ප්‍රභාකරන්ගේ පරාජය වසර 14කට පෙර කතාව

860

1987 ජුලි මාසයේදී කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වූ හාර්දීප් සිං පූරී යාපනයේ දී ප්‍රභාකරන් හමුවී සාකච්ඡාවක් පැවැත්වීය. මෙහිදී ඉන්දු-ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ඔහුට ආරාධනයක් ලැබිණි. ප්‍රභාකරන් එම ඉල්ලීමට එකඟ විය. එහෙත් ඔහුට ඉල්ලීම් කිහිපයක් ඉන්දීය රජයට ඉදිරිපත් කිරීමට තිබිණි. ඉන්දියාව බලා යන ගමනේ දී තම දේශපාලන සහායකයන් වන යෝගි හා තිලීපන්ට අතිරේකව කායාරක්ෂක භටයන් දෙදෙනකුන් හෝ තිදෙනකුන් කැටුව යෑමට ඔහුට වුවමනා විය. මදුරාසියේ දී බාලසිංහම් තමන් හා එක්වීම ද ප්‍රභාට අවශ්‍ය විය. ඔහුට තම බිරිඳ හා දරුවන් දෙදෙනා මදුරාසියට කැටුව යෑමට ද වුවමනා විය. එහිදී තමන්ගේ දෙමාපියන් දැක බලා ගැනීමට තම බිරිඳට හා දරුවන්ට අවස්ථාව සලසා දීමට ප්‍රභාකරන් බලාපොරොත්තු විය. නවදිල්ලිය බලායෑමට කලින් තමිල්නාඩු මහ ඇමැති එම්.ජී.ආර්. බැහැදැකීමට තමන්ට වුවමනා බවද ඔහු කියා සිටියේය.

ඉන්දීය රජය මේ ඉල්ලීම්වලට එකඟ වූ අතර කොළඹ ආණ්ඩුවේ අවසරය ඇතිව ඉන්දියානු හෙලිකොප්ටර් යානා දෙකක් යාපනය බලා පියාසර කිරීමට පියවර ගනු ලැබිණි. ඉන්දියාවට ගොඩබට පසුව මදුරාසි ගුවන් තොටුපොළෙහි වූ ඉන්දියානු ගුවන් සේවයේ මගී විවේකාගාරය තුළ ප්‍රභාකරන් විනෝදකාමී විලාසයකින් පසු වනු දක්නට ලැබිණි. එහිදී හාර්දීප් සිං පූරී හා ඔහු එක්ව දිවා ආහාර ගැනීමට ගියහ. කොටි නායකයා ඔහු කැමති දෙයක් ඇණවුම් කරතැයි සිතමින් පූරි තමන්ට කුකුල් මස් ව්‍යංජනයක් සමඟ බත් ගෙන එන ලෙස දැනුම් දුනි. තිරිඟුවලින් සාදනු ලබන උතුරු ඉන්දියානු පැතලි පාන් විශේෂයක් වන චපාතිවලට තමන් වඩා කැමති යයි ප්‍රභාකරන් පැවසීය. “මම බත් කන්නෙ නැත්තේ කොකා ගස්සන ඇඟිල්ලට ඒක නරක විදිහට බලපාන නිසායි.” ඔහු මැඩගත් සිනවකින් යුතුව පැවසීය. ජේ.එන්. ඩික්සිත් මහතා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන සමයේ කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා හාර්දීප් සිං පූරි වර්තමාන නරේන්ද්‍ර මෝදි රජයේ ඇමැතිවරයෙකි. ඉහත කරුණු අඩංගුවන්නේ “ප්‍රභාකරන් – දුරවබෝධ මනසක ඇතුළාන්තය” යන කෘතියේ ය.

අතීත මතක කෙසේ වෙතත් හරියටම මීට වසර 14කට පෙර ප්‍රභාකරන්ගේ දේහය නන්දිකඩාල් කලපු තීරයේදී හමුවිය. රට විනාශ කළ ත්‍රස්ත නායකයා ලංකා හමුදාවේ විජයබා බල ඇණියේ සෙබළෙකුගේ වෙඩි ප්‍රහාරයට ගොදුරුව අවසන් ගමන් ගොස් තිබිණි. මහා වීරත්වයට පත්කර සිටි කොටි නායක ප්‍රභා කිසි විටක සිය ග්ලොග් පිස්තෝලයෙන් වෙඩිතබාගෙන සියදිවි නසාගන්නේ නැත. ප්‍රභාකරන්ට සිය මරණීය උණ්ඩය වැදී තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය. ඇත්තෙන්ම වෙඩිවදින අවස්ථාවේ ප්‍රභාකරන් සිටියේ සිය සුපුරුදු කොටි ඇඳුමින් සැරසී නම් නොවේ. තමන්ගේ අනුගාමිකයන් දහස් ගණනකට සයනයිඩ් කරල ගිලින්නට නියම කළ නමුත් ප්‍රභාකරන් තමන්ගේ ජීවිතයට අසීමිත ලෙස ආදරය කළේය. ඔහුගේ බෙල්ලේ හෝ සාක්කුවක සයනයිඩ් කරලක් හමු වූයේ නැත. අවසන්වරට ඔහු ඇඳ සිටියේ නිල් පැහැති ඇඳුමකි. ඔහුගේ බෙල්ලේ 001 දරන අංක තහඩුවක් තිබිණි. සොල්දාදුවෝ ඔහුගේ මළ සිරුර අසලින් පොලිතීන් කවරයක් සොයා ගත්හ. එහි ගෑස් මුහුණු ආවරණයක්, දියවැඩියා ඖෂධ, වෙළුම් පටි, ඉන්සියුලීන්, අත් විලංගුවක්, ටී56 රයිෆල් දෙකක්, ග්ලූකෝස්, තුවාල සඳහා ආලේප කරන ක්‍රීම් තිබූ අතර ඉතාම අපූරු කාරණය වූයේ සිංගප්පූරුවේ නිෂ්පාදිත මොයිස්චරයිසින් බෙරී සුවඳ විලවුන් සහ විටමින් ඊ ක්‍රීම් අඩංගු වීමයි.

මැයි 17 වැනිදා වනවිට නන්දිකඩාල් කලපුව තුළ කණ්ඩායම් තුනක් ලෙසට එල්. ටී. ටී. ඊ. නායකයෝ ස්ථානගත වී සිටියහ. බාබු හා සුසෙයි එක් කණ්ඩායමක් ලෙසත් පොට්ටු අම්මාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් ප්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් කලපුව අවට ස්ථානගත වී සිටියහ. එහෙත් ප්‍රභාකරන්ගේ පණ සුන් සිරුර හමුවූයේ 19 වැනිදා පෙරවරුවේ නන්දිකඩාල් කලපුව අසල වැටී තිබියදීය. ප්‍රභාකරන්ගේ බිරිඳ මෙන්ම දියණිය ද්වාරකාගේ සිරුරුත් පසුව සොයා ගැනීමට හැකි විය. චාල්ස් ඇන්තනීගේ දේහයත් මැයි 17 වනවිටම සොයාගෙන තිබිණි. හිට්ලර්ගේ මරණය සේම ප්‍රභාකරන්ගේ මරණය ද විශ්වාස නොකරන පිරිසක් කොටි හිතවාදීන් අතර විය. ඒ 2009 මැයි මාසයේදී ය. නමුත් දැන් නම් එවන් කණ්ඩායම් ගැන අසන්නට නොලැබේ.

ප්‍රභාකරන් උපත ලැබුවේ 1954 නොවැම්බර් මස 26 වැනිදාවකය. පිරිමි දරුවන් දෙදෙනකුගෙන් හා ගැහැනු දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ බාලයා වූයේ ඔහුය. කුඩා කාලයේ ආදරයට ඔහු හැඳින්වූයේ තම්බි (මල්ලි) යන සුරතල් නමිනි. ළමාවියේ ප්‍රභාකරන්ගේ ප්‍රියතම ක්‍රීඩා වූයේ පාපන්දු, වොලිබෝල් හා බයිසිකල් පැදීමය. එහෙත් ඔහු ක්‍රීඩාවේ දක්ෂයකු නොවූ හෙයින් පොතපත කියවීමට හා ක්‍රියාදාම චිත්‍රපට නැරඹීමට යොමු වූයේය. කුඩා අවධියේ පටන් ඔහු සත්ව හිංසකයෙක් විය. ලේනුන්, කටුස්සන්, කුඩා පක්ෂීන් ඔහුගේ කැටපෝල පහරින් ගැලවුණේ නැත. ඔහුට පැහැදිලි මතකයක් තිබිණි. ඔහුගේ දෙනෙත නිතර දිදුළමින් තිබූ අතර කථාබහ කරන විට නිරතුරුව අවට බලමින් විමසිලිමත් ලෙස කථා කළේය. කොටි සංවිධානය නිල වශයෙන් ආරම්භ වූයේ 1976 මැයි 5 වැනි දිනය. යාපන දිස්ත්‍රික්කයේ එක්තරා රහසිගත ස්ථානයකට රැස්වූ 40ක් 50ක් පමණ වූ තරුණ පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි කළහ. එහි නායකයා වූයේ උමා මහේෂ්වරන් ය. සන්නද්ධ නායකයා වූයේ ප්‍රභාකරන්ය. කොටි සංවිධානය ආරම්භ කර වසර තිස්තුනකට පසුව එළඹුණු මැයි මාසයකම එය නැවත නොනැගිටින ලෙස විනාශයට පත්විය.

2005 වසරේ නොවැම්බරයේදී කොටි නායක ප්‍රභාකරන් සිය 51 වැනි උපන් දිනය සමරුවේ නිරාහාරවය. එය ආගමික විශ්වාසයක් මත සිදු කළා ද එසේ නොවේ නම් සිය මියගිය සටන් සඟයන් සිහි කිරීම වෙනුවෙන් සිදු කළ උපහාරයක් දැයි අපි නොදනිමු. ඒ ගැන නිවැරදිව කියන්න දන්නා කිසිවෙක් වර්තමානයේ ජීවතුන් අතර ද නැත. කෙසේ නමුත් ඒ කාලයේදී ප්‍රභාකරන් වන්නි කැලයේ සැඟවී සිටිමින් සිදුකරන මහා විරු ප්‍රකාශය ගැන නම් උතුර පමණක් නොව දකුණේ ජනතාව ද අවධානය යොමු කළේ එය රටේ පමණක් නොව තමන්ගේ මනුෂ්‍ය ජීවිතයට කෙළින්ම බලපාන බැවිනි. මේ ත්‍රස්ත නායකයා රටේ කොතැනක කවර වෙලාවක කවර විනාශයක් සිදු කරයිද නැද්ද යන්න පිළිබඳ විශ්වාසයක් නැති නිසා මහවිරු ප්‍රකාශයෙන් කියන්නේ කුමක්දැයි යන්න දැනගැනීම වැදගත් විය. 2005 මහවිරු ප්‍රකාශය සිදු කරමින් ප්‍රභාකරන් සිංහලයන්ගේ මහාවංශ මානසිකත්වය නිග්‍රහයට ලක් කළේය. සිංහලයන්, ශ්‍රී ලංකාව තමන්ට පමණක් වෙන්කර ගැනීම මේ දෙමළ නාසිවාදී ත්‍රස්ත නායකයාගේ දැඩි විවේචනයට ලක් විය. 2006 මහවිරු ප්‍රකාශය සිදුකරමින් ප්‍රභාකරන් පැවසුවේ කුමක්ද? තමන්ට ඊළම පිහිටුවීම හැර අන් විකල්පයක් නොමැති බවයි. එදා ඊළම පිහිටුවනවා යැයි ප්‍රභාකරන් වහසි බස් දෙඩුවේ දකුණේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නටය. ප්‍රභාකරන්ගේ ඊළාම් ප්‍රකාශ උපුටා දක්වමින් දකුණේ ඊනියා කොටි ඒජන්තයෝ ද සිංහල ජනයා බිත්තියට හේත්තු කරන්නට උත්සාහ ගත්හ. යුද්ධයෙන් කොටි පැරදිය නොහැකි බවට මරහඬ තලන්නට වූහ. 2008 නොවැම්බර් මාසයේදී ප්‍රභාකරන් සිය අවසන් මහවිරු ප්‍රකාශය සිදුකරමින් සඳහන් කර සිටියේ කුමක්ද? කිලිනොච්චියට ඇතුළුවීම රාජපක්ෂ ආණ්ඩුවේ දවල් හීනයක්ම පමණක් වන බවයි. නමුත් එම ප්‍රකාශයෙන් දින 140 කට පසුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජයග්‍රාහී විලාසයෙන් කිලිනොච්චියේ සංචාරය කරනු දක්නට ලැබිණි. එවිට ප්‍රභාකරන් පුදුමාතලන්වල සැ`ඟවී සිටියේය. දෙමළ ජනතාව ලක්ෂ ගණනින් හමුදාව දෙසට පැමිණෙමින් සිටියේ මීට වසර 14කට පෙර අප්‍රේල් මාසයේ දෙවැනි සතියේදීය.

පළමු ලෝක යුද්ධය පැවැතියේ වසර හතරක් පමණි. දෙවැනි ලෝක යුද්ධය වසර හයකින් නිමා විය. එහෙත් දෙමළ ඊළමක් සඳහා වූ ත්‍රස්ත යුද්ධය වසර 33ක් ඇදී ගියේය. දෙමළ ජනතාව මරණය, වේදනාව, අවිශ්වාසය, අවතැන්වීම වැනි විෂම චක්‍රයක කොටස්කරුවෝ බවට පත්වූහ. එහි අවාසනාවන්තම ප්‍රතිඵලය වූයේ විශාල පිරිසක් රටහැර යෑමය. උතුරු – නැගෙනහිර පළාත්වල ඉතිරි වූයේ සමස්ත දෙමළ ජනගහනයෙන් 48%ක් වැනි ප්‍රමාණයකි. කොටි නායකයා සූදු අන්තුවෙකු පරිද්දෙන් දෙමළ ඊළමක් සඳහා සමස්ත දෙමළ ජනතාවගේ ජීවිත උගසට තැබීමට ක්‍රියා කළේය. ඔහු හැසිරුණේ තම තම අනුගාමිකයින්ට යුද කිරීම හෝ මරණය තෝරා ගැනීම විනා වෙනත් විකල්පයක් ඉතිරි නොවන පරිදිය. සමහරුන්ට අද මේ රටේ පුරා දශක තුනක් යුද්ධයක් පැවති බව හෝ මතක නැත. මේ ත්‍රස්තවාදය අවසන් කළ දේශපාලන නායකයින් මෙන්ම හමුදා නායකයින්ද කිසිවිටක ඉතිහාසයෙන් අතුගා දැමිය නොහැකිය. පසුගිය වසරේ පැවති ඊනියා අරගලයට දෙමළ ජනතාව සහභාගී වූයේ නැත. එසේම උතුරු නැගෙනහිර කිසිවෙක් “ගෝඨා ගෝ හෝම්” කිව්වේ නැත.

කවරක් නමුත් තව වසර 500ක් ගියද මේ රණවිරු ජයග්‍රහණ අමතක කළ යුතු නැත. 2009 මැයි 18 ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කළ බව ප්‍රකාශ කළේය. දස දහස් ගණනකගේ ජීවිත අහිමි වූ ද තවත් ලක්ෂ ගණන් පිරිසක් ආබාධිතයන්, තුවාලකරුවන් බවට පත් වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදය ඒ සමඟ නිමා විය. 2009 මැයි 18 වැනිදා ශ්‍රී ලංකාව පරාජයට පත් කිරීමට සමත් වූයේ හුදු ත්‍රස්තවාදී සංවිධානයක් පමණක් නොවී ය. එල්.ටී.ටී.ඊ ය යනු දෙමළ බෙදුම්වාදී ජාතිවාදයේ අවසාන වශයෙන් පැවති සන්නද්ධ අංශයයි. ඊළාම් රාජ්‍යය පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා භූමියෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් අත්පත් කරගෙන සිටි එල්.ටී.ටී.ඊ යේ පරාජය යනු දෙමළ ජාතිවාදී බෙදුම්වාදය ඉතිහාසයේ ලැබූ සුවිශාලම පරාජය විය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment