පාසල් ආශ්‍රීත වැටලීම්වලින් මත් ජාවාරමෝ 75 ක් මාට්ටු

123

බස්නාහිර පළාතේ පාසල් 122 ක් ආවරණය වන පරිදි 16 වැනිදා සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කළ පුද්ගලයන් 75 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය.

මෙම වැටලීම් සඳහා පොලිස් නිලධාරීන්ගෙන් විශාල සහයෝගයක් ලැබුණු බව ද හෙතෙම කීය.

මෙම වැටලීමේදී මාවා කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 148 ක් ද, මත්කුඩු ග්‍රෑම් 9 යි මිලි ග්‍රෑම් 375 ක් ද, අයිස් ග්‍රෑම් 1 යි මිලි ග්‍රෑම් 522 ක් ද, මත්පෙති 10 ක් ද පොලිසිය භාරයට ගෙන ඇතැයි හෙතෙම කීය.

බස්නාහිර පළාතේ පාසල් ආශ්‍රිතව සිදුකරන මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් පාසල් දරුවන් මත්රකුසාගෙන් බේරාගැනීම මෙහි අරමුණ බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.

පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය සංසරණය වේදැයි සොයා බැලීමට පාසල් ගුරුවරුන්ගේ, ආදි සිසුන්ගේ, ශිෂ්‍ය නායකයන්ගේ සහාය ලබා ගන්නා බව ද ඒ මහතා කීය.

පාසල් තුළ හා ඒ ආසන්නයේ අයිස් ඇතුළු අනෙකුත් මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සිදුවන්නේ නම් ඒ ගැන 119 ට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment