුරකතන කුලුනු දුරකතන පහසුකම් නිසා නගරයේ මෙන් එකිනෙකා දුරකතනයෙන් කරුණු විමසනවා හැරෙන්ට එදා මෙන් හමුවීම්, එකමුතුකම් ගමෙන් ඉවත් වෙමින් පවතී. හාස්‍යයට කරුණක් වන්නේ නගරයෙන් මීමුරේ ගමට යන්නේ ගමේ ස්වාභාවික සුන්දරත්වය අත්විඳීමට ය. නමුත් මීමුරේ වැසියන්ට අවශ්‍ය වන්නේ නගරයේ පහසුකම් ගමටත් ලබාගැනීමටය. මෙය ඉතා සුක්‍ෂමව විමසා බැලිය යුතු කාරණයකි.

ඡායාරූප සහ සටහන
හර්ෂණ ජයතිලක

advertistmentadvertistment
advertistmentadvertistment